Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)

No comments:

Post a Comment