මේක ඉස්කෝලෙ කතාවකට වඩා ටියුෂන් පංතියක කතාවක්. 1988 වර්ෂයේ 11 වසරෙ ඉන්න කාලෙ මම ගිය ගණන් පංතියෙ වූ සිදුවීමක්. ඒක නුගේගොඩ නාවල පාරෙ තිබ්බ ප්‍රසිද්ධ පංතියක්. ළමයි තුන්හාරසීයක් හිටිය ඒ පංතියෙ ඉගැන්වූ හා ආයතනය හිමි වූ සර් ටිකක් සැරයි. කොල්ලො කෙල්ලො යාලු වීම වළක්වන්න අවංකවම ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් දවස්වල ගෑණු ළමයි ටික යවලා මිනිත්තු දහයකට විතර පස්සෙ තමයි කොල්ලන්ව යවන්නෙ. ඒත් ඉතින් අර "සැබෑ උවමනාව" තියන, "ඇත්තටම ආදරය කරන" ගෑණු ළමයි එතැන තිිබුණු ළිදෙන් වතුර එහෙම බීලා, හෙමින් ගිහින් අතරමගදි අදාළ පුද්ගලයා එනකම් ඉන්නවා. කොල්ලන්ව මුලින් යැව්වෙ එකම එක දවසයි!
මේ පංතියෙ එක විශේෂ චරිතයක් හිටියා. ඒ පංතියේ සිටි අයගෙන් මට තවමත් නමින් මතක ඔහු පමණයි. ධනවත් පවුලක එකම පුතා වූ ඔහුු කොළඹ ප්‍රධානම පාසලක ඉගෙනගත්තෙ (මගේ පාසලේ නෙමෙයි. ඒ ගැනත් කියන්න වෙන කතාවක් තියනවා). මතක විදියට අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. හොඳටම නිදහස භුක්ති වින්ද, ටිකක් සෙල්ලක්කාර, පොෂ් පෙනුමක් තියන හාදයෙක්.
මෑන් තමයි පංතියෙ එකට හිටපු කොල්ලො සෙට් එකේ අප්‍රකාශිත නායකයා. මාත් ඉතින් ඒ සෙට් එකේ හිටියා. අපි හත් අට දෙනෙක් තමයි නාවල දිහාට පයින් ගෙදර එන්නෙ (වෙන යන්න ගමන් එහෙම තිබ්බෙ නැත්තං හොඳේ...).
අපේ කතා නායක මිත්‍රයා ඒ වෙනකොට කෙල්ලො කීප දෙනෙක් හිටපු කෙනෙක්. ඒත් ඒ කිසිවක් සීරියස් ඒව උනේ නෑ. ඒ පංතියෙ කලින් අවුරුද්දෙත් කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළුවෙලා හිටියාලු. (අපේ මිත්‍රයගෙ පෙනුමට අකමැති වන කෙල්ලෙක් නැති තරම් කියතෑකි)
ඒ අලුත් අවුරුද්දෙ මෑන් ටිකක් පස්සෙන් ගිහින් යාළු වුණ කෙල්ලෙක් හිටියා - එයා අහිංසක ඇස් දෙකක් තිබ්බ, සුදු, ටිකක් උස ලස්සන කෙල්ලක්. පැහැදිලිව කැපී පෙනෙන සෙමින් ගමනක් තිබූ කෙනෙක්. නුගේගොඩට කිට්ටුව පදිංචිව සිටි ඈ යමක් කමක් ඇති පවුලක බව පෙනේනනට තිබ්බා. වැල්වටාරම් නැතිව කීවොත් යාලුවුනොත් සිරාවටම ලව් කරන්න හිතෙන කෙල්ලෙක්.
ඉතින් ඒ ආදර කතාවෙ මුල් කාලෙ ඒ කෙල්ල එවූ ලිපියක් අපේ සෙට් එකේ හැමෝම වගේ කියෙව්වා. ඒකත් එක්ක අමුණලා තිබ්බා "Angel Love" කියා සඳහන් වූ මුද්‍රිත ටැග් එකක්. කළු-සුදු එකක් වූ එහි කපල් එකක් සරල නැටුමක ඉන්න චිත්‍රයක් තිබ්බෙ... එයා ලිපියෙත් කියලා තිබ්බෙ එයාලගෙ ආදරය "ඒන්ජල් ලව්" එකක් බව... වචනයෙන් වචනය මතක නැතත්, ඒක මං කියෝපු ලස්සනම පෙම් හසුනක් බව නම් මතකයි. අවුරුදු 16ක විතර කෙල්ලෙක් ලියූ එකක් ද කියලත් හිතෙන තරම්. එදා අපේ කට්ටිය යාලුවට දුන්න උපදෙස උනේ "ඒකි පව් බං", "ඒක සිරාවට කරපන්" කියලයි.
මොන විකාරද? ඒ ආදරයත් වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ සෙල්ලක්කාරයගෙ සාමාන්‍ය ක්‍රමයටම වගේ ඒ ආදරය නැවතුනා. පංතියෙ අන්තිම දවස්වල ඒ කෙල්ල දුකෙන් හිටි බව කාටත් පෙනෙන්න තිබ්බා. ඒ තමයි සුරදූත ආදරයකට වූ දේ...
ඒ ටැග් එක මට නම් කවදාවත් අමතක නොවන ටැග් එකක්. මේ සමඟ ඇති රූපය ඊට කිට්ටු කරන්වත් බෑ! ඒ ගෑණු ළමයටත් තිබ්බෙ අමතක නොවන මූණක්. පසුකාලයක අපි උසස්පෙළ කරද්දි වගේම මම සරසවි යන කාලෙදි නුගේගොඩ නගරයෙදි ඒ ගෑණු ළමයාව ඉදහිට දැක්කා - 2000 වර්ෂය විතර වනතුරු. ඉන් පස්සෙ දැක්කෙ නෑ.
තාමත් මට මතකයි ඒ මූණ... දැන් දැක්කොත් හඳුනාගන්න පුළුවන් ද කියලා නම් කියන්න බෑෑ.
(පසු සටහන - මෙහිඑන පොෂ්, සෙට් එක වැනි වදන් අප එකල භාවිත කළේ නැත.)
No comments:
Post a Comment