Sunday, June 7, 2020

වසංගත නිසා අතීතයේ සීමා වූ ආගමික උත්සව

ධනේෂ් විසුම්පෙරුම


ඉරිදා ලංකාදීප, 2020.06.07, තක්සලාව, පි. 7 (Sunday Lankadeepa)

http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177


සමස්ත ලෝකයටම බලපා ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා අපේ රටේ විවිධ අංශවලට බලපෑම් ඇති වී තිබෙයි. මේ අතර අපේ රටේ ආගමික උත්සවවලට හා වන්දනා ගමන්වලට ද සීමා ඇති වී ඇත. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමයේ අවසාන මාස දෙකක කාලය මෙහි බලපෑමට ලක් විය. බෞද්ධයින්ගේ වැදගත්ම පසළොස්වක පොහොය වන වෙසක් පොහොය ගෙවී ගියේ බොහෝ දුරට පන්සල් යෑමෙන් තොරව තම තමන්ගේ නිවෙස්වල ආගමික කටයුතුවල යෙදෙමිනි.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට මේ වර්ෂයේ පොසොන් පොහොය ද ඒ හා සමානව ගත වෙන්නක් බවට පත්ව ඇත. කිතුනු බැතිමතුන්ගේ වැදගත් ආගමික උත්සවයක් වන මහ සිකුරාදා සහ පාස්කු ඉරුදින ආගමික කටයුතු ද ප්‍රසිද්ධ රැස්වීම්වලින් තොරව ගෙවී ගියේ අප්‍රේල් මාසයේ දීය. මැයි මාසයට යෙදුණු ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවයද ගෙවී ගියේ ප්‍රසිද්ධ ආගමික කටයුතු නොමැතිවය. මේ ආකාරයෙන් ආගමික කටයුතු සම්බන්ධව පසුගිය මාස තුනක පමණ කාලය පුරා පවත්නා මේ තත්ත්වය ගැන සමාජයේ යම් සාකච්ඡාවක් ද ඇති ව තිබෙනු දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් ආගමික උත්සව සඳහා සීමා පනවනු ලැබූයේ රජයේ බලධාරීන් විසින් පැනවූ සීමා කිරීම් නිසාය. එසේ සිදුකර ඇත්තේ පවත්නා කොවිඩ්-19 වසංගත රෝගය තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහාය. අද පමණක් නොව මෙවැනි පියවර ගත් අවස්ථා රැසක්ම අපේ රටේ අතීතයේ දැකිය හැකිය. විශේෂයෙන් මෙවැනි සිදුවීම් ගැන වාර්තා දැකිය හැකි බ්‍රිතාන්‍ය පාලන සමයේ දී කොළරාව, මහාමාරිය, වසූරිය හා උණ සන්නිපාතය වැනි රෝග ඇති වූ අවස්ථා ගණනාවක්ම වාර්තා වෙයි. එවැනි අවස්ථාවල රෝගය ව්‍යා​ප්ත වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර අතර අදාළ ආගමික උත්සවය පැවැත්වීම තහනම් කිරීම හෝ නැවැත්වීම, සහභාගි විය හැකි පිරිස සීමා කිරීම මෙන්ම ඇතැම් අවස්ථාවකදී ඒ උත්සවවලට සහභාගිවන වන්දනාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම ද වෙයි. කතරගම, දෙවුන්දර, තලවිල, මඩු වැනි ස්ථානවල පවත්වන ආගමික උත්සව මේ බලපෑමට ලක්වූ උත්සව අතර වෙයි. 20 වැනි සියවසේ මුල් කාලයේදී ලංකාවේ ඇති වූ විවිධ වසංගත තත්ත්ව හමුවේ ප්‍රකට ආගමික උත්සවවලට ඇති වූ බලපෑම් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපිය මගින් සිදුකරනු ලැබේ.


කතරගම උත්සව


ඌව පළාතේ දකුණු කෙළවරට වෙන්නට පිහිටා ඇති කතරගම දේවාලය හා කිරිවෙහෙර මෙරට සුප්‍රකට ආගමික උත්සව පැවැත්වෙන ස්ථානයකි. දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මේ උත්සවවලට සහභාගි වෙති. කතරගම වෙත ළඟා වීමට හැකි මාර්ග ගණනාවක්ම පවතී.

කතරගම ආගමික උත්සව හා සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු වූ අවස්ථා ගණනාවක්ම මේ කාලයේදී හඳුනාගත හැකිය. 1919 වර්ෂයේ දී කතරගම දී පැවැත්වීමට නියමිතව තිබූ උත්සව දෙකම නවත්වන ලද්දේ කොළරා වසංගතය නිසාය. මේ වර්ෂයේ පැතිර ගිය කොළරා වසංගතයෙන් ඌව පළාතට හා දකුණු පළාතට සැලකිය යුතු බලපෑමක් සිදු වූ බව ඌවේ ආණ්ඩුවේ එ්ජන්තවරයාගේ වාර්තා අනුව පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් ඌව පළාතෙන් වාර්තා වූ රෝගීන් 131 දෙනාගෙන් 92ක් පමණ මියගොස් ඇත. රෝගය මුලින්ම වාර්තා වූ බදුල්ල නගරයේ මරණ 16ක් පමණ ඇති වී තිබෙයි. එමෙන්ම මෙම රෝගය බදුල්ලේ සිට තල්දෙන, එගොඩවෙල හා මීගහකිවුල හා මහියංගණ වැනි ප්‍රදේශ දක්වා පැතිර ගියේය. එසේම පළාතේ දකුණු ප්‍රදේශය ගැන සැලකූ විට, කොටමුදුන, බුත්තල, වැල්ලවාය හා තෙලු‍ල්ල දක්වා ද එදා රෝගය තදින් ව්‍යාප්ත විය. මේ නිසා කතරගම ආගමික උත්සව නතර කිරීම එදා බලධාරීන් ගත් නැණවත් තීරණයක් බව පෙනේ. මක් නිසා ද යත් එවැනි තැනක රෝගය තදින් ව්‍යාප්ත වීමට මෙන්ම, රට පුරා පැතිර යෑමට පවා අවස්ථාව තිබූ නිසාය. මේ බව තහවුරු වෙන්නේ කතරගමට නුදුරින් පිහිටා ඇති හම්බන්තොට, තිස්ස යන ප්‍රදේශවලද මේ කාලයේදීම ‌රෝගය ඉතා තදින් ව්‍යාප්ත වූ නිසාය. කතරගම උත්සවවලට සහභාගිවන විශාල පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා ද ගමන් කරති.

මේ ආකාරයටම 1914 වර්ෂයේදී කතරගම ජූලි මාසයේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය වන ඇසළ උත්සවය තහනම් කරන ලද්දේ කතරගම ප්‍රදේශයේම පැතිරගිය වසූරිය වසංගතය නිසාය. ඒ වර්ෂයේ ව්‍යාප්ත වූ වසූරිය වසංගතය වසර මැද බදුල්ලේ නමුණුකුළ ආසන්නයේ වතුයායක මුලින්ම ඇති වී බදුල්ල, පස්සර, ලු‍නුගල හා කතරගම දක්වාම ව්‍යාප්ත වී ඇත. රෝගීන් 87ක් හමු වූ බවක්, මරණ 24ක් සිදු වූ බවක් වාර්තා වෙයි.


දෙවුන්දර උත්සවය


මාතර නගරයට නුදුරින් පිහිටා ඇති දෙවුන්දර උපුල්වන් දේවාලය ආශ්‍රිතව පැවැත්වෙන ඇසළ පෙරහර මෙන්ම ඒ ආශ්‍රිතව පැවැත්වෙන සල්පිල් සහිත උත්සවය ඒ ප්‍රදේශයේම ඉතා ප්‍රකට උත්සවයකි. එයද රටේ පැතිර ගිය වසංගත තත්ත්වවල බලපෑමට ලක්විය.

1919 වර්ෂයේ ඇති වූ කොළරා රෝගය වඩාත්ම බලපා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයට බව ඉහත සඳහන් කරන ලදී. හම්බන්තොට නගරයේ පමණක් රෝගීන් 252ක් පමණ මියගොස් ඇත. හම්බන්තොටින් ජූලි මාසයේ වාර්තා වූ රෝගය එතැනින් තිස්ස ප්‍රදේශයට හා තංගල්ලට ද ව්‍යාප්ත වී ඇත. මේ හේතුව නිසා යාබද මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙවුන්දර දේවාලය ආශ්‍රිත වාර්ෂික උත්සවය නොපවත්වන ලදී.

එසේම ඇතැම් වර්ෂවලදී දෙවුන්දර ආගමික උත්සවයට සහභාගි වූ අයගේ ප්‍රමාණය සීමා කළ බවට වාර්තා ඇත. නිදසුනක් ලෙස මහාමාරිය හා වසූරිය රෝගය ලංකාවේ සෙසු ප්‍රදේශ ගණනාවක පැතිර තිබූ 1914 වර්ෂයේදී දෙවුන්දර උත්සවයට සහභාගි වීමේ අවදානම ගැන ජනතාවට අනතුරු හඟවා ඇත. මේ නිසා එයට සහභාගි වූ ජනතාව කැපී පෙනෙන ආකාරයෙන් අඩු වූ බව වාර්තා වෙයි. මේ නිසා එහි සේවය සඳහා යොදවන ලද පොලිස් නිලධාරින් ප්‍රමාණයද අඩු කරන ලද බව මාතර දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයා සඳහන් කර ඇත.


තලවිල පල්ලියේ උත්සවය


කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා ඇති ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා පල්ලියේ වාර්ෂික මංගල්ලය ද මේ කාලයේ ඇතැම් අවස්ථාවල වසංගතවල බලපෑමට ලක් වී ඇත. 1919 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තලවිල මංගල්ලය නොපවත්වන ලදී. එයට බලපෑවේ ඒ වෙන විට මෙරට පැතිර තිබූ ඉන්ෆ්ලු‍වන්සා උණ වසංගතයේ බලපෑමය. කතෝලික ජනතාව සැලකිය යුතු පිරිසක් වාසය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයට හා බස්නාහිර පළාතට එම උණ රෝගය තදින් බලපා තිබිණි. (මේ සඳහන් කරන්නේ 1918 සිට 1920 දක්වා කාලයේදී අවම වශයෙන් ලංකාවාසීන් 57,000ක් පමණ පිරිසකට මරු කැඳවූ ස්පාඤ්ඤ උණ වසංගතය ගැනය).

එමෙන්ම එම වර්ෂයේ ජූලි මාසයේ පවත්වන ලද උත්සවය ද වෙනත් වර්ෂවලට වඩා කුඩා පරිමාණයේ උත්සවයක් ලෙස පවත්වන ලද්දේ රටේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් පැවති නිසාය. එම උත්සවයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දෙන ලද්දේ උත්සව දින ගණනට ප්‍රමාණවත් තරම් සහල් ප්‍රමාණයක් ළඟ තිබූ අයට පමණක් බව උප ඒජන්ත තැනගේ වාර්තාවල සඳහන්ය. එවැනි තත්ත්වයක් තිබියදී පවා අවසන් දින උත්සවයට හත්දහසක් පමණ පිරිසක් සහභාගි වී ඇත. වෙළෙඳාම් කටයුතුවල ඇති වූ ගැටලු‍ ද, යුද්ධය නිසා ඇති වූ සීමා ද නිසා පළමු වැනි ලෝක යුද්ධය පැවති සමයේදීද මේ උත්සවයට සහභාගි වූවන් ගණන සාමාන්‍ය අගයට වඩා අඩු වූ බව සඳහන් වේ. 1918 වර්ෂයේදී එවැනි තත්ත්වයක් ඇති වූ අතර, මේ තත්ත්වය රටේ බොහෝ ආගමික උත්සවවලට සහභාගි වූ ජනතාව අඩු වීමට බලපා තිබිණි.


හැටන්වල කතෝලික උත්සවය


හැටන් නගරයේ පැවැත්වෙන ශාන්ත ආනා රෝමානු කතෝලික උත්සවය නොපැවැත් වූ අවස්ථාවක් පිළිබඳව ද මේ කාලයේදී වාර්තා වෙයි. 1918 වර්ෂයේ ජූලි මාසය වෙන විට පැතිර තිබූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා ඒ මාසයේ 27 හා 28 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඒ සඳහා මැදිහත් වූ මධ්‍යම පළාතේ ආණ්ඩුවේ එ්ජන්තවරයා සඳහන් කරයි. ඒ වන විට රෝගය නාවලපිටිය ප්‍රදේශයේ පැතිර තිබූ අතර, අවට ප්‍රදේශවල වතු ආශ්‍රිතව සේවය කරන පිරිස් උත්සව සමයේදී හැටන් නගරයට පැමිණීම වැලැක්වීමට අසීරු වූ නිසා එම පියවර ගත් බව ඒ වාර්තාවල සඳහන් වෙයි.


අනුරාධපුර උත්සව සමය


අනුරාධපුරයේ වෙසක් හා පොසොන් උත්සව එකල පවා බෞද්ධයන් විශාල වශයෙන් සහභාගි වූ උත්සව අතර විය. 1914 වර්ෂයේ කොළඹ සහ තවත් ප්‍රදේශවල බරපතළ මහාමාරිය වසංගතයක් පැවැති අවස්ථාවේදී පවා අනුරාධපුර පොසොන් උත්සවය පවත්වන ලද්දේ සෞඛ්‍ය අාරක්ෂාව සම්බන්ධව ගත් ඉතා දැඩි ආරක්ෂක පියවර යටතේය. උණ හා වෙනත් රෝග ලක්ෂණ සහිත පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් අනුරාධපුරයේ රඳවා තබන ලදී. එමෙන්ම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, අනුරාධපුර ‘ලෝකල් බෝඩ්’ හෙවත් පළාත් මණ්ඩලයේ (වර්තමාන නගර සභාවට සමාන පළාත් පාලන ඒකකය) නිලධාරින්ද, ගම්මුලාදෑනීන් ඇතුළු දේශීය නිලධාරීන්ද මෙසේ වන්දනාකරුවන් අතර ගැවසෙමින් රෝගීන් සිටින්නේදැයි පරීක්ෂා කර තිබෙයි. සනීපාරක්ෂක පහසුකම් ද වෙනදාට වඩා සපයා තිබූ අතර, වන්දනා සමය අවසන් වූ වහාම නගරය මුළුමනින්ම පවිත්‍ර කර තිබේ. ඔවුන් ගත් මේ පියවර සාර්ථක වූ බව සඳහන් කරන අනුරාධපුරයේ ආණ්ඩුවේ ඒජන්තවරයා, වන්දනා සමයේදී කිසිදු මහාමාරිය රෝගියෙකු වාර්තා නොවූ බවද පවසයි. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ සාමාන්‍යයෙන් 5,400ක් පමණ වාසය කරන මේ නගරයට ඒ වර්ෂයේ පැමිණි වන්දනාකරුවන්ගේ ගණන 60,000ක් පමණ බව සඳහන් වන නිසාය. එවකට අනුරාධපුර නගරය පිහිටා තිබුණේ වර්තමාන පූජානගරය ආශ්‍රිතව වන අතර, අද පවත්නා අනුරාධපුර නගරය (නව නගරය) නිර්මාණය වන්නේ ලංකාව නිදහස ලැබීමෙන් පසුවය.


ශ්‍රීපාද වන්දනාව


මේ කාලයේදී වරක් ශ්‍රී පාද වන්දනාව සම්බන්ධවද ගැටලු‍වක් ඇති වී තිබෙයි. එයද 1914 දී කොළඹ ඇති වූ මහාමාරිය වසංගත සමයේදීය. ශ්‍රී පාද වන්දනා සමයේ රෝග ව්‍යාප්ත වීම පිළිබඳව අවදානමක් ඇති වූ අතර, කොළඹ සිට පැමිණෙන වන්දනාකරුවන් මගින් මධ්‍යම පළාතට ද රෝගය ව්‍යාප්ත විය හැකියැයි සැකයක් විය. එහෙත් වෙනත් වන්දනා ගමන් මෙන් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමද කළ නොහැකි බව සඳහන් කරන සබරගමු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඒ සඳහා වෙනත් පියවරක් ගෙන ඇත.

ඒ අනුව, විවිධ ස්ථානවලදී වන්දනාකරුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කරන ලදී. එම වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ වන්දනාවේ යෑම සඳහා වැඩි පිරිසක් දුම්රියෙන් පැමිණ බසින ස්ථාන වූ කුරුවිට හා රත්නපුරයේදී හා රත්නපුර රෝහලේදීය. මේ වන විට සබරගමු හෙවත් රත්නපුර දුම්රිය මාර්ගය ලෙස හැඳින්වෙන දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දිගු කර තිබිණි. එකල පුංචි කෝච්චිය ශ්‍රී පාද වන්දනාව සඳහා යොදාගත් මූලික ප්‍රවාහන මාධ්‍යයක් ද විය (අවාසනාවකට මෙන් අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා වූ මේ දුම්රිය මාර්ගය අද වන විට ගලවා දමා ඇත.) මේ සඳහාම කුරුවිටට නුදුරු හිග්ගස්හේන ප්‍රදේශයේ මාර්ගයේ පොලිස් ආරක්ෂක මුරපොළක් පිහිටුවන ලද අතර, එමගින් මහාමාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වන්දනා මාර්ගවලට යොමු කිරීමට හා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට යොමු කරන ලදී. ඒජන්තවරයා පවසන ආකාරයට, මහාමාරිය පැතිර තිබූ කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණි වන්දනාකරුවන් ගණන සැලකූ විට මේ වන්දනා සමය තුළ මහාමාරිය හෝ වෙනත් බරපතළ වසංගතයක් හමු නොවීම සතුටු විය හැකි කරුණක් විය.


http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177

No comments:

Post a Comment