Monday, January 27, 2020

මෙතෙක්‌ සිතුවාට වඩා වැඩි කාලයක්‌ මිහිමත වාසය කළ Homo erectus

ධනේෂ් විසුම්පෙරුම



විදුසර, 2020.01.01, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2020/01/01/feature4.html




නූතන මානවයා අයත් වන Homo ගණයට ම අයත් සමීප ඥාති මානව විශේෂයක්‌ වන Homo erectus මානවයා වඳ වී ගියා යෑයි මෙතෙක්‌ සිතූ කාලයට වඩා වැඩි කාලයක්‌ මිහි මත වාසය කර ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත.

Homo erectus පිළිබඳව ලැබී ඇති පැරැණි ම සාධක අනුව ඔවුන් අදින් වර්ෂ මිලියන දෙකක පමණ කාලයකට පෙර අප්‍රිකාවේ සම්භවය වූ බව සැලකෙයි. ඉන් පසු ලෝකයේ වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති මේ මානවයා වසර මිලියන 1.5කට පමණ ඉහත දී අග්නිදිග ආසියාවට ද පැමිණ ඇත. මේ මානවයන්ගේ පොසිල හමු වූ ස්‌ථාන අනුව ජාවා මිනිසා, පීකිං මිනිසා නමින් හඳුන්වනු ලබන්නේ මේ මානවයා ය.

Homo erectus මානවයා මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගනියි. මුලින් ම සම්පූර්ණයෙන් ම ඍජුව ඇවිද ගිය මානවයා මොහු ලෙස සැලකේ (erectus යන වදනෙහි අර්ථය වන්නේ ද සෘජු යන්නයි). ඔවුන්ගේ කපාල ධාරිතාව නුතන මිනිසාට වඩා අඩු වූ අතර, දත් වඩා විශාල විය. අදින් වර්ෂ මිලියනයකට පමණ පෙර පාලනය කළ ගින්දර භාවිතය මුලින් ම සිදු කරන ලද්දේ ද Homo erectus මානවයන් විසිනි. එසේ ම මේ මානවයන් අදින් වසර 200,000කට පමණ පෙර මිහිතලයෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය බව අනුමාන කෙරෙයි. ඒ නූතන මිනිසා ද ඇතුළු වෙනත් මානව විශේෂ නිසා ඇති වූ තරගය නිසා බව සැලකේ.

මේ පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනයට අනුව මේ මානව විශේෂය අදට වර්ෂ 100,000කට ආසන්න කාලයක්‌ දක්‌වා අග්නිදිග ආසියා කලාපයේ ජීවත් වී ඇත. ඊට සාධක ලැබී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතෙනි. මේ මානව විශේෂය ලෝකයෙන් වඳ වී ගොස්‌ සැලකිය යුතු කාලයකට පසු ව දිනයක්‌ වීම නිසා මේ දිනය වැදගත් ය.


පොසිල හමු වීම


මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වී ඇති Homo erectus පොසිල අස්‌ථි ශේෂ හමු වී ඇත්තේ 1931-1933 අතර කාලයේ සිදු කරන ලද කැණීම්වලිනි. ඒ වර්තමාන ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ නැන්ඩොං (Ngandong) ප්‍රදේශයේ පිහිටි සෝලෝ (Solo) නම් ගංගාවේ ඉවුරේ ගඟට මීටර් 20ක්‌ පමණ ඉහළින් පිහිටා තිබූ අස්‌ථි තැන්පත් වූ ස්‌තරයකිනි.

ගිනිකන්දක්‌ පිපිරීමේ දී හෝ ඉන්පසුව හෝ ඇති වන අධික වර්ෂාව නිසා කඳු බෑවුමේ සියලු දේ ගසාගෙන යන බරපතළ සැඩ ප්‍රවාහයකට හසු වී මේ අස්‌ථි මේ ස්‌ථානයේ තැන්පත් වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. ජාවා බසින් ලහාර් (lahar) යනුවෙන් හැඳින්වෙන ඉතා චණ්‌ඩ ප්‍රවාහයක්‌ වන එයට ගලා යන ගමන් මෙඟහි හමු වන සියලු දේ ගසාගෙන යයි. මේ මිනිසුන් මිය යැමෙන් පසුව, එවැනි ප්‍රවාහයකට හසු ව ගසාගෙන විත් මේ ගංගා ඉවුරේ අස්‌ථි තැන්පත් වූ බව සැලකිය හැකි ය.

මෙහි දී හමු වී තිබුණේ හිස්‌කබලේ මුදුනට අයත් අස්‌ථි (skull cap) දොළහක්‌ හා පාදයේ කෙණ්‌ඩා අස්‌ථි (tibia) දෙකකි. මේ අස්‌ථිවලට අනුව එම මානවයන් අඩි 5-6 අතර උසකින් යුක්‌ත වූ බව ගණන් බලා ඇති අතර එය අප්‍රිකාවෙන් හා යුරේසියාවේ වෙනත් ස්‌ථානවලින් ලැබෙන Homo erectus මානවයන්ගේ ප්‍රමාණයට සමාන ය. එමෙන් ම අප මාතෘකා කරගත් ස්‌ථානයෙන් ලැබී ඇති අස්‌ථි වඩාත් මෑත කාලීන මෙන්ම වඩාත් දියුණු Homo erectus මානව පොසිල බව ද පැවසී ඇත.



මේ අස්‌ථි කාල නිර්ණය කිරීමට සඳහා එදා සිට ම විවිධ පර්යේෂකයන් උත්සාහ දරා ඇතත් ඒ පිළිබඳ විවිධ මත ඉදිරිපත් ව ඇති අතර ඒ ගැන විවාදයක්‌ පවතී. එයට හේතු වී ඇත්තේ කැණීම් බිම අවට ප්‍රදේශයේ භූවිද්‍යාත්මක තත්ත්වය සංකීර්ණ වීම හා මුල් කැණීම හා සම්බන්ධ විස්‌තර අපැහැදිලි තත්ත්වයක තිබීම ය. නිදසුනක්‌ ලෙස මේ ගැන මීට වසර විස්‌සකට පමණ පෙර කළ අධ්‍යයනයක දී ඒවා අදින් වසර 53,000ත් 27,000ත් අතර කාලයකට අයත් බවට දින නියම කර ඇත. ඒ අනුව Homo erectus මානවයන් Homo sapiens හෙවත් නූතන මානවයන් සමඟ එක ම කාලයක එම දූපතේ විසුවේ ද යන විවාදාත්මක අදහස ඇති විය.

මේ පොසිල පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීම පිණිස එම ස්‌ථානයේ නව කැණීමක්‌ සිදු කිරීමට අයෝවා විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායමක්‌ කටයුතු කර ඇත්තේ මෙබඳු පසුබිමක දී ය. ඒ සඳහා 1930 දශකයේ කළ කැණීම පිළිබඳ වැඩි විස්‌තර ලබාගෙන, බාධා නො වූ ස්‌ථානයක 2008-2010 කාලයේ දී කැණීමක්‌ සිදු කර ඇති අතර, අදාළ අස්‌ථි තැන්පත් වී තිබූ බොරළු සහිත තැන්පතුව හඳුනාගැනීමට හා එහි තිබූ මානව නො වන වෙනත් අස්‌ථි කාලනිර්ණය කිරීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත.


නව කාලනිර්ණයක්‌


ඒ අනුව කැණීමේ දී හමු වූ සත්ත්ව අස්‌ථි සඳහා ඔවුන් කාලනිර්ණ ක්‍රම කීපයක්‌ ඇසුරින් දින නියම කර ඇත. ඒ අනුව එක්‌ කාලනිර්ණ ක්‍රමයකින් වසර 109,000 හා 106,000 අතර අවම දිනයක්‌ ලැබී ඇති අතර, තවත් කාලනිර්ණ ක්‍රමයකින් වසර 134,000 හා 118,000 අතර කාලනිර්ණයක්‌ ලැබී ඇත. මේ අනුව ආකෘතික වශයෙන් පෙර සඳහන් අදට වසර 117,000 හා 108,000 අතර දිනයක්‌ ඔවුන් ලබා දී තිබෙයි. මේ සඳහා ලබා දිය හැකි වඩාත් නිවැරැදි හා නිශ්චිත දිනය එම පර්යේෂණ කණ්‌ඩායමේ මතය වෙයි.

මේ දිනය වැදගත් වනුයේ එය Homo erectus මානවයා ජීවත් වූ බවට අප දන්නා වඩාත් ම මෑත කාලීන දින වකවානුව වීම නිසා ය. එවැනි මෑත දින වකවානුවක්‌ ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් ලැබී නැත. එමෙන් ම මේ මානවයන් ඉන්දුනීසියාවේ වසර මිලියනයක්‌ පමණ වාසය කර තිබීම ද වැදගත් ය.

අප්‍රිකාවෙන් මේ මානව විශේෂය වඳ වී ගොස්‌ ඇත්තේ අදින් වසර 500,000කට පමණ කාලයකට ඉහත දී වන අතර ආසියාවේ පිහිටි චීනයෙන් මේ මානව විශේෂය අදින් වර්ෂ 400,000කට පමණ ඉහත දී වඳ වී ගොස්‌ ඇත. එසේ නම්, ජාවා දූපතේ මේ මානවයා වැඩි කාලයක්‌ ජීවත් වූයේ ඇයි ද යන පැනය මතු වෙයි. එහෙත් මේ සඳහා ද පිළිගත හැකි මතයක්‌ ඉදිරිපත් ව ඇත. ඒ අනුව, සෙසු ස්‌ථානවල දී අනෙක්‌ මානව විශේෂවලින් ඇති වූ තරගය නිසා Homo erectus මානවයන් වඳ වී යන්නට ඇති නමුත්, ජාවා දූපතේ එවැනි තරගයක්‌ ඇති නො වූ හෙයින් මේ මානවයන් වැඩි කාලයක්‌ යන තුරු පැවතී තිබෙයි.


වඳ වී යැමට හේතු


එමෙන් ම මේ වන විට හෙළි වී ඇති පරිදි මේ පොසිල අයත් කාලයට ම`ද කලකට පෙර, එනම් වසර 130,000ක පමණ කාලයේ සිට ජාවා දූපතේ පරිසරය වෙනස්‌ වීමට පටන් ගැනිණි. එනම්, දිගු කාලයක්‌ විවෘත කැළෑ ලෙස පැවැති පරිසරය දේශගුණික වෙනස්‌ වීම් නිසා ක්‍රමයෙන් තෙත් වනාන්තරයක්‌ බවට පත් වෙමින් තිබිණි. ඇතැම් විට ජාවා දූපතෙන් Homo erectus මානවයන් වඳ වී ගියේ මේ පොසිල අයත් කාලයේ බව සිතිය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා ඇති අදහසකි.

මීට හේතු දෙකක්‌ දක්‌වා ඇත. Homo erectus මානවයන් පිළිබඳ සාධක අදාළ අවධියෙන් පසු ව නො ලැබීම එක්‌ හේතුවකි. අනෙක්‌ හේතුව වන්නේ ඒ කාලය හා Homo sapiens හෙවත් නූතන මානවයන් එම දූපතට පැමිණි බවට සාධක ඇති කාලය වන අදින් වසර 39,000කට පෙර කාලය අතර ඇති වූ මානව ක්‍රියාකාරකම් පිළිබඳව සාධක නොමැති වීමයි. විද්‍යාඥයන් සාමාන්‍යයෙන් පිළිගන්නා පරිදි විවෘත සැවනා බිම්වලට පුරුදු වූ Homo erectus මානවයාට වර්ෂා වනාන්තරයක ගෙවන ජීවිතයකට හුරු වීමට අසීරු වන්නට ඇත. දැනට අප දන්නා පරිදි වර්ෂා වනාන්තරයක දිවි ගෙවීමට හුරු වූ එක ම මානවයා නූතන මානවයා ය. එවැනි ජීවිතයකට අවශ්‍ය විශේෂිත ශිලා මෙවලම් නිෂෘපාදනය කිරීමට Homo erectus අසමත් වීම මීට හේතුවකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු පිළිබඳව සමහර විද්‍යාඥයන් අතර එකඟතාවක්‌ නැත. එවැනි විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි තවත් සමහර ස්‌ථානවලින් ලැබෙන පොසිල නිසි පරිදි කාල නිර්ණය කර නැති බැවින් වඳ වී ගිය දිනය හා සම්බන්ධ නිගමනවලට එළැඹීමට ඉක්‌මන් වැඩි විය හැකි ය.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1863-2

No comments:

Post a Comment