Tuesday, June 9, 2020

අතීත මතක මාවතක පියනැගුවෙමි

ධනේෂ් විසුම්පෙරුම




නුගේගොඩට නුදුරුව පිහිටි අතුරු මාර්ග කීපයක පා ගමනින් යන්නට මට පසුගිය කාලයේ (කොරෝනා නිවාඩුවට පෙර) සිදු විය. මගේ දිවියේ වසර දොළහකටත් අධික කාලයක් අප පවුලේ අය පදිංචිව සිටියේ ඉන් එක් මාවතක පිහිටි ඇනෙක්සියකය. ඊට මගේ පාසැල් සමයේ වසර 12ක්ම හෙවත් ළමා කාලයම පාහේ අයත්ය. 1992 වර්ෂයේ ඒ නිවසින් අපේම වූ නිවසකට පැමිණි දාට පසු මා ඒ පාරේ ගියේ වරක් දෙවරක් පමණි. ඒ ද වාහනවලය.

පසුගියදා මට යළි ඒ මාවතේ හා යාබද මාවත් කීපයක පයින් ඇවිද යන්නට අවස්ථාව ලැබුණේ වසර පහලොවකට පමණ පසුවය. එසේ පිය නැගූ හැම දිනක්ම ජීවිතයේ මතක රැසක් අවදි කළේය. ඒ සමහරක් සුන්දරය, තවත් ඒවා වේදනාත්මකය. ඒ මතක සමහරක් සටහන් කිරීමට මට සිතුනේ ඒවා එතරම්ම සිතේ තැන්පත්ව ඇති නිසාය.

එදා තාර දමා තිබුන ද තැනින් තැන ගල් ගැල වී ඇති තිබූ ඒ මාවත් තුනම අද වන විට කාපට් දමා ඇත. එසේම ඒවාට සම්බන්ධ වූ පස් පාරවල් ක‌ොන්ක්‍රීට් කර ඇත. නැතිනම් ගල් අල්ලා තිබිණි. එදා ඉඳහිට වාහන ධාවනය වූ මේ පාරවල දැන් වෙනදාට වඩා වාහන දැකිය හැකිය. ඒවා නවීන පන්නයේ අලුත් වාහනය.

එදා මට පුරුදු නිවෙස් රැසක් තිබූ තැන්වල අද වෙනත් නිවෙස් ඉදි වී ඇත. මම ඉංග්‍රීසි පංති ගිය ගූරුවරයෙකුගේ හා ගුරුතුමියකගේ නිවෙස් දෙකක් තිබූ තැන්වල දැන් නවීන නිවාස ඉදිවී ඇත. එක් ගුරුවරියකගේ නිවස මා ඉතා ප්‍රිය කළ පැරණි පන්නයේ ආලින්දයක් තිබූ නිවසක් විය. ඒ පැත්තේ තිබූ අතලොස්සක් වූ එවන් නිවාස අතරින් හොඳ තත්ත්වයේ තිබූ සුන්දරම නිවස වූයේ එයයි. අද එතැන තිබුණේ තට්ටු දෙකක නිවෙසකි. මේ මතකය සිහි වී එතුමිය මට දුන් ඉංග්‍රීසි අරාබි නිසොල්ලාසය පොත සොයා බැලුවෙමි. එය මගේ පොත් එකතුවේ විය!

මගේ මිතුරන් විසූ නිවෙස්ද වෙනස් වී ඇත. ඒවායේ අලුත් පන්නයේ, තට්ටු දෙකේ තුනේ නිවාස ඉදි වී ඇත. ඒවායේ ස්වරූපය අනුව නේවාසික පරිසරයක් ලෙස සමස්ත ප්‍රදේශයේම තත්ත්වය ඉහළ ගොස් ඇති බව පැහැදිලි විය. එදා තිබූ කෙටි තාප්ප හා වැටවල් වෙනුවට අද උස් තාප්ප ඉදි වී තිබිණි. එයින් දැක්වුණේ මිනිසුන් එකිනෙකාගෙන් දුරස් වී ඇති අන්දමයි. අප පදිංචිව සිටි නිවසට යාබදව පිහිටි අක්කරයක පමණ ඉඩමක් මැද එක් පැරණි නිවසක් තිබූ තැනක අද නිවාස ගණනාවක් ඉදිව ඇත. ඒ ඉඩම බෙදා විකිණීම ආරම්භ වූයේ අප එහි සිටි කාලයේදීමය.

අලුතින් ඉදි වී තිබෙන බොහෝ නිවෙස්වල වාසය කරන්නේ මුල්පදිංචිකරුවන් නොවේ. ගේට්ටුවේ හෝ තාප්පයේ නම් සඳහන් කර තිබූ එකදු නිවෙසක හෝ මට පුරුදු නමක් හමු නොවීය. එසේම ඇතැම් නිවෙසක් විකුණා ඇත්තේ ඒ මිතුරු මිතුරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා බව ඒ දිනවලම දැනගන්නට ලැබිණි. තවත් පවුල් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ මේ ප්‍රදේශයේ වූ ඉඩම වැඩි මුදලකට විකුණා, ලොකු ඉඩමක් ගෙන දරුවන්ට ද බෙදා දීම සඳහාය. (කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තමා උපන් ගම් පිටින් ආ අයට විකුණා ඈත ප්‍රදේශවලට යෑම පසුගිය දශක කීපය තුල දැකිය හැකි විය).

එහෙත් වෙනස් නොවී තවමත් එදා මෙන්ම තිබූ නිවාස කීපයක්ම මට හඳුනාගත හැකි විය. ඉන් එකක් ඒ අයම පදිංචි නිවසක් බව මම දන්නේ එහි වෙසෙන්නේ ප්‍රසිද්ධ අයෙකු නිසාය. අනෙක් නිවස නම් නිසි නඩත්තුවක් නොමැතිව පැවති අතර ගබඩාවක් ලෙස භාවිත වන බවක් පෙනිණි.

පාරේ එතරම් වාහන ධාවනය නොවූ එකල අප පදිංචිව සිටි මාවතේ අප ක්‍රිකට් සෙල්ලම් කළේ මේ පින්තූරයේ පෙනෙන ඉසව්වේය. මදක් බෑවුම් සහිත ඒ පාරේ වාහන යන විට සෙල්ලම නවතා කඩුල්ල (පුටුවක් හෝ ලෑලි කැබැල්ලකි) පාරෙන් ඉවත්කරමින් "පාරෙ ක්‍රිකට්" ගැසූ හැටි සිහි විය. ඉදහිට අවට නිවසක ජනෙල් වීදුරුවක් බිඳුණු පසු ක්‍රිකට් ක්‍රීඩාවට සති කිහිපයක තහනමක් පැනෙවෙයි. එහෙත් එවැන්නක් සිදු වූයේ කලාතුරකිනි. මේ පාරෙන් හැරී යන අපේ නිවෙස හා තවත් නිවාස දහයක් පමණ පිහිටි ගුරුපාරේ දුවද්දී ගසක මුලක් පැටලී වැටී දකුණු අත දෙවන වරටද කඩාගත් හැටි මට මතක් විය. මතකයේ හැටියට ඒ 1980 ඔක්තෝබර් මාසයේ මුල දිනයක දීය.

අපේ නිවෙස් අසල විසූ පවුල්වල අය ම‌ගේ මතකයට ආවේ නිතැතින්මය. වැඩිහිටියන්, මෙන්ම සමවයස් මිතුරු මිතුරියන් ගණනාවකගේ මුහුණු සිතේ ඇදී ගියේය. ඒ ඇතැම් අය ගැන මතකය සුන්දරය. පෙර සඳහන් කළ පරිදිම ඒ අය වැඩිදෙනා අද වන විට නිවෙස් විකුණා හෝ විවාහ වී හෝ ප්‍රදේශය අත්හැර ගොසිනි. අපේ නිවෙස් අසල සිටි මට වඩා වසරක් බාල නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සක්‍රිය හමුදා සේවයේය. ඔවුන්ගේ වැඩිමල් සොයුරිය මට වසරකට දෙකකට වරක් හමුවන නිසා ඔවුන් ගැන දන්නෙමි. එක් අයෙකු යුද්ධයේදී තුවාලද ලද්දේය. ඔවුන්ගේ ඥාතීන් වූ සම වයස් මිතුරියන් දෙදෙනෙකු ද අපේ මිතුරු සමූහයේ විය. ඉන් එක් යුවතියක් දකුණු පළාතේ රැකියාවකට ගොස් ඒ ප්‍රදේශයටම දීග ගොසිනි. අනෙක් තරුණියගේ පවුලේ අය පදිංචිය වෙනස් කළේ අප එහි සිටි කාලයේදීමය. මේ සිව්දෙනා මෙන්ම සමහර විට මේ පවුල්වල වැඩිමහල් සොයුරු සොයුරියන් මෙන්ම වැඩිහිටි ඥාතීන් ද ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගුරුපාරේ කළ ටින් කැඩීමට ද එක් වූහ. මේ සිව්දෙනාම මට 1992න් පසු හමු වී නැත.

ඒ මාවතේ එකල උදේ හවස දුටු "නෙතට පියදසුන්" වූ ඇතැම් අය ගැන මතකය ගෙන ආවේ නම් මදක් සුන්දර වූ ද මදක් දොම්නසකින් යුක්ත වූද හැඟීමකි. මම ඒ බොහෝ දෙනා හඳුනාගත්තේ දහම්පාසලෙනි. එසේම, අතිරේක පංතිවල, මහමග, බසයේ ද හමු වූ ඔවුන් වැඩි දෙනා මට බාලය. එයින් එවකට කුඩා දැරියන් දෙදෙනෙකුගේ නම් මෙන්ම මුහුණු ද තාමත් මතකය. ඒ ඔවුන් දහම්පාසලේදී හමු වූ නිසාත්, එහි සමිති සමාගම් කටයුතුවල යෙදුණු නිසාය. මේ සමහර මිතුරු මිතුරියන් ඉන්නා ඡායාරූප මා සතුව ඇත. ඒවා සමහරක් බොඳව ගොස් ඇතත්, මතකය ඊට වඩා ප්‍රබලය.

පෙර සඳහන් කළ අද ගබඩාවක් වී ඇති නිවසේ කලක් පදිංචිව සිටි මගේ වයසට සමාන වයසක සිටි යුවතිය මට ඒ නිවස දුටු විටම සිහිවිය. බෙහෙවින් රූමත් වූ ඇය අප දැන සිටි සෙසුු යුවතියන්ට වඩා පොෂ් පෙනුමක්ද සතු වූවාය. ඇය ගියේ ප්‍රකට කතෝලික පාසලකටය. වසරකටත් අධික කාලයක් අපි බොහෝ දිනවල උදේ එකම බස් එකේ පාසල් ගියද කිසිදිනක කතා කර නැත්තෙමු. ඇගේ නිවස ආසන්නයේ සිටි අපේ යාළුවන් දැමූ නම තාමත් මතකය. ඇය අඳින ඇඳුම් නිසා වැටුණු ඒ නම ඇය කිසිදිනෙක දැන සිටියාදැයි නොදනිමි. දවසක් සවස ඒ නික්නේම් එක මට කී මිතුරා සමඟ ඒ වචනය සන්ධි කළ හැටි සාමාන්‍ය පෙළ සිංහල දැනුමින් වටහා ගන්නට උත්සාහ කළෙමු. ඔහු අද අප අතර නැත. ඔහු පසු කලක යුධ හමුදාවට බැඳී උතුරේදී රට වෙනුවෙන් දිවි පුදකළේය. ඔහු ගැන මතක වේදනාත්මකය. ඔහුගේ වැඩිමල් සොයුරිය මට පසුකලක වරක් දෙවරක් හමු වී ඇතත් කතා කරන්නට අවස්ථාවක් ලැබී නැත.

ඉදහිට හමුවන ඒ පැත්තේ මිතුරෙකුගෙන් මෙවැනි තොරතුරු දැන ගතිමි. ඒ පැත්තේ පදිංචිව සිටි අයියා කෙනෙක් මට ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන්මු හමු විය. 1990 ගණන්වලම ඒ ප්‍රදේශය හැර ගිය පවුලක වැඩමලා වූ ඔහු ළඟ දී දිනක් මට දුරකථනයෙන්ද ඇමතීය.

වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් ඇති ඇතැමුන් එදායින් පසු කෙදිනකවත් මගතොටකදී හෝ දැක නැත. එසේම තාමත් ඒ ප්‍රදේශයේ පදිංචි ටික දෙනා අතරින් මට හමු වී ඇත්තේ ද කීප‌ දෙනෙකු පමණකි. එම පෙදෙසින් අප පිටමංව ගත වූ සියවස් කාලකට අධික කාලයේ යළිත් හමු වී නැති අය බොහෝය. ෆේස්බුක් අඩවියෙහි ද මට තාමත් හමු ව ඇත්තේ ද දෙදෙනෙකු පමණය.

මට නිතැතින්ම සිහු වූයේ ටී.එම්. ජයරත්න ගයන මේ ගීතයයි. ඒ ගීතයේ කියැවෙන සන්දර්භය වෙනස් වූවත් මේ කොටස මගේ මතකයනට ද අදාළ බව සිතිණි.

''මේ පුංචි රටේ - කෙදිනක හෝ
මතු කවදා හෝ - යළි අප හමුවේවි''

මේ මා දකින්නේ කාලය මැවු වෙනසක අරුමයයි. ඒ කාලය දෙස මා බැලූවේ සිහින් ශෝකයක් හා සියුම් සතුටක්ද ඇතිව වුවද යම් උපේක්ෂාවකින්ද යුක්තවය. එසේ සිතීමට හැකි වීමම සතුටකි... මේ සටහන තබා අවසන් වූ මොහ‌ොතේ සිතට දැනුණේ මද සැහැල්ලවකි.

සැබැවින්ම එය මතක මාවතක පියනැගීමක් ම විය.

2020.06.08

No comments:

Post a Comment