Tuesday, June 30, 2020

මගේ හදවත පාරන "සැඳෑ අඳුර ලොව ගලන වෙලාව"..

ධනේෂ් විසුම්පෙරුම



මේ ගීතය සෝමතිලක ජයමහගේ මා ප්‍රියකරන ගීත අතරින් එකකි. එයට මා ප්‍රිය කරන්නේ හුදෙක් එහි අරුත නිසාම පමණක් නොවේ. විරහ වේදනාව පිළිබඳව මා මුලින්ම ඇසුවේ හා තේරුම් ගත්තේ මේ ගීය හා බැඳුණු එක්තරා කතාවක් නිසාය.

මගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස වසර 35ක් පමණ රාජකාරි කළාය. ඒ කාලයේ ඉඳහිට ඇයට කෙටිකාලීන පුහුණුවීම් සඳහා ඇතැම් ආයතනවලට යෑමට සිදු විය. වරක් ඈට අංගොඩ මානසික රෝහලේ පුහුණුවකට යෑමට සිදු විය. ඒ අප මාතර පදිංචිව සිටි, මගේ වයස අවුරුදු තුන-හතරක් පමණ වූ කාලයේය.

එහි නේවාසිකව සිටි සුන්දර තරුණියක් (අපේ අම්මාගේ වචනයෙන් "ලස්සන කෙල්ලෙක්") මේ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය නිතරම ගායනා කළාය. එහි සේවය කළ හෙදියන් පවසා ඇති අන්දමට ඈ මානසික රෝහලට ඇතුළත්ව ඇත්තේ ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ඇති වූ මානසික ගැටලුවක් නිසාය. ඇගේ සුන්දරත්වයත්, ඇය ඒ ගීය ගායනා කළ මිහිරත් නිසා, එහි පුහුණුව ලද සති දෙකක පමණ කාලයේදී මේ ගීතය අපේ අම්මාගේ සිතට තදින්ම කාවැදී තිබේ. පසුකලක මේ ගීතය ඇසුණු සෑම වෙලාවකට පාහේ ඈ අපට මේ කතාව කීවාය, සිහි කළාය.

මා මුලින්ම මේ කතාව ඇසුවේ මට වයස අවුරුදු හත-අටක් පමණ කාලයේය. අදත් මේ ගීතය ඇසෙන හැම විටකම ඒ කතාව මට සිහි වේ. ඒ කිසියම් වේදනාවක්ද සමඟිනි... (අම්මා මේ කතාව කී හැම විටකම නිහඬව මම එය අසා සිටියේ ද ඒ නිසාය).

ප්‍රේමය සුන්දර වන්නාක් මෙන්ම, ප්‍රේමය බිඳ වැටීම අතිශය වේදනාත්මක විය හැකිය.

"සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ
එතෙර වන්න නිබදේ
නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ

නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ
ඔබේ ආදර ජීවන මල් ගොමුවේ"

ගායනය, පද රචනය හා සංගීතය - සෝමතිලක ජයමහ

No comments:

Post a Comment