Wednesday, December 16, 2020

ජෛව ස්කන්ධය ඉක්මවා ගිය මානවකෘත ස්කන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.16, පි. 9

http://www.vidusara.com/2020/12/16/feature4.html





පෘථිවිය මත පවත්නා මිනිසුන් විසින් නිෂ්පාදනය කරල ලද ද්‍රව්‍යවල ස්කන්ධය හෙවත් මානවකෘත ස්කන්ධය මේ වර්ෂය වන විට පොළාව මත ඇති සමස්ත ජෛව ස්කන්ධයට වඩා අධික බව පසුගියදා නිකුත් වු අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි.

1900 වර්ෂයේ දී ලෝකයේ මානවකෘත ස්කන්ධය තිබී ඇත්තේ ගිගා ටොන් 35ක් පමණ අගයකය. එය එකල ලෝකයේ පැවති සමස්ත ජෛව ස්කන්ධයෙන් 3%ක් තරම් වී ඇත. එහෙත් මේ මානවකෘත ස්කන්ධය 2020 වන විට ටෙරාටොන් 1.1ක් (ගිගාටොන් 1100ක්) පමණ තෙක් වර්ධනය වී ඇත. එ් අනුව 2020 වර්ෂය හෝ ඊට වසර 6ක් එහා මෙහා වූ කාලයක් ඇතුළත ලෝකයේ මානවකෘත ස්කන්ධය, ජෛව ස්කන්ධයෙහි බර ඉක්මවා ගොස් ඇත.


මානවකෘත ස්කන්ධය හා ජෛව ස්කන්ධය


මෙහිදී මානවකෘත ස්කන්ධය (anthropogenic mass) ලෙස සලකා ඇත්තේ මිනිසුන් විසින් නිපදවනු ලැබූ ද්‍රව්‍යවල ස්කන්ධයයි. ඊට මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන අප්‍රාණික වූ ඝන ද්‍රව්‍යවල ස්කන්ධය ඇතුළත්ය. එසේම විනාශ කර දැමු හා භාවිතයෙන් ඉවත් කරන ලද ද්‍රව්‍යවල ස්කන්ධය ඊට ඇතුළත් නොවේ. බර ලෙස සලකා ඇත්තේ ජලය නොමැති වියළි බරය. ස්වාභාවික පරිසරයේ ද්‍රව්‍ය ප්‍රවාහයෙන් ආරම්භ වී සමාජආර්ථික පද්ධතියට එක් වන මේ ද්‍රව්‍යවල ස්කන්ධය මානවකෘති හෙවත් මෙවලම් (artefacts) ලෙස එකතු වීම සිදුවේ. මේ මානවකෘත ස්කන්ධය යනු භෞතික තාක්ෂණගෝලයට (physical technosphere) ඇතුළත් වන ඇසට පෙනෙන අප්‍රාණික සංඝටකය ලෙස ද හැඳින්විය හැකිය.

මේ මාකවකෘත ස්කන්ධය කාණ්ඩ හයකට බෙදා දක්වා තිබෙයි. ඒ කොන්ක්‍රීට්, මිශ්‍රණ ද්‍රව්‍ය (aggregate - මාර්ග හා ගොඩනැගිලිවල පදනම් සඳහා යොදාගන්නා බොරළු හා වැලි වැනි ද්‍රව්‍ය), ගඩොල්, ඇස්ෆෝල්ට් (asphalt - තාර ඇතුළත් කාණ්ඩය), ලෝහ යන ප්‍රධාන අංශ පහක් හා දැව, වීදුරු හා ප්ලාස්ටික් ඇතුළත් අතිරේක කාණ්ඩයක් ලෙසය. මේ කාණ්ඩවලට සමස්ත මානවකෘත ස්කන්ධයෙන් 98%ක් පමණ අයත් වෙයි. කෙසේ වෙතත් මේ ද්‍රව්‍ය උකහාගැනීමේ ක්‍රියාවලියේදී භාවිත නොකරන ද්‍රව්‍ය මෙහිදී ගණන් බලා නැත. නිදසුනක් ලෙස ගතහොත් ඉදිකිරීම් කර්මාන්තයේදී කනිනු ලබන ගල් හා පස් මෙන්ම දැව කර්මාන්තයේදී භාවිත නොකරන කොටස් මීට ඇතුළත් නොවෙයි. එමෙන්ම ඉදිකිරීම් සඳහා යොදාගනු ලැබෙන කාර්මික දැව මානවකෘත ස්කන්ධය තුළට ඇතුළත් කරගෙන ඇත්තේ එය මිනිසුන් විසින් තැනූ මානවකෘති හෙවත් මෙවලම් තුළ ඇතුළත් වන නිසාය.

මේ මානවකෘත ස්කන්ධය ගණන්බලා ඇත්තේ 1900 වර්ෂයේ සිට වන අතර, එය එහි ආරම්භක අගය සේ සලකා ඇත. ඒ වර්ෂයේ දී මානවකෘත ස්කන්ධය ගිගාටොන් 35ක් ලෙස ගණනය කර ඇත්තේ 1820-1900 අතර කාලයේ ද්‍රව්‍ය ප්‍රවාහ දත්ත භාවිත කරමිනි. (1820 දී මානවකෘත ස්කන්ධය ශුන්‍ය වූ ලෙස සලකා ඇත. ඊට පෙර තිබූ සමුච්චිත මානවකෘත ස්කන්ධය ඉතා සුළු ප්‍රමාණයක් වූ බැවින් 20වන සියවසේ ඇති වූ වර්ධනය පිළිබඳ ගණනය කිරීමට ඉන් සිදුකරන බලපෑම නොවැදගත් සේ සලකා ඇත.).

ජෛව ස්කන්ධය යනු පෘථිවිය මත දැකිය හැකි ජීවීන්ගේ සමස්ත ස්කන්ධයයි. මේ අධ්‍යයනය සඳහා වියළි ජෛව ස්කන්ධය යොදාගෙන ඇත. අදාළ වූ කාලය වූ 1900 සිට 2017 දක්වා කාලයේ ලෝකයේ ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී විවිධ ප්‍රවේශවලින් ලබාගත් ජෛව ස්කන්ධ ගණනය කිරීම් ආශ්‍රයෙන් සංකලනය කළ අගයක් යොදාගෙන තිබෙයි. මුලින්ම එහිදි ගණනය කර ඇත්තේ ශාක ජෛව ස්කන්ධයයි. එය සමස්ත ජෛව ස්කන්ධයෙන් 90%ක් පමණ ප්‍රමාණයක් වෙයි. පාංශු කාබන් යනු සජීවී ජෛව ස්කන්ධයක් නොවන බැවින් එය මෙම ගණනය කිරීමේදී සලකා බලා නැත. ශාක නොවන ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ස්කන්ධය ද ඇතුළත් කර ඇත.

මෙම මානව භෞතික තාක්ෂණගෝලයට ඇතුළත් වන ජෛව ස්කන්ධයක් ද තිබේ. ඊට අයත් භෝග වගා, පශු සම්පත වැනි දෑ මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය වන නමුත් මෙහි දී ඒවා ඇතුළත් කර ඇත්තේ ජෛව ස්කන්ධයටය.

මානවකෘත ස්කන්ධ අපද්‍රව්‍ය (anthropogenic mass waste) ප්‍රමාණය ද මානවකෘත ස්කන්ධයට එකතු කර සැලකුවහොත් ඒවායේ එකතුව ජෛව ස්කන්ධය ඉක්මවා ගොස් ඇත්තේ 2013 වර්ෂයේදී පමණ බව ද මෙහිදී හෙළි වී ඇත. එමෙන්ම ජෛව ස්කන්ධය සඳහා තෙත් ජෛව ස්කන්ධය ගතහොත් මානවකෘත ස්කන්ධය එය ඉක්මවා යෑම සිදුවන්නේ 2037 වර්ෂයේදී ය.


වැදගත් කරුණු කීපයක්


මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ වැදගත් කරුණු කීපයක් මෙසේ දැක්විය හැකිය.
  • 1900 සිට මේ දක්වා ලෝකයේ සිදු වූ මානවකෘත ස්කන්ධයේ ඉහළ යෑම ගැන සැලකූ විට එම ස්කන්ධය සෑම වසර විස්සකට පමණ වරක් දෙගුණ වී ඇත.
  • මානවකෘත ස්කන්ධය ඉහළ යන වේගය වෙනත් ආකාරයකින් දක්වන්නේ නම්, එක් මිනිසෙකුගේ බරට වඩා අධික මානවකෘත ස්කන්ධයක් සතියක් තුළ දී නිපදවේ.
  • ලෝකයේ ඇති ප්ලාස්ටික්වල ස්කන්ධය (අපද්‍රව්‍ය සමඟ) සියලු භෞමික සතුන් හා සාගර ජීවීන්ගේ ස්කන්ධයට වඩා අධිකය. ලෝකයේ ප්ලාස්ටික් ගිගා ටොන් 8ක් පමණ ඇති අතර, ජීවත්වන සියලු සතුන්ගේ ජෛව ස්කන්ධය ගිගාටොන් 4ක් පමණ වෙයි.
  • මානවකෘත ස්කන්ධය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අවස්ථා හඳුනාගත හැකිය. 1950 දශකය මැද පමණ සිට කොන්ක්‍රීට් භාවිතය පුළුල්වීම මෙන්ම 1960 දශකයේ දී පදිකවේදිකාවල ඇස්පාල්ට් ඇතිරීම ප්‍රචලිතවීමත් සමඟ මානවකෘත ස්කන්ධයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබෙයි. එසේම දෙවන ලෝක සංග්‍රාමය අවසන් වු පසුව උදා වූ වර්ෂවල මානවකෘත ස්කන්ධයේ ඇති වූ 5%ක පමණ වර්ධනයක් ඇති වී ඇත. එයට හේතු වී ඇත්තේ සම්පත් පරිභෝජනය මෙන්ම නාගරික සංවර්ධනය වේගවත් වීමයි. එය “මහා වේගවත් වීම” (Great Acceleration) ලෙස ද හැඳින්වෙයි.
  • එසේම ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත කාලවලදී මානවකෘත ස්කන්ධයේ අඩුවීමක් දැකිය හැකිය. 1930 දශකයේ ඇති වූ “මහා අවපාතය” (Great Depression) කාලයේ හා 1979 ආසන්න කාලයේ දී පමණ ඇති වූ තෙල් අර්බුදයේ දී ද මේ අඩුවීම දැකිය හැකිය.
  • කෙසේ වෙතත් ජෛව ස්කන්ධයේ දැකිය හැක්කේ වඩා අඩු වෙනසකි. 1900 සිට මේ දක්වා ගත වූ කාලයේදී ජෛව ස්කන්ධයේ සුළු අඩු වීමක් දැකිය හැකිය.
  • අද දැකිය හැකි වේගයෙන් මිනිසුන්ගේ නිෂ්පාදනය වර්ධනය වුවහොත් 2040 වර්ෂය වන විට මිනිසුන් විසින් නිපදවන ලද මානවකෘත ස්කන්ධය ටෙරාටොන් තුනක් පමණ විය හැකිය.
  • නුතන ජනගහනයට අවශ්‍ය ශාක වැවීම නිසා ජෛව ස්කන්ධය ඉහළ ගොස් ඇති බව සත්‍ය වන නමුත්, වන විනාශය හා භූමි භාවිතය ආශ්‍රිත වෙනත් කටයුතු නිසා අහිමි වී ඇති ජෛව ස්ක්න්ධය ඊට වඩා අධිකය.


මානව බලපෑමේ තරම


සරලව පවසන්නේ නම් මේ මානවකෘත ස්කන්ධය ඉහළ යන්නේ පරිභෝජනය ඉහළ යෑම සහ නාගරික සංවර්ධනය නිසාය. එසේම මේ අධ්‍යයනය ලෝකයේ මානව පියසටහනේ තරම පෙන්වා දෙන්නකි. එය මිනිසා විසින් පෘථිවිය මත ඇති කර තිබෙන බලපෑමේ තරම පෙන්වා දෙයි. මිනිසා ලෝකය වෙනස් කිරීමට සිදුකර ඇති දායකත්වය ගැන සාධක සපයන්නකි.

මේ වන විට මිනිසා ලෝකය වෙනස් කිරීම සඳහා සිදුකර ඇති කාර්යය මෙහි දී පැහැදිලි වේ. එසේම මිනිසා සහ සොබාදහම අතර ඇති සමතුලිතතාවය සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මෙයින් යළිත් අවධාරණය කරනු ලැබෙයි.

මේ අධ්‍යයනය වර්තමාන වකවානුව මානව යුගය (Anthropocene) ලෙස නම් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට සහයෝගයක් ලබා දෙයි. එය මිනිසුන් විසින් ලෝකයේ සිදු කර තිබෙන වෙනස්කම් පෙන්වන්නකි. මේ අධ්‍යයනය මගින් මානව බලපෑමෙන් ඇති වු මානව යුගය සම්බන්ධව ස්කන්ධය පාදක කරගත්, ප්‍රමාණාත්මක හා සංකේතාත්මක ලක්ෂණයක් පෙන්වා දෙන බව පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-3010-5)


No comments:

Post a Comment