Wednesday, October 30, 2024

නියැන්ඩර්තාල් මානවයින් වඳ වූ හේතුව පිළිබඳ නව අදහසක්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2024-10-30



නියැන්ඩර්තාල් මානව පොසිලයක් පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් ඔවුන්ගේ වඳවීම සඳහා බලපෑ හේතුව පිළිබඳ නව අදහසක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, මේ Homo neanderthalensis ආදි මානවයින්ගේ වඳවීමට හේතු වී ඇති එක් කරුණක් විය හැක්කේ ඔවුන් ප්‍රවේණික වශයෙන් හුදකලා වීමයි.

ප්‍රංශයේ රෝන් නිම්නයේ ග්‍රොට් මැන්ඩ්‍රින් (Grotte Mandrin) නම් ලෙන් ආවරණයක් සහිත එක්තරා ප්‍රදේශයකින් හමු වී ඇති නියැන්ඩර්තාල් මානවයකුගේ දන්ත ශේෂ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී ය. මේ ලෙන් ආවරණය වැදගත් ස්ථානයකි. හෝමෝ සේපියන්ස් මානවයින්ට මෙන්ම නියැන්ඩර්තාල් මානවයින්ට ද වාසස්ථාන වූ එකම ස්ථානය සේ සැලකෙන්නේ මේ ස්ථානයයි. එසේම අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල භාවිතය පිළිබඳව පැරණිම සාධක හමුවන්නේ ද මේ ස්ථානයේය.

අප මාතෘකා කරගන්නා නියැන්ඩර්තාල් දත් සහිත පොසිලය ඒ ස්ථානයෙන් හමු වී ඇත්තේ හමු වූයේ 2015 වර්ෂයේ දීය. එය 1979 වර්ෂයෙන් පසුව එරටින් හමුවූ පළමු නියැන්ඩර්තාල් මානවයින්ගේ ශේෂ විය. ‘තෝරින්’ ලෙස හඳුන්වා ඇති එම නව නියැන්ඩර්තාල් මානවයාගේ දත් 31ක්, හනුවේ කොටසක් හා ඇඟිලි අස්ථි පහක් පමණ ලැබී තිබේ. ඇතැම් විට සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් තිබිය හැකි බව සැලනෙ නමුත් ඒ ස්ථානයේ කැනීම් සිදුවන්නේ සෙමින්ය.

මූලික අධ්‍යයනවල දී අනාවරණය වූ පරිදි තෝරින්ගේ ජෙනෝමය සමාන වූයේ වසර 100,000ක් පමණ කාලයකට පෙර ජීවත් වූ මානවයින්ටය. එනම්, මේ පොසිලවලින් ලබාගත් DNA අවුරුදු 105,000ක් පමණ පැරණි Homo neanderthalensis ආදි මානවයින්ට සමානය. එහෙත්, මේ අස්ථි ශේෂ හමු වූ පුරාවිද්‍යාත්මක සන්දර්භය අනුව ඒවා වර්ෂ 40,000ත් 50,000ත් අතර කාලයකට අයත් වේ. මෙසේ ප්‍රවේණික ද්‍රව්‍ය හා පුරාවිද්‍යා සන්දර්භය වයස පිළිබඳව තිබූ වෙනස්කම පුරාවිදච්‍යාඥයන්ට ගැටලුවක් විය.

මේ නිසා තෝරින්ගේ වයස නිශ්චිතව නිර්ණය කිරීම සඳහා ඔවුන් අදාළ පොසිලයේ අස්ථි හා දත්වල ඇති රසායනික සමස්ථානික පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. ඒ මගින් අදාළ මිනිසා පරිභෝජනය කළ ජලයේ ස්වභාවය අනුව ඔවුන් වාසය කළ කාලයේ පැවති දේශගුණය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. වසර 100,000 පමණ කාලයකට පෙර වාසය කළ නියැන්ඩර්තාල් මානවයකු ජීවත් වන්නේ වඩා උණුසුම් දේශගුණයක් ඇති තත්ත්වයක වන අතර, වසර 45,000කට පෙර කාලයක පැවති අයිස් යුගයේ පැවති දේශගුණය වඩා සිසිල්ය. මේ අනුව තෝරින් ජීවත් වී ඇත්තේ අවුරුදු 40,000-50,000 අතර කාලයක දී බව තහවුරු වී ඇත.


වඳ වී යෑමට හේතුවක්


වසර ගණනාවක් තිස්සේ උක්ත වෙනස්කම පිළිබඳව වැඩිදුරටත් සිදුකරන ලද අධ්‍යයන අවසානයේ දී පර්යේෂකයින් පැමිණි නිගමනය අනුව මේ මානවයා ඇතුළත් වන්නේ ඔවුන්ගේ සෙසු කණ්ඩායම්වලින් වසර පනස් දහසකවත් කාලයකට හුදකලා වී සිටි කණ්ඩායමකටය. මේ ප්‍රවේණික හුදකලා වීම මේ මානවයාගේ DNA වඩා පැරණි වීම සඳහා හේතු වී තිබේ. වෙනත් වචනවලින් කියන්‌නේ නම්, ‘තෝරින්’ නමින් හඳුන්වනු ලබන මේ පොසිලය අයත් වන නියැන්ඩර්තාල් ගහනයේ සාමාජිකයන් අනෙක් නියැන්ඩර්තාල් ගහන සමඟ ජාන හුවමාරු කර නොගෙන අවම වශයෙන් අවුරුදු 50,000ක් පමණ කාලයක් ගත කර ඇති බවයි. මෙයි ඇති අපුරුම කරුණ වූයේ එකිනෙකාට දින දහයනින් ගමන් කරන දුරකින් එකිනෙකට වෙනස් ගහන දෙකක් වසර පනස් දහසක් පමණ කාලයක් වාසය කර තිබීමයි.

මේ අධ්‍යයනය දක්වා විශ්වාස කරන ලද්දේ නියැන්ඩර්තාල් මානවයින් වඳවී යන අවස්ථාව වන විට ද ඒ මානව ගහන පැවතියේ ප්‍රවේණික වශයෙන් සමජාතීය (homogeneous) තත්ත්වයක බවයි. එනම්, ප්‍රවේණික වශයෙන් ඔවුන් අතර සමානකම් පැවති බවයි. එමෙත් මේ අධ්‍යයනයෙන් හෙළි වන තොරතුරු අනුව, බටහිර යු‌රෝපයේම එකිනෙකට වෙනස් නියැන්ඩර්තාල් ගහන දෙකක් තිබී ඇත. ප්‍රවේණික වශයෙන් එකිනෙකට වෙනස් වූ මේ ගහන දෙක සාපේක්ෂව සමීප ප්‍රදේශවල වාසය කර තිබීම එක් ආකාරයකින් පුදුමයට කරුණකි.

තෝරින් අයත් වූ කණ්ඩායම් කුඩා හා පිටතට විවෘත නොවූ ගහනයක් වීම නිසා මේ තත්ත්වය ඇති වූ බව සිතිය හැකිය. මෙය නියැන්ඩර්තාල් මානවයින්ගේ වඳවීම පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කරන්නකි. කුඩා ප්‍රමාණයේ ගහන තිබීම හා ඒවා සංස්කෘතික වශයෙන් හා ප්‍රවේණික වශයෙන් හුදකලා වීම කියම් ජීවි විශේෂයක් වඳවී යෑම සඳහා ප්‍රධානතම හේතුවක් බව දන්නා කරුණකි. අනෙක් අතට, මේ වඳවීම සිදුව ඇත්තේ යුරෝපයට නූතන මානවයින් පැමිණීම සිදු වූ කාලය ආසන්න කාලයක දීය.


නූතන මානවයින්ගේ ඇති වූ අභියෝගය


මේ වන විට අප දන්නා ආකාරයට, නූතන මානවයා හෙවත් Homo sapiens sapiens මානවයා සහ නියැන්ඩර්තාල් මානවයින් අතර අන්තර් අභිජනනය සිදු වී තිබේ. මේ පිළිබඳ ප්‍රවේණික සාධක අද දක්වා නූතන මානවයින් අතර දැකිය හැකිය. එහෙත් නියැන්ඩර්තල් හා නූතන මානවයින් අතර අන්තර් අභිජනනයක් සිදුව ඇති බවට සාධක නියැන්ඩර්තාල් මානව පොසිල තුළින් හමු වී නොමැත. තෝරින්ගේ ශේෂ ඇතුළත් ප්‍රවේණික ද්‍රව්‍යවලින් ද එවැන්නක් හමු වී නොමැත. මෙසේ අන්තර් අභිජනයක් පිළිබඳ සාධක නූතන මානව ගහන තුළ පමණක් දැකිය හැකි වීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ගහනයේ ප්‍රජනනය කළ හැකි වයසේ සිටින සරු සාමාජිකයන් නූතන මානව ගහන හා එකතු වීම සිදුව ඇති බවයි. එය ද නියැන්ඩර්තාල් මානව ගහනයේ වඳවී යෑමට ඇති අවස්ථාව බෙහෙවින් ඉහළ නංවයි.

එසේම අලුතින් පැමිණි නූතන මානවයින් සමග ආහාර හා සම්පත් සඳහා තරග කරන්නට සිදුවීමත් නියැන්ඩර්තාල් මානවයින්ට බරපතළ වූ කරුණක් විය. මෙම ස්ථානයේ සාධක අනුව නියැන්ඩර්තාල් මානවයින් ඔවුන් වාසය කළ ප්‍රදේශයේ සතුටින් හා සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින් වාසය කර ඇති අතර, ඔවුන්ට වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමට අවශ්‍ය වී නොමැති බවක් පෙනේ.

එහෙත් ස්වභාවයෙන්ම මීට වෙනස් වූ නූතන මානවයින් වඩාත් ගවේෂණශීලී වූ මානවයන් විය. ඒ නිම්නයෙන් පසු අනෙක් නිම්නයේ කුමක් පවතී ද යන්න, ඔවුන්ට පෙනෙන ගංගාවෙන් අනෙක් පැත්තේ කුමක් පවතී ද යන්න ආදි කරුණු ඔවුන්ගේ අවධානයට ලක් විය. ඒ නිසා ගමන් කළ යුතු විය. එය නූතන මානවයාගේ සාර්ථකතවයට හේතු වූ බව රහසක් නොවේ.


මූලාශ්‍රය - https://www.cell.com/cell-genomics/fulltext/S2666-979X(24)00177-0

No comments:

Post a Comment