Tuesday, June 30, 2020

වසංගත මරණ ගණන් ගැනීමේ ගැටලු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.06.24, (Vidusara)
Not available online



මේ වන විට ලෝකයේ පැතිර පවත්නා නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා සිදු වන මරණ ගණන පිළිබඳ ප්‍රකාශිත සංඛ්‍යාලේඛනවල යම් යම් ගැටලු ඇති වී තිබෙන බව වාර්තා වෙයි. සමහර රටවල මේ රෝගය වැළඳීම නිසා සිදු වූ ඇතැම් මරණ, ඒ රෝගය නිසා සිදු වූ බව වාර්තා වී නොමැති බැවින් නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැත. ඒ සඳහා විවිධ හේතු බලපා තිබේ. මේ නිසා ලෝකයේ කොවිඩ්-19 මරණ ගණන මේ ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා ඉහළ විය හැකි බව සමහර විද්‍යාඥයෝ ද අනුමාන කරති. එසේම සැබෑ රෝගීන් ගණන ද මීට වඩා ඉහළ විය හැකිය.

මෙසේ මිය ගිය මෙන්ම රෝගී වූ පිරිසේ ගණන ද නිවැරදිව දැන ගැනීම වැදගත්ය. වසංගත තත්ත්වය, එය ව්‍යාප්ත වන ආකාරය හඳුනා ගැනීම සඳහා මේ කරුණු ඉතා වැදගත්ය. එය රෝගයේ සැබෑ බලපෑම පැහැදිලි කරන අතර, රෝගයේ බලපෑම අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමටද වැදගත් වෙයි.


වාර්තා නොවීම සඳහා හේතු


මෙවැනි එක් අවස්ථාවක් වන්නේ රෝහල්වලින් පිටත වැඩිහිටි නිවාස ආදියේ සිදු වූ කොඩිඩ්-19 මරණ නිසි ලෙස වාර්තා නොවීමයි. සමහර රටවල් කොරෝනා රෝගයෙන් මියගිය බවට සලකන ලද්දේ රෝහල්ගතව සිට මිය ගිය රෝගීන් පමණි. රෝහලෙන් පිටත මේ රෝගය නිසා මියගිය අය ගණන් කිරීම ආරම්භ කළේ පසුවය. මෙය යුරෝපා රටවල් ගණනාවක සිදුව තිබිණි. මැයි මස 5 වන දා දක්වා ප්‍රංශයේ එවැනි නිවාසවලින් වාර්තා වූ මරණ ගණන 9,471ක් පමණ වී තිබෙයි. ඒවා සියල්ලම නොවෙතත් යම් ගණනක් හෝ කොවිඩ්-19 නිසා සිදු වූ බව බව සිතිය හැක්කේ ඒ ගණන ස්වාභාවිකව සිදුවන මරණ ගණනට වඩා ඉහළය. එම ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණනින් පහෙන් පංගු දෙකක් පමණ විය. ස්පාඤ්ඤය ද පසුව රෝහල්වලින් පිටත මියගිය කොවිඩ්-19 රෝගීන් ගණනය කිරීම ආරම්භ කළේය.

මෑත කාලයේ ඉන්දුනිසියාවේ ඇති වූ මරණ දෙදහසකට අධික ප්‍රමාණයක් කොවිඩ්-19 රෝගයේ උග්‍ර අවස්ථාවේ ලක්ෂණ පෙන්නුම් කරන ඒවා බව වාර්තාවක සඳහන් විය. එහෙත් එම රෝගීන් කොවිඩ්-19 සඳහා පරීක්ෂා කර නැති බැවින් කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට ඇතුළත් වී නැත. එසේ ඇතුළත් නොවූ මරණ ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණන මෙන් තුන් ගුණයක් පමණ විය. ඒවා සියල්ලම කොවිඩ්-19 මරණ බවට පැවසිය නොහැකි නමුත්, මේ අනුව එරට සමස්ත කොවිඩ්-19 මරණ ගණන වඩා ඉහළ විය හැකි බව අනුමාන කළ හැකිය. එමෙන්ම මාර්තු මාසයේදී එරට අගනුවර වන ජකාර්තා නගරයේ සුසාන භූමි වලින් වාර්තා වූ භූමදාන ප්‍රමාණයේ 40%ක පමණ ඉහළ ගොස් තිබිණි.

කොවිඩ්-19 මරණ අඩුවෙන් වාර්තා වීම සඳහා බලපෑ තවත් හේතුවක් වූයේ වාර්තාකරණය සම්බන්ධව පැන වූ සීමාය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මියයන රෝගීන්ගේ මරණ සහතිකයේ කොවිඩ්-19 රෝගය නිසා මිය ගිය බව සඳහන් නොකරන ලෙස වෛද්‍යවරුන්ට උපදෙස් දුන් අවස්ථා ගැන ද ටෙලිග්‍රාප් පුවත්පතේ සඳහන් වේ. එසේ කළ හැක්කේ රජයෙන් පත් කළ කමිටුවකින් අනුමත කළ විට බව පැවසේ. ඒ ඉන්දියාවෙනි. එය රෝගය නිසා ඇති වන මරණ ගණන උවමනාවෙන්ම අඩු කර දැක්වීමට කරන ලද්දක් ද යන්න පුවත්පත ප්‍රශ්නකර ඇත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොවිඩ්-19 මරණ ගණන අඩු අගයක් ගැනීමට හේතුව වාර්තා නොවූ මරණ තිබීම ද යන්න පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම රජය විසින් කමිටුවක් ද පත් කරන ලදි.

මේ අතර රෝගීන්ගේ සංස්කෘතිකමය සීමා නිසා ද මේ රෝගය නිසා ඇති වූ මරණ අඩුවෙන් වාර්තා වී ඇති බව පෙනෙයි. පාකිස්ථානයේ ඇතැම් වැසියන් රෝගියාට කොවිඩ්-19 රෝගය ඇතත්, රෝගියා මියගියහොත් අවමඟුලට ඇති වන සීමා නිසා රෝහලට යෑමට අකමැති වී ඇත. මෙවැනි පිරිස් රෝගය නිසා මියගිය ද, ජාතික මට්ටමේ නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවෙයි.


නිවැරදි සංඛ්‍යා සොයාගත හැකි ක්‍රමයක්


මෙවැනි අවස්ථාවලදී නිවැරදි මරණ ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම තිබෙයි. එවැනි එක් සරල ක්‍රමයකදී සිදුකරන්නේ කිසියම් රටක හෝ ප්‍රදේශයක පසුගිය වසර කිහිපයක කිසියම් කාලයක (නිදසුනක් ලෙස කොවිඩ්-19 රෝගය පැවති මාස කිහිපය) ඒ රටක සිදු වී ඇති මරණ ගණනේ සාමාන්‍ය හා සංසන්දනය කිරීමේ දී රෝගය පැවති වසරේ ඒ කාලයේ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ගණනය කිරීමෙනි. එසේ සාමාන්‍ය වර්ෂයක සිදුවිය හැකි මරණ ගණනට වඩා රෝගයක් පැවති වර්ෂයක වැඩියෙන් සිදුවන මරණ ඇති වී තිබෙන්නේ අදාළ වර්ෂයේ එම කාලයට බලපෑ සාධකයක් නිසාය. එහෙත් එසේ නොවන වෙනත් තත්ත්ව නිසා ඇති වන මරණ ද මේ අතර තිබිය හැකි අතර. ඒවා සම්බන්ධව නිවැරදි කිරීම් කිරීමෙන් කොවිඩ්-19 මරණ ගණන ආසන්න වශයෙන් ගණනය කළ හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.

මීට එක් නිදසුනක් වන්නේ මාර්තු 17 සිට මැයි 3 දක්වා ස්පාඤ්ඤයේ ඇති වූ මරණ ගණනයි. පසුගිය වසර 12ක සාමාන්‍යය අනුව, සාමාන්‍ය තත්ත්වය යටතේ එරට තුළ මේ කාලයේ ඇති විය හැකි මරණ ගණන 52,697ක් පමණ විය යුතු බව ගණනය ඇත. ඒ මරණ ගණනට අමතරව මේ වර්ෂයේ කොවිඩ්-19 නිසා හඳුනාගත් මරණ ගණන 25,119කි. එහෙත් ඊට අමතරව තවත් මරණ 5,745ක් පමණ ද සිදුව ඇත. මේ මරණ 5,745 තුළ කොවිඩ්-19 වැළඳී හඳුනාගැනීමට නොහැකි වූ මරණ තිබිය හැකිය. එසේම, වෙනත් හේතු නිසා ඇති වූ මරණ මෙන්ම, ‘පූර්ව මර්ත්‍යතාව’ (early mortality) ද තිබිය හැකි බව පෙන්වා දී තිබෙයි. පූර්ව මර්ත්‍යතාව ලෙස හඳුන්වනු ලබන්නේ වියපත් හා වෙනත් රෝගයක් සහිත ආයු අපේක්ෂාව අඩු වී, කොවිඩ්-19 රෝගය වැළදීමෙන් ඉක්මනින් සායනිකව අයහපත් තත්ත්වයකට මරණයට පත්වන අයයි. ඔවුන් මරණයට පත්වන්නේ ඔවුන්ට වැළඳී තිබූ අනෙක් රෝගයක් නිසා වුවද, කොවිඩ්-19 වයිරසය ඒ මරණ කඩිනම් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී රුසියාවේ මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගරවල සිදු වූ සියලු මරණ ගණනේ එකතුව පසුගිය වසර පහක ඒ මාසයේදී සිදු වූ මරණවල සාමාන්‍යයට වඩා 2073ක් පමණ ඉහළ වූ විය. එහෙත් අප්‍රේල් මාසයේදී ඒ නගර දෙකෙන් වාර්තා වූ නිල කොවිඩ්-19 මරණ ගණන 629ක් වූ අතර, ඒ ගණන ඉහත ඉලක්කමෙන් අඩු කළ විට, අප්‍රේල් මාසයේදී සිදු වන සාමාන්‍ය මරණ ගණනට වඩා මරණ 1444ක් වැඩියෙන් සිදු වී ඇති බව පෙනෙයි. මේ අතරින් සමහරක් කොවිඩ්-19 නිසා සිදු වූ ඒවා විය හැකිය.
ඇමරිකාවේ පවා මීට සමාන තත්ත්වයක් ඇති වී තිබේ. රෝගය වාර්තා වූ මුල් සති කිහිපයේදී එරටින් වාර්තා වූ අතිරේක මරණ ගණන, කොවිඩ්-19 රෝගයෙන් මියගිය බවට වාර්තා වූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය. මේ අතිරේක මරණ ගණන අයනු මේ කාලයේදී සාමාන්‍යයෙන් ඇති වන මරණ ගණනට වඩා වැඩියෙන් සිදුවන මරණ ගණනයි.

වර්තමානයේ වැනි වෛද්‍ය, සන්නිවේදන ක්‍රම ප්‍රචලිත කාලයක මෙසේ සිදුවිය හැකි නම්, අතිතයේ පැවති වසංගතවල දී ඇති වූ මරණ ගණන කෙතරම් අක්‍රමවත්ව වාර්තා වී තිබේදැයි යන්න සිතාගත හැකිය. එහෙත් මෙවැනි ක්‍රම යොදාගනිමින් අතීතයේ ඇති වූ වසංගත අවස්ථාවල සිදුව ඇති මරණ ප්‍රමාණය ගණනය කිරීමට පියවර ගෙන තිබේ. එවැනි අවස්ථාවක් ගැන නිදසුනක් ලංකාවෙන් පෙන්වා දීමට හැකිය. ඒ 1918-1920 කාලයේ ලංකාවේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ වසංගතය නිසා ඇති වූ මරණ ගණන නිවැරදිව ගණනය කිරීමට යොදාගත් ක්‍රමවේදයයි.


ස්පාඤ්ඤ උණ නිසා ලංකාවේ ඇති වූ මරණ


1918 හා 1920 දක්වා සමස්ත ලෝකයේම ව්‍යාප්ත වූ, ස්පාඤ්ඤ උණ නිමින් වඩාත් ප්‍රකට වූ ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මරුමුවට පත් වූ මිනිසුන් සංඛ්‍යාව මිලියන 20ත් 100ත් ත් අතර වෙයි. වඩා සාධාරණ අගය වන්නේ මිලියන 50කි.

මේ රෝගය ලංකාවට ද බලපෑ අතර ඒ නිසා මරණයට පත් වූවන් ප්‍රමාණය ඒ දිනවල පළ වූ වාර්තාවල සඳහන් වන්නේ වෙනස් ආකාරයටය. රෙජිස්ටාර් ජනරාල්වරයාගේ සංඛ්‍යාලේඛන අනුව 1918-19 වර්ෂවල මේ රෝගය නිසා මරණයට පත්වූවන්ගේ ගණන 41,916කි. මේ ගණනට නියුමෝනියාවෙන් හා වෙනත් සංකූලතාවලින් මියගිය ගණන අඩංගු වී නැත. එහෙත් 1921 වර්ෂයේ ජන සංගණන වාර්තාවට අනුව මේ ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 57,000කි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව පසුකාලයක විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් අධ්‍යයනය කර තිබේ. සංගණන වාර්තා හා ලියාපදිංචි කිරීමේ දත්ත භාවිත කරමින් සී. එම්. ලැංග්ෆෝඩ් හා පී. ස්ටෝරි විසින් 1992 වර්ෂයේ පළ කළ එක් අධයයනයකට අනුව මේ ඉන්ෆ්ලුවන්සාව නිසා ලංකාවාසීන් 50,000ක් පමණ මියගිය බව සඳහන් කර ඇත. ඒ ගණන මෙරට එවකට සිටි මුළු ජනගහනයෙන් 1.1%ක් පමණ පිරිසකි.

නියාල් ජොන්සන් හා ජර්ගන් මුලර් විසින් 2002 දී පළ කළ අධ්‍ය්‍යනයකට අනුව ඒ වසංගතයෙන් ලංකාවේ මියගිය ගණන 91,600ක් ලෙසය. වර්නන් අයි ලී හා තවත් අය විසින් සිදු කළ අධ්‍යයනයකදී මේ මරණ ගණන 51,000ත් 91,600ත් අතර ගණනක් විය හැකි බව පෙන්වා දී තිබෙයි.

මේ පිලිබඳව 2014 වර්ෂයේදි පළ වූ සිද්ධාර්ත් චන්ද්‍රා හා දිල්ශානි සරත්චන්ද්‍ර විසින් සිදුකළ අධ්‍යයනයක දී අවධානය යොමු කර ඇත්තේ 1891 සිට 1931 දක්වා වූ සංගනන පහක දත්ත ඇසුරින් සකස් කළ ජනගහනය වර්ධන ආකෘතියකි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන පරිදි මේ රෝගය නිසා ඇති වූ ජනගහන හානිය මීට පෙර අධ්‍යයනවලින් පෙන්වා දුන් මරණ ප්‍රමාණයට වඩා ඉහළය. එය සංඛ්‍යාත්මකව ගතහොත් 307,000 හා 313,000 අතර වෙයි. එය මෙරට ජනගහනයෙන් 6.7%ක් පමණ වෙයි. එමගින් ලංකාවේ 1918-19 ඇති වූ ඉන්ෆ්ලුවන්සා මරණ අනුපාතය මීට පෙර අධ්‍යයනයවලින් පෙන්වා දුන් ගණනට වඩා සැලකිය යුතු තරම් ඉහළ බව යෝජනා කර ඇත.

No comments:

Post a Comment