Sunday, January 12, 2020

මීළඟ ඊමේල් පණිවිඩය යවන්න පෙර සිතන්න..!

ධනේෂ් විසුම්පෙරුම



විදුසර, 2020.01.08, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/01/08/feature1.html






සන්නිවේදනය සඳහා අද ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන මෙවලමක්‌ හෝ මෙවලම හෝ ලෙස විද්යුත් තැපෑල හෙවත් ඊමේල් පණිවිඩ දැක්‌විය හැකි ය. කඩදාසිවල ලියන ලිපි වෙනුවට ඊමේල් යෑවීම වඩාත් පරිසර හිතකාමී සන්නිවේදන උපක්‍රමයකි. ඒ කඩදාසිවල හා මුද්‍රණයේ කාබන් පියසටහන ඊමේල්වලට වඩා ඉහළ නිසා ය.

එහෙත් ඊමේල් සන්නිවේදනයේ පාරිසරික පියසටහන ද සැලකිය යුතු එකක්‌ බව අප අමතක නො කළ යුතු ය. 'අනවශ්‍ය' හෙවත් අත්‍යවශ්‍ය නො වන ඊමේල් පණිවිඩ යෑවීම අඩු කිරීමෙන් ඉතිරි කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය ගැන අදහසක්‌ පසුගිය නොවැම්බර් මාසයේ නිකුත් වූ වාර්තාවකින් ලබාගැනීමට හැකි ය. එය බ්‍රිතාන්‍යය පාදක කරගත් අධ්‍යයනයක්‌ වුව ද සමස්‌තයක්‌ ලෙස ලෝකයට ම අදාළ වෙයි.


ඊමේල් කාබන් පියසටහන


OVO Energy නම් සමාගම විසින් සිදු කරන ලද එම අධ්‍යයන වාර්තාව අනුව බ්‍රිතාන්‍ය වැසියන් විසින් එක්‌ දිනයක දී යවනු ලබන අනවශ්‍ය ඊමේල් පණිවිඩ ගණන මිලියන 64ක්‌ පමණ ය. ඒවා අතරින් වඩාත් ම සුලබ අනවශ්‍ය ඊමේල් පණිවිඩය වන්නේ එවූ පණිවිඩයකට ස්‌තූති කරමින් යවනු ලබන පණිවිඩ ය. මේ පණිවිඩ එන ලිපි (Inbox) අවකාශය පුරවනවා පමණක්‌ නො ව පරිසරයට ද බලපෑම් කරයි. මෙසේ යවනු ලබන සැම පණිවිඩයක්‌ පාසා ම අපගේ කාබන් පියසටහන ඉහළ යයි.

එක්‌ අනවශ්‍ය ඊමේල් පණිවිඩයක්‌ සඳහා කාබන් ග්‍රෑම් එකක්‌ පමණ නිකුත් වන බව ගණන් බලා ඇත. එය විශාල අගයක්‌ බව අපට නො සිතේ. එහෙත් ඉහත සඳහන් පරිදි එක්‌ දිනකට යවනු ලබන අනවශ්‍ය ඊමේල් මිලියන 64ක්‌ නිසා වාර්ෂික ව කාබන් විමෝචන ටොන් 23,475ක්‌ පමණ සිදු වෙයි. එසේ ම, සැම වැඩිහිටියකුට ම දිනකට මෙවැනි අනවශ්‍ය ස්‌තුති කිරීමේ පණිවිඩ යවන ගණන එකකින් අඩු කළ හැකි නම්, ඉතිරි කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන් 16,433ක්‌ පමණ වෙයි. මෙය කෙතරම් ප්‍රමාණයක්‌ ද යන්න සංසන්දනය කළ හොත් ඩීසල් කාර් රථ 3,334ක්‌ ධාවනයෙන් ඉවත් කිරීම හා සමාන ය.

මේ ආකාරයෙන් ඊමේල්වල කාබන් විමෝචන සිදු වන්නේ කෙසේ දැයි ඔබ තුළ කුහුලක්‌ මතු වනවා විය හැකි ය. අදාළ පණිවිඩය ලිවීමේ දී පරිගණකයේ හෝ දුරකථනයේ හෝ විදුලිය වැය වෙයි. එම පණිවිඩය ජාලය හරහා ගමන් කිරීමේ දී ද විදුලියක්‌ වැය වෙයි. ඒ පණිවිඩය ක්‌ලවුඩ් තැන්පතුවක (cloud) ගබඩා කරනු ලැබෙන්නේ දත්ත මධ්‍යස්‌ථාන භාවිතයෙනි. මේ දත්ත මධ්‍යස්‌ථාන ක්‍රියාත්මක වීම සඳහා අප සිතනවාට වඩා වැඩි විදුලි බලයක්‌ වැය වෙයි.


අනවශ්‍ය පණිවිඩ නවතා දැමීම


මේ අනුව අදාළ වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ස්‌තූති කිරීමට හෝ හුදෙක්‌ ප්‍රතිචාර දැක්‌වීමට හෝ හාස්‍යය උදෙසා හෝ යවනු ලබන ඊමේල් පණිවිඩ යෑවීම හැකි තාක්‌ නවතා දමන ලෙස ය. එය ආචාරශීලී නො වන්නක්‌ විය හැකි වුව ද, එමඟින් මිහිතලය බේරාගැනීමට ඉතා සුළු දායකත්වයක්‌ ලබා දීමට සැමට ම හැකි ය.

හුදෙක්‌ ඊමේල් පණිවිඩ නො යවා සිටීමෙන් පමණක්‌ දේශගුණ අර්බුදය නො විසඳෙන බව සත්‍යයකි. එහෙත් අප සිදු කරන මෙවැනි කුඩා කුඩා පියවරක්‌ නිසා ඇති විය හැකි කාබන් පියසටහන කෙතරම් ද යන්න ගැන නැවතත් සිතා බැලීමට අප පොලඹවන්නකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මෙය අප විසින් නාස්‌ති කරනු ලබන යම් යම් ද්‍රව්‍යවල ප්‍රමාණය ගැන නැවත නැවතත් සිතීමට අපව පොලඹවන බව සිතිය හැකි ය.

උක්‌ත සමාගම විසින් මේ සඳහා ගූගල් ක්‌රෝම් බ්‍රවුසරය සඳහා භාවිත කළ හැකි කාබන් කැපර් (Carbon Capper) නම් ක්‌රෝම් දිගුවක්‌ (extension) නිර්මාණය කර ඇත. එය ක්‌රෝම් සඳහා එක්‌ කළ පසුව ඔබ කිසියම් ඊමේල් පණිවිඩයකට කෙටි පිළිතුරක්‌ දීමට සැරසෙන විට එම පණිවිඩය යෑවිය යුත්තක්‌ දැයි සිහිපත් කරයි. එහෙත් අපට අවශ්‍ය නම් එය යෑවීමට හැකි ය. නැත හොත් නො යවා සිටීමෙන් මිහිතලයට සුළු හෝ යහපතක්‌ සිදු කළ හැකි ය.


තොරතුරු තාක්ෂණයේ කාබන් පියසටහන


සමස්‌තයක්‌ ලෙස තොරතුරු තාක්ෂණයේ කාබන් පියසටහන හා පාරිසරික පියසටහන සැලකිය යුතු කාලයක සිට අවධානයට ලක්‌ වූ කරුණකි. එහි කාබන් පිටසටහන අපගේ නිරීක්ෂණයට හසු නො වන්නේ එම කාබන් විමෝචන සිදු වන්නේ අප භාවිත කරන විදුලිය උත්පාදනය වන තැන දී වන නිසා ය. එම විදුලිය නිපදවන ක්‍රමය කාබන් විමෝචන නිපදවන්නක්‌ විය හැකි නම් එහි සැලකිය යුතු කාබන් පියසටහනක්‌ ඇත. අප දුරකථනය හෝ පරිගණකය හෝ භාවිත කරන්නට කරන්නට අපගේ ඒ සඳහා වන දායකත්වය ඉහළ යයි. අපට දුරකථනයේ හෝ පරිගණකයේ හෝ බැටරි යළි ආරෝපණය කිරීමට සිදු වන්නේ එහි පැවැති ආරෝපණය භාවිතයේ දී අවසන් වී ඇති නිසා ය. එහි දී අප භාවිත කරන විදුලි බලය එය පිරිසිදු හෙවත් පුනර්ජනනය කළ හැකි විදුලියක්‌ නො වන්නේ නම්, ඉහළ කාබන් පියසටහනක්‌ එයට තිබේ. මේ අනුව ඉතා ම කාර්යක්ෂම ලෙස අප දකින නූතන සන්නිවේදනයේ කාබන් පියසටහන ද සැලකිය යුතු තරම් වූවකි.

අප පෙර සඳහන් කළ ලෝකය පුරා පිහිටා ඇති පරිගණක දත්ත මධ්‍යස්‌ථානවල අධික විදුලි භාවිතය පිළිබඳ ව මෑත කාලයේ දී අවධානය යොමු වීම නිසා අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම් පිරිසිදු බලශක්‌තිය භාවිතයට යොමු ව තිබෙයි. ෆේස්‌බුක්‌ සමාගම පැවසූ පරිදි ඔවුන්ගේ සේවාදායක පරිගණක (server) අධික උෂ්ණත්වයක්‌ ඇති තත්ත්ව යටතේ වුව ද ක්‍රියාත්මක විය හැකි ය. ඒවා සිසිලනය කිරීම සඳහා අධික විදුලියක්‌ වැය වන වායුසමනය කිරීම් අවශ්‍ය නො වන අතර බාහිර පරිසරයේ වාතය ඒ සඳහා යොදාගැනීමට හැකි ය. එමෙන් ම ගූගල් සමාගම 2017 වර්ෂයේ සිට ඔවුන්ගේ දත්ත මධ්‍යස්‌ථාන හා කාර්යාලවල සම්පූර්ණයෙන් ම පුනර්ජනනය කළ හැකි විදුලිය භාවිත කරයි. ඇපල් සමාගම පුනර්ජනනය කළ හැකි විදුලිය මඟින් සිය බලශක්‌ති අවශ්‍යතාවෙන් 100%ක්‌ ම ලබා ගත්තේ 2018 වර්ෂයේ දී ය.


අපට කළ හැකි දේ


කෙසේ වෙතත් අන්තර්ජාලය හා විවිධ සේවා භාවිත කරන අප රට වැනි රටක භාවිත කරන විදුලියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ෆොසිල ඉන්ධන දහනයෙන් ලබාගන්නා විදුලිය විය හැකි ය. එබැවින් අප පරිසරය පිළිබඳ ව සිතන්නේ නම්, සබුද්ධික ව අවශ්‍ය දේ පමණක්‌ තෝරා බේරාගෙන පරිගණක හා ජංගම දුරකථන මෙන් ම, ඊමේල් හා අන්තර්ජාලය ද භාවිත කිරීම සුදුසු ය.

මේ පිළිබඳ ව කියෑවූ අපට සිතුණු දෙයක්‌ වූයේ ඊමේල් පමණක්‌ නො ව සමාජ ජාල හා වෙනත් පණිවිඩ මෙවලම් පිළිබඳ ව ද මෙය අදාළ නො වන්නේ ද යන්න ය. ඊමේල් මෙන් ම අත්‍යවශ්‍ය නො වන සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා තවත් ඩිජිටල් සන්නිවේදන මාධ්‍යයක්‌ වන්නේ සමාජ ජාල හා වෙනත් පණිවිඩ යෑවීමේ මෙවලම් ය. අප ඒවා කෙතරම් අනවශ්‍ය දේ සඳහා භාවිත කරනු ලබන්නේ ද? කෙනකු ගත් කෑම වේලක හෝ සුරතල් සතුන්ගේ පින්තූර ආදිය සමාජ ජාලවල පළ කිරීම මේ සඳහා නිදසුන් ය. ඒවා අත්‍යවශ්‍ය දේ නො වේ. එසේ නම් පරිසරය වෙනුවෙන් සංවේදී අප සබුද්ධික ලෙස සමාජ ජාල භාවිතය ගැන සිතිය යුතු වෙයි. අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ආදිය භාවිතය සම්බන්ධ ව ද එය එසේ ම ය. අපට බොහෝ වැදගත් දේ ගෙන එන අන්තර්ජාලයෙන් පරිසරයට සිදු වන හානිය වළක්‌වාගැනීමට නම් අන්තර්ජාලය භාවිත කළ යුත්තේ තෝරා බේරාගැනීමෙන් බව පැහැදිලි ය.

No comments:

Post a Comment