මිනිස් ජීවිත 28ක්, සතුන් මිලියන ගණනක් සහ වන බිම් හෙක්‌ටයාර මිලියන 7.3ක් බිලිගත් ඔස්‌ට්‍රේලියාවේ මහා වන ගින්න...
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2020.01.22, පි.5 (Vidusara)
http://www.vidusara.com/2020/01/22/feature1.htmlමෑත දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ විනාශකාරී වන ගිනි පිළිබඳව සමස්‌ත ලෝකයේ ම අවධානය යොමු විය. වෙනත් වසරවල ගිනි ඇති වන කාලයට වඩා පෙර පසුගිය අගෝස්‌තු මාසයේ දී පමණ මුලින් ම ඇති වූ මේ ගිනි වඩාත් ප්‍රබල වූයේ එරට නිව් සවුත් වේල්ස් හා වික්‌ටෝරියා යන ප්‍රාන්තවල ය. ඉන් ද වඩා බරපතළ වූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ය. මේ දක්‌වා ම මේ ගිනි සම්පූර්ණයෙන් ම නිවා දැමීමට හැකි වී නොමැති අතර, තවමත් ඔස්‌ට්‍රේලියාවට ග්‍රීෂ්ම සෘතුව පැවතීම ද ඊට බලපා තිබේ.
ජනවාරි මැද වන විට මේ ගිනි නිසා මිනිස් ජීවිත 28ක් අහිමි වී තිබිණි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් නිවාස 3000ක් පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් හෝ විනාශ වී ඇත. එමෙන් ම සිඩ්නි හා මෙල්බර්න් යන නගරවලට ද මේ ගිනි නිසා දැඩි බලපෑමක් ඇති විය. සිඩ්නි නගරයේ වාතයේ තත්ත්වය දෙසැම්බර් මාසයේ දී හානිකර මට්‌ටම මෙන් එකොළොස් ගුණයක් පමණ දක්‌වා ඉහළ ගියේ ය. මේ නිසා ඇති වූ දුමාරය හා කළු කාබන්, ගිනි ඇති වූ ප්‍රදේශයේ සිට පැසිෆික් සාගරයේ සැතපුම් 7000ක් පමණ දුරක් නැෙ`ගනහිර දෙසට ගමන් කර ඇත. මේ කළු කාබන් යනු සෞඛ්‍යයට අහිතකර වන්නක් වන අතර, දේශගුණ වෙනස් වීම වර්ධනය කිරීම සඳහා ද හේතුවකි.
මේ ගිනි නිසා මුළුමනින් ම විනාශයට පත් වූ වන බිම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 7.3කට වඩා අධික ය. (මෙය අක්‌කරවලින් නම් මිලියන 17.9ක් තරම් විශාල බිම් ප්‍රමාණයකි.) මේ ප්‍රමාණය බෙල්ජියම හා ඩෙන්මාර්කය යන රටවල් දෙකේ බිම් ප්‍රමාණයේ එකතුවට සමාන යพ තවත් ආකාරයකින් සංසන්දනය කරන්නේ නම්, 2019 වර්ෂයේ දී ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි නිසා විනාශයට පත් වූයේ හෙක්‌ටයාර 900,000කි. ඕස්‌ට්‍රේලියානු වන ගිනි නිසා සතුන් බිලියනයක් පමණ බලපෑමට ලක් වූ බව සිඩ්නි විශ්වවිද්‍යාලයයේ පරිසර විද්‍යාඥයන්ගේ අදහස වෙයි. ඉන් මිලියන ගණනාවක් පමණ ගින්නෙන් මිය ගොස් ඇත. මේ ගණන් බලා ඇත්තේ කෘමීන් හා මැ`ඩියන් වැනි ඇතැම් සත්ත්ව කාණ්‌ඩ ගැන නො සලකමිනි. මෙහි දී ඇතැම් සීමිත ව්‍යාප්තියක් තිබූ හා අඩු ගහනයක් තිබූ විශේෂවලට වැඩි බලපෑමක් ඇති වන්නට ඇත. මේ සියලු දත්ත මීට පෙර සිදු කරන ලද අධ්‍යයන මත කර ඇති ගණනය කිරීම් ය. සැබෑ තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ පවත්නා ගිනි නිසා ය.
වන ගිනි පාලනය සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා වෙනත් රටවලින් ද සහාය ලබාගැනීමට එරටට සිදු වී තිබෙයි. මේ වන විට එම ගිනි තරමක් පාලනය වී ඇතත්, තවමත් පවත්නා ග්‍රීෂ්ම සෘතුව නිසා එය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට තවත් කලක් ගත විය හැකි බව වාර්තා වෙයි.
මේ වන ගිනි එරට මෑත දශක කිහිපය තුළ ඇති වූ වඩාත් බරපතළ වන ගිනි ලෙස සැලකෙයි. සාමාන්‍යයෙන් ඕස්‌ට්‍රේලියානු වන ගිනි ඇති වීම සඳහා ස්‌වාභාවික හේතු බලපායි. නිදසුනක් ලෙස නියඟයෙන් දැඩි ලෙස වියළී ගිය වනාන්තරයකට අකුණු වැදීමෙන් ස්‌වාභාවික වන ගින්නක් ඇති විය හැකි ය. විශේෂයෙන් වැසි නොමැති ව වියළි තත්ත්ව යටතේ සිදු වන අකුණු ගැසීම් මෙවැනි ගිනි ඇති කරයි. කෙසේ වෙතත් වුවමනාවෙන් ම මිනිසුන් විසින් ද ගිනි ඇති කරන ලද අවස්‌ථා ද වාර්තා වී ඇති අතර ඒ සඳහා වරදකරුවන් අත්අඩංගුවට ද ගෙන ඇත.
වන ගිනිවලට ලක් වන රටවල්
විශාල ප්‍රමාණයේ වන ගිනි ලෝකයේ රටවල් රැසක දැකගත හැකි ය. එහෙත් ඕස්‌ට්‍රේලියාව යනු ලෝකයේ මහාද්වීප අතරින් වන ගිනි ඇති වීමේ අවස්‌ථාව ඉහළ ම වන මහාද්වීපයයි. එරට ජුලි හා අගෝස්‌තු මාසයෙන් ආරම්භ වන සමය වන ගිනි සමයක් ලෙස හැඳින්වෙයි. විශේෂයෙන් වසර අවසානයේ ඇරඹෙන එරට ග්‍රීෂ්ම සෘතුව සමයේ ඇති අධික උෂ්ණත්වය නිසා ගිනි ඇති වීමේ ප්‍රබල අවස්‌ථාවක් පවතී.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය, වන ගිනි සුලබ හා ගින්නෙන් වන හානි සුලබ වන තවත් ප්‍රදේශයකි. එමෙන් ම ස්‌පාඤ්ඤය ද වාර්ෂිකව මෙන් ගිනි ඇති වන රටවල් අතර වෙයි. මෑත දී අවධානයට ලක් වූ ඇමසන් වනාන්තරයේ ගිනි ඇති වීම වැඩි වශයෙන් මිනිසුන් විසින් ඇති කෙරෙන්නක් වුවත්, අධික උෂ්ණත්වය හා නියඟය වැනි සාධක ඒ තත්ත්වය බරපතළ වීමට බලපා ඇත.
වන ගිනි හා දේශගුණ වෙනස් වීම අතර සම්බන්ධය
දේශගුණ වෙනස් වීම හා වන ගිනි අතර කිසියම් සම්බන්ධතාවක් ඇති බව පුළුල් ව පිළිගැනෙන කරුණකි. එහෙත් එය තරමක් සංකීර්ණ කරුණකි. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම නිසා වන ගිනි ඇති වීමට ඇති අවස්‌ථා ඉහළ යා හැකි ය. එමෙන් ම දේශගුණ වෙනස් වීම නිසා ආන්තික තත්ත්ව වඩා තීව්‍ර වීම හා ඇති වන වාර ගණන වර්ධනය වීම ද සිදු වෙයි. එවැනි ආන්තික තත්ත්වයක් වන නියඟයත්, වන ගිනි ව්‍යාප්ත වීමට හා වඩා දිගු කාලයක් පැවතීමට හේතු වෙයි. නිය`ගය මෙන්ම ගංවතුර වැනි ස්‌වාභාවික ව්‍යසනවල බලපෑම ඉහළ යැම සඳහා දේශගුණ වෙනස් වීම හේතු වෙයි. ඒ එකිනෙකට වෙනස් ප්‍රදේශවල ය.
ඕස්‌ට්‍රේලියාව සම්බන්ධයෙන් ගත් විට මේ ගත වන්නේ දශක කීපයකට පසුව එරට දැකිය හැකි වූ බරපතළ ම නියඟයකි. එමෙන් ම පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇති වූ අධික උෂ්ණත්වය නිසා තාප ප්‍රවාහයක් පවා ඇති විය. එය එරටේ උෂ්ණත්ව වාර්තා බි`ද හෙළන ලද සිදුවීමක් බව වාර්තාවල සඳහන් විය. එරට වාර්තාගත ඉහළ ම උෂ්ණත්වය බව පැවසෙන සෙල්සියස් අංශක 41.9ක උෂ්ණත්වය වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මස 18 වැනි දා ය. එරට උෂ්ණත්වය 1910 වර්ෂයෙන් පසුව ගත වී තිබෙන කාලයේ දී සෙල්සියස් අංශකයකටත් වඩා ඉහළ ගොස් ඇත. මේ උෂ්ණත්වය ඉහළ යැමෙන් වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ 1950 වර්ෂයෙන් පසු ව ය.
එරට තුළ දැකිය හැකි උණුසුම් වීම පැහැදිලි කළ හැකි එක් ආකාරයක් වන්නේ ඉන්දියානු සාගරයේ නැෙ`ගනහිර පෙදෙසේ සාගර උෂ්ණත්වය සිසිල් වීමත් බටහිර පෙදෙසේ එය උණුසුම් වීමත් යන ක්‍රියාවලියයි. 'ඉන්දියානු සාගර ද්විධ්‍රැවය' (Indian Ocean Dipole) ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම නිසා ඉහත කී උෂ්ණත්ව අගයයන් දෙක අතර ඇති වෙනස කෙතරම් ඉහළ ගොස් තිබේ ද යත් වර්තමානයේ දී පසුගිය වසර 60ක පමණ කාලයේ දී පැවැති වැඩි ම වෙනස වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක් නැෙ`ගනහිර අප්‍රිකාවට ලැබීමෙන් ගංවතුර තත්ත්ව ඇති වීමත්, අග්නිදිග ආසියාවේ හා ඕස්‌ට්‍රේලියාවේ නියඟ ඇති වීමත් ය.
වන ගිනි හා wildfire එකක් ද?
ලැව් ගිනි හා වන ගිනි යන වචන සිංහල භාෂාවේ දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ ගිනි හැඳින්වීමට යොදාගැනීම නිවැරැදි ය. එහෙත් එම වදන් ස්‌වාභාවික පරිසරයේ ඇති වන සියලු ගිනි හඳුන්වන wildfire යන වදන සඳහා විද්‍යාත්මක සංදර්භයේ දී ගැළපෙන යෙදුමක් නො වන බව පෙනෙයි. වන ගිනි, කැළෑ ගිනි මෙන්ම ලැව් ගිනි ද එක ම අරුතක් දෙයි. ලැව් යනු වනාන්තරය හෙවත් යන අර්ථය දෙන නිසා ය. ඒ forest හෙවත් වනාන්තරයක ඇති වන ගිනි යන්න ය. එහෙත් ඊට අදාළ වචනය වන forest fire යනු wildfire යන කාණ්‌ඩයට අයත් එක් ගිනි වර්ගයක් පමණකි.
ස්‌වාභාවික පරිසර පද්ධතිවල ඇති වන ගිනි wildfire නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන අතර, අදාළ පරිසරය අනුව විවිධ ලෙසින් නම් කර ඇත. ඉන් එකක් වන forest fire යනු ලැව් ගිනි, කැළෑ ගිනි, වන ගිනි ලෙස දැක්‌වෙන වනාන්තරවල හටගන්නා ගිනි ය. තෘණ බිම්වල හටන්නා ගිනි තණ ගිනි (grass fire) ලෙස ද, පීට් බිම්වල හටගන්නා ගිනි පීට් ගිනි (peat fire) ලෙස ද නම් කර ඇත. තවත් එවැනි ගිනි වර්ග පවතී. අපේ රටේ පතන් බිම්වල හටගන්නා ගිනිවලට පතන් ගිනි යනුවෙන් සඳහන් වීම ද මීට නිදසුනකි.
එසේ නම් wildfire යන්නට සුදුසු වදනක් සොයාගත යුතු ව තිබෙයි. විවිධ ස්‌වාභාවික පරිසර පද්ධතිවල හටගන්නා පාලනය කළ නොහැකි ගිනි සියල්ල මීට ඇතුළත් ය. එයට 'වල් ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ 'වල්' යනු ද වනාන්තරයට යෙදෙන වචනයක් නිසා ය. 'ස්‌වාභාවික ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ ස්‌වාභාවික නො වන wildfire ද ඇති නිසාය. ලැව් ගිනි යන්න ඒ සඳහා භාවිත වුව ද එය නිවැරැදි නො වන්නේ ලැව් යනු ද වනාන්තරය නිසා ය.
මේ සියලු ගිනි ඇති වීමට ස්‌වාභාවික හේතු මෙන්ම මානව මූලික හේතු ද බලපායි. ප්‍රධාන ස්‌වාභාවික හේතු අතර වියළි කාලගුණයක් පැවතීම, අකුණු අනතුරු මෙන්ම ගිනික`දු පිපිරීම් ද දැක්‌විය හැකි ය. මිනිසුන් විසින් ඇති කෙරෙන මෙවැනි ගිනි ද සුලබ ය. වුවමනාවෙන් ම ඇති කෙරෙන වන ගිනිවලට අමතර ව ඉවත ලන සිගරට් කොට නිසා, අත්වැරැදීම් නිසා මෙන්ම අනතුරු නිසා ඇති වන ගිනි ගැනීම් ආදිය මානව මූලික හේතු නිසා ඇති වන ගිනි අතර වේ.
ශ්‍රී ලංකාවේ ද වන ගිනි හා පතන් ගිනි ඇති වෙතත් ඒවා ස්‌වභාවිකව හටගන්නේ නැත. මෙරට ඇති වන ගිනි සියල්ල ම පාහේ මිනිසුන් විසින් ඇති කරනු ලබන ගිනි වේ. ඒවා වුවමනාවෙන් හෝ අත්වැරැදීමකින් හෝ ඇති කරනු ලබන ඒවා විය හැකි ය.
No comments:
Post a Comment