Monday, February 20, 2023

දශකයක් ලියන 'පරිසර පුවත්'!


'විදුසර' පුවත්පතට 'පරිසර පුවත්' මැයෙන් මා විසින් සතිපතා ලියන ජගත් මට්ටමින් වැදගත් පරිසරය හා ඒ ආශ්‍රිත විෂය පිළිබඳ පුවත් එකතුව ලිවීමට පටන්ගෙන 2023 පෙබරවාරි 20 දිනට වසර දහයකි. එහි මුල්ම පුවත් දෙක පළ වුයේ 2013 පෙබරවාරි මස 20 දින දී ය (ඡායාරූපය). එදා සිට අද දක්වා මෙවැනි පුවත් එකතු 483ක්* පළ වී ඇත.

සෑම සතියකම කෙහොමත් කියවන පරිසරය හා සම්බන්ධ පුවත් අතරින් තුනක් තෝරාගැනීම ඇතැම් සතිවල අසීරු වන්නේ වැදගත් පුවත් අධික වීම නිසාය. එතැන දී ගෝලීය හා කලාපීය වැදගත්කම මෙන්ම විෂය වැදගත්කම ද සලකා බලා තිබේ. එසේම වැදගත් පුවතක් වචන දෙසීයකින් ලිවිය නොහැකි අවස්ථාවලදී ඇතැම් සතියක එක පුවතක් මුළු පුවත් ඉඩ සඳහාම ලියා ඇත. සමහර සිදුවීම් පුවතක් වනවා වෙනුවට විශේෂාංගයක් වී තිබේ.

මෙහි දී ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි කීපයක විද්‍යා හා පරිසර පුවත් මෙන්ම පර්යේෂණ සන්නිවේදනය සඳහාම කැප වූ වෙබ් අඩවි කීපයක් ද අඛණ්ඩව පරිශීලනය කරමි. කිසියම් පුවතක් සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් හෝ වාර්තාවක් පසුබිම වී ඇත්තේ නම්, අදාළ පර්යේෂණ ප්‍රතිකාවේ DOI අංකය හෝ වාර්තාවක නම් වෙබ් අඩවිය සඳහන් කර ඇත. ඒ වැඩිදුර ‌කියැවීම පහසු කිරීම පිණිසය.

මේ පුවත් සියල්ල ඒ සඳහා සකස් කරමින් ඇති බ්ලොග් අඩවියේ මේ වර්ෂය ඇතුළත පළ වනු ඇත.

*අවුරුදු දහයක් යනු සති පන්සිය විස්සක් වුවත් ලියූ පුවත් එකතු ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ හේතු කීපයක් නිසාය (1) නොවැම්බර් මාසයට යෙදෙන විදුසර සංවත්සර කලාපයේ පුවත් පළ නොවීම, (2) ඇතැම් වසරවල සිංහල අලුත් අවුරුද්ද සතියේ පත්‍රය පළ නොවීම, (3) පසුගිය 2022 වසර මැද සිට පුවත්පත පළ වන්නේ සති දෙකට වරක් වීම හා (4) මගේ කටයුතු බහුල වීම නිසා සති දෙකතුනක් නොලිවීම මේ හේතු වේ.


ධනේෂ් විසුම්පෙරුම

2023.02.20

No comments:

Post a Comment