Sunday, October 9, 2022

හයිද්‍රාබාදයේ නොකියූ කථා

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සතියකට අධික කාලයක් ගත කිරීමට අප කීපදෙනෙකුට අවස්ථාව ලැබිණි. ඒ ජෛව විවිධත්වය පිළිබඳ අන්තර්ජාතික සමුළුවකට (COP 11) සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය වෙනුවෙන් ගිය අවස්ථාවේදීය. හයිද්‍රාබාදය ඒ කාලයේ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනගරය ලෙස පැවති අතර, අද වන විට එය පසුව පිහිටුවන ලද ‌තෙලන්ගානා ප්‍රාන්තයේ අගනගරයයි.

ඒ ගමනේ ආගිය තැන් ගැන ලිපි කීපයක් The Nation පුවත්පතට ලිවීමි (මේ ලිපියේ පහළ ලින්ක් ඇත). මෙතෙක් ලිවීමට නොහැකි වූ රසවත් අත්දැකීම් කීපයක් ලියා තැබීමට ඉතිරි වී ඇත. ඒවා මේ ලියන්නේ හරියටම වසර දහයකට පසුවය.

ලංකාව පිහිටයේ කොතැනක ද?

හයිද්‍රාබාදයේ අප නැවතී සිටි කාලය ඇතුළත එහි වැසියන් සමග ගැවසීමට හා අදහස් හුවමාරු කරගැනීමට අපට යම් අවස්ථාවක් ලැබිණි. අප සහභාගි වූ වැඩසටහනට සහභාගි වූ අය, නවාතැනේ මෙන්ම නගරයේ දී හමු වූ ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි වූ ආන්ද්‍රා වැසියන් සමඟ ද අපට කතා කරන්නට හැකි විය.  

එහි දී පෙනී ගිය කරුණක් වූයේ ඉංග්‍රීසි කතා කරන්නට හා අවබෝධ කරගන්නට හැකි වූ අය අතර පවා ලංකාව ගැන තිබූ අවබෝධය විවිධ වූ බවයි.

අප එහි ගිය කාලයේ හයිද්‍රාබාදය ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර විය


වරක් මගී බස් රථයක ගමන් කරද්දී මා සමග කතාවට වැටුණු අයෙකුට අප පැමිණි රට දැනගැනීමට අවශ්‍ය විය. අප ආවේ ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ විට ඔහුට ඒ පිහිටියේ කොතැනදැයි දැනගැනීමට ද අවශ්‍ය විය. ඔහු පළමුව ඇසුවේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ද කියාය. එය එසේ නොවේ කියූ මම අප ඉන්දියාවට පහළින් පිහිටා ඇති වෙනම රටක් බව කී විට, තමිල්නාඩුවට මායිම් වන රටක්දැයි විමසා සිටියේය. ශ්‍රී ලංකාව පිළිබඳව ඔහු නොදැන සිටීම ගැන මට පුදුමයක් නොවූ අතර, තමන්ගේ රටේ මායිම නිසි ලෙස නොදැන සිටීම ගැන නම් මදක් පුදුම සිතුනි. එහෙත් මේ කතාව අපේ කට්ටියට කී විට ඔවුන් කීවේ "උඹේ ඉංග්‍රීසී මෑන්ට තේරුණාද දන්නේ නෑනේ" කියලාය.

අසල්වැසි රටේ ප්‍රධාන නගරයක වැසියෙකු ශ්‍රී ලංකාව කොතැනදැයි නොදැන සිටීම එක් ආකාරයකට විමතියට කරුණක් වුවත් එය සැමවිටම එසේ නොවීය.

තමිල්නාඩුවේ ක්‍රියාකාරිත්වය දැන සිටි හයිද්‍රාබාද් වැසියෝ ද සිටියහ. අප නැවතී සිටි එක් හෝටලයක කවුන්ටරයේ සිටි සේවකයන් අතර සිටි එක් මැදිවියේ අයෙක් අපේ රට පමණක් නොව රටේ පැවති බෙදුම්වාදී ගැටලුව ගැන ද දැන සිටියේය. එසේම තමිල්නාඩුව ඒ සම්බන්ධයෙන් කරන බලපෑම් ගැන ද ඔහු මනාව දැන සිටි බව පෙනුණි. තමිල්නාඩුව ලංකාව සම්බන්ධව දක්වන පිළිවෙත ගැන ඔවුන් එතරම් ප්‍රසන්න බවක් නොදැක්වූ බව අපට වැටහුණි. ඊට හේතුව වන්නට ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත දෙක අතර ඇති ගැටලු පැවතීම වීමට ද හැකිය.


ක්‍රිකට් අප එක් කරයි!

ශ්‍රී ලංකාව ගැන නොදත් බොහෝ දෙනා අතර, ලංකාව පමණක් නොව ලංකාවේ ප්‍රකට පුද්ගලයන් ගැන ද දැන සිටි අය ද අපට හමු විය. ඒ අතරින් එක් පොලිස් නිලධාරියෙක් සුවිශේෂ විය. මතක හැටියට ඔහු මධ්‍ය මට්ටමේ නිලධාරියෙකි. ඔහු අපේ රට ගැන දැන සිටියේ ක්‍රිකට් නිසාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවල දී ඔහුට ලැබුනු රාජකාරි නිසා අපේ රටේ ක්‍රීඩකයන් සමග කටයුතු කරන්නට මෙන්ම සේවා සපයන්නට ද අවස්ථාව ලැබී ඇත. එබැවින් ඔහුට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් පවා මතකයේ තිබිණි. අප සමුළුවට යන එන අතර දිනපතාම පාහේ හමු වූ ඔහු ඒ හැම විටම කතා කළේ ක්‍රිකට් හා අපේ රටේ ක්‍රීඩකයන් ගැනමය. ඔහුට මෙරට ක්‍රීඩකයින් හමු වු තරග ගැනත් කතා කළා මතකය. ඒ නිසාම, අදාළ ආරක්ෂක මුරපොළවලදී ඔහු අපට දැක්වූ සිනහවෙන් පිරි හිතවත්කම ද මට තවමත් මතකය.

ලංකාවෙන් ආ අප්‍රිකානුවන්

වරක් අපේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් තනිව රාත්‍රී ආහාරයට නගරයේ අවන්හලකට ගිය අවස්ථාවක දී අපූරු සිදුවීමක් සිදු වී තිබිණි. ඔවුන් කී පරිදි එහි සිටි අයෙක් ඔවුන්ගෙන් මෙසේ අසා ඇත.

"ඔයාලා මොන රටෙන් ද?"

"ශ්‍රී ලංකාවෙන්" යැයි කියූ විට තවත් අයෙක් ඒ කොතැනදැයි අසා තිබේ. ඒ අතර අපේ මිතුරන්ට ඇසී ඇත්තේ "අප්‍රිකාවේ රටක් වෙන්න ඇති" යනුවෙන් ඒ අයගෙන් කෙනෙක් පැවසූ ආකාරයයි!

මේ ගැන අපේ අදහස වූයේ, එහි සිටි අපේ මිතුරන් දෙදෙනාගේ ස්වරූපය දැකීමෙන් ඔවුන් එවැනි මතයකට එන්නට ඇති බවයි! ඒ බැවින්, මේ කතාව කිවූ පසු ඒ දෙන්නාට අපේ පිළිතුර වූයේ "අපිත් එක්ක යන්න කියන්නෙ ඕකනේ" යන්නය.

අපේ ශ්‍රී ලාංකික අප්‍රිකානු මිතුරන් අමනාප වන්නට ඉඩ ඇති බැවින් ‌ඒ දෙන්නාගේ පින්තූර ඇස් කපා හෝ දැමිය නොහැකිය. 


හයිද්‍රාබාදයේ කෑම!


කෑම ගැන කී බැවින් හයිද්‍රාබාදයේ කෑම ගැන නොකියාම බැරිය. ඒ දින කීපය තුළ අපට විවිධ ඉන්දියානු කෑම රසවිඳින්නට ලැබිණි. ඒ සමහරක් ලංකාවේ දී ආහාරයට ගෙන තිබූ ඒවාය. තෝසේ, ඉට්ලි ඒ අතර වූ අතර ඉන්දියානු කෑමවල රසේ වෙනසක් විය. මිරිස්වලින් තැනූ මිරිචි වඩ නම් මම රසබැලුවේ එහි දීය. 

මිරිචි වඩ


කෙසේ වෙතත් ඒ අතරින් 'හයිද්‍රාබාද් බිරියානි' වඩාත් සිත්ගත් ආහාරය විය. එය ඒ තරම්ම රසවත් විය. හයිද්‍රාබාද් බිරියානි එකේ තිබූ අතුරු ආහාරයක් වුයේ කපන ලද ලොකු ලූනු හෙවත් බොම්බයි ලූනු පෙතිය. ඒ ලූනු වර්ගය එසේ ආහාරයට ගන්නටම වවන එකක් බව සිතුනේ එහි සැර අඩු නිසාය. ලංකාවේ දී ඒ හා සමාන ලොකු ලූනු හමු වී ඇත්තේ ඉතා කලාතුරකිනි (අපේ රටේ ලොකු ලූනු යනු රතු ලූනුවලට ආදේශකයක් බව මට සිතේ. දැන් තියන ලොකු ලූනු සමහරක් සුද්ද කරද්දී රතු ලූනු සුද්දකරන විට වගේ සැරය).

මේ ගමනින් වසර කීපයකට පසුව මෑත දී නාවින්නේ අවන්හලක ‌දී හයිද්‍රාබාද් බිරියානි කෑමට ලැබිණි. එය මට හයිද්‍රාබාද් ගමන සිහිපත් කළේය.   


පොල් පටවන තුන්රෝද රථ


සාමාන්‍යයෙන් අපේ රටේ නම් තුන්රෝදයක තමන්ගේ අයකු මිස නොදන්නා අයෙකු රැගෙන යන්නේ කලාතුරකිනි. එහෙත් හයිද්‍රාබාදයේ තුන්රෝද රථයක ඇතැම්විට සෙනග කතාකර‌ගෙන යන්නේ රියැදුරාය. ඒ අනුව එක් ගමනකට අඩු ගානේ හත්අට දෙනෙකු එක් වෙති. රියැදුරාගේ දෙපස ද දෙදෙනෙකු ගමන් කරති. ගමන් ගාස්තුව ද එවිට අසාධාරණ නොවන බව පැවසේ.

මෙවැනි සේවාවක් ලංකාවේ දී එක් තැනක දී පසුව දැකගතිමි. ඒ රත්මලානේගොළුමඩම හන්දිය හා බොරුපන පාලම අතරය. වරක් මා දන්නා හඳුනන මහාචාර්යවරයෙකු ඔහුගේ නිවසට පැමිණීම සඳහා මට පාර කීමේ දී එන්නට කීවේ ඒ ආකාරයටය. යද්දී පයින් ගිය මම එද්දී ඒ ආකාරයට පැමිණියෙමි.


ඒ ෂර්ට් එක


දිනක් අපට ඇඳුම් කඩ කීපයකට යන්නට අවස්ථාව ලැබිණි. එහි තිබූ ඇඳුම් අතර, රළු පෙනුමක් ඇති අඳුරු ගොාම කොළ පාට ෂර්ට් එකකට අපේ අය අතර සිටි සක්‍රිය පරිසර ක්‍රියාකාරීකයෙකු වූ තරුණයකු‌ගේ සිත ගියේය. එහි පරිසර හිතකාමී බවක් හෝ පරිසර හිතැති බවක් දැකිය හැකි වූ නිසාය. ඔහු ඒ කමිසයක් මිලට ගත්තේය. මතක හැටියට එහි මිල ඉන්දියානු රුපියල් පනහකි. එහි වූ අනෙක් ඇඳුම් ගත් විට ඒ අඩු මිලකි. 

කෙසේ වෙතත් එහි සිටි සේවිකාවන් ඒ කමිසය දීමෙන් පසු සිනාවෙමින් ඔවුන් අතර යමක් කී බව පෙනුණි. අසීරුවෙන් පසුව අසා දැනගත් පරිදි ඒ කමිස වර්ගය ඒ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ඇඳුමයි. මේ රූපයේ ඇත්තේ ඒ ඇඳුම ඇඳ සිටින හයිද්‍රාබාද් රියැදුරෙකි.

තුන්රෝද රථ රියැදුරන්ගේ ෂර්ට් එක!


උස් මිටි භේදය


අන්ද්‍රා ප්‍රදේශයේ අප නැවතී සිටි හයිටෙක් සිටි ප්‍රදේශයේ සැමතැනකම පාහේ දැකිය හැකි වූයේ එපාට්මන්ට් හෙවත් මහල් නිවාසය. ඒ තොරතුරු තාක්ෂණ දියුණුව නිසාය. එසේම ඉදිවෙමින් පවතින විවිධ ආයතන රැසක් ද දැකිය හැකි විය. කෙසේ වෙතත්, මේ මහා ගොඩනැගිලි ආසන්නයේ වූයේ කම්කරුවන් නැවතී සිටි නිවාසය. 
මේ තත්ත්වය අද වන විට වෙනස් වී ඇති දැයි නොදනිමි. 

හයිද්‍රාබාදයේ මගක් අසල දර්ශනයක්


හයිද්‍රාබාදයේ හයිටෙක් සිටි හෙවත් තොරතුරු තාක්ෂණය හා අනෙක් කර්මාන්ත සහිත ප්‍රදේශය අපේ සම්මන්ත්‍රණය පැවති ප්‍රදේශය විය. ඒ ප්‍රදේශයේ බොහෝ නව ගොඩනැගිලි තතා තිබු අතර, තවත් ගොඩනැගිලි තැනෙමින් තිබිණි. 

කෙසේ වෙතත් තාක්ෂණික දියුණුව තිබුන ද, කෘෂිකර්මය හා ගොවීන් සඳහා වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසා ප්‍රාන්තයට ඒ දියුණුව ගෙන ආ චන්ද්‍රබාබු නායිදු 2004 දී පරාජයට පත්විය. අප එහි සිටි කාලයේ දී පවා ඇතැම් පිරිස් ඒ සිදුවීම සිහිපත් කළ ආකාරය දැකිය හැකි විය. එසේම ඒ ගැටුම ඒ කාලයේ දීද  පැවති බවක් පෙනිණි.


පාර පැනගන්න තිබ්බ අමාරුව


හයිද්‍රාබාදයේ අපට තිබූ එක් ගැටලුවක් වූයේ පාර හරහා පැනගැනීමට තිබූ අසීරුවයි. අප නිරීක්ෂණය කළ ආකාරයට පදිකයින්ට පාර පැනීම සඳහා සාමාන්‍යයෙන් වාහන නවත්වන්නේ නැත. වාහන එන අතර පරිස්සමෙන් පාර පැනගැනීමට අප දැනගත යුතුය. එවිට වාහන මදකට නවතිනු ඇත. එරට තවත් නගරවල තත්ත්වය එවැනි බව පසුව ඇසීමී. තැන් තැන්වල පාර මාරුවීම සඳහා ඉරි තිබ්බත් ජනතාව ද හැමතැනින්ම පාර මාරුවෙනු දැකිය හැකි විය. ඒ අනුව, "වාහන නතර නොකරන නිසා පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවනවාද?" නැතිනම් "පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවන නිසා වාහන නොනවත්වනවාද?" යන්න සිතාගත නොහැකි වූ ගැටලුවක් විය. ඒ ගැන නොසිතා පාර පැනීමට ඔවුන්ගේ ක්‍රමය ම භාවිත කළෙමු.

සමහරු පාර පනින්නට බලා සිටින අතර තවත් සමහරු පාර පනිති


හයිදාබාදයේ පැරණි නගරය සේ සැලකෙන සෙකුන්දරාබාද් ප්‍රදේශයේ දී ලිෆ්ට් එකක් සහිත පාර මාරුවන තැනක් දුටුවෙමි. පෙර කී ආකාරයෙන් වාහන ධාවනය වන තත්ත්වයක් තුළ එවැනි ලිෆ්ට් වැදගත් වන්නේ හුදෙක් ආබාධිතයන්ට පමණක් නොවේ. ඉන් වසරකට දෙක-තුනකට පසුව අපේ රටේ පාණදුරේ එවැන්නක් ඉදිකර තිබිණි (අන්තිමට පාණදුරේ ගිය කිහිප වතාවේ දීම එය අක්‍රිය බව දුටිමි).


බස් නවත්වන හැටි


එවැනිම තවත් අපූරු දෙයක් වූයේ බස්නවත්වන හැටිය. මංතීරු තුනක් ඇති පාරේ මැද මංතීරුවේම බස් නවත්වනු දැකිය හැකිවිය. අයිනේ සිටි මගීන් පාර මැදට ගොස් බස්වලට ගොඩ වූ ආකාරය ද දැකිය හැකිවිය.

මං තීරු තුනක් ඇති පාරේ මැද තීරුවේ නැවැත්වූ බසයක්


බස් මගී ප්‍රවාහනය

අපට ප්‍රවාහන පහසුකම් සැපයුනේ නිශ්චිත ‌වේලාවලට බැවින් ඇතැම් අවස්ථාවල අපි පොදු බස්රථවල ගමන් කළෙමු. හයිදරාබාදයේ (මෙන්ම ආන්ද්‍රා ප්‍රදේශයේම) මගී බස් ධාවනය රජය සතු සමාගමක් වන 'ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය මාර්ග ප්‍රවාහන සංස්ථාව' (Andhra Pradesh State Road Transport Corporation) නම් එරට රජයට අයත් සමාගමයි (ලාංඡනය බලන්න). කෙසේ වෙතත් බස් වර්ග කීපයක් මෙන්ම ගාස්තු වර්ග කීපයක්ම වූ බව අපි දුටුවෙමු. නගරයේ ඉතා හොඳ බස් සේවාවක් විය. බස්රථවල පහසුකම් කෙසේ වෙතත්, නිතර බස් ධාවනය වන බව දැකිය හැකි විය. (පසුව 2014 දී මෙම සමාගම දෙකඩ වී අද වන විට තෙලන්ගානා ප්‍රාන්තය සඳහා වෙනම සමාගමක් ක්‍රියාත්මක වේ. මේ සමාගම් දෙකේම රජය සතු බස් රථ මෙන්ම පුද්ගලික අංශයෙන් කුලියට ගත් බස් රථ ද ධාවනය වේ.)

Andhra Pradesh State Road Transport Corporation ලාංඡනය



මෙට්‍රො එක්ස්ප්‍රස් යනු සීමිත නැවතුම් ඇති නගර අතර ධාවනය ‌වන බස් රථය 


මේ බස්වල බොහෝ දුරට අපට හමු වූයේ කඩදාසි ටිකට්පත්ය. අප ගමන් කළ කිසිදු බසයත ටිකට් මැෂින් දුටු බවක් මට මතක නැත (ඒ තත්ත්වය අද වන විට වෙනස් වී තිබිය හැකිය).

ටිකට් රඳවනයක්

මේ බස්වල නිකුත් කළ ටිකට්පත් කීපයක් මෙසේය. මේවායේ සඳහන් වන ලාංඡනය ඉහත සඳහන් කළ Andhra Pradesh State Road Transport Corporation ආයතනයේය.

බස් ටිකට්පත් කීපයක්. මෙහි සඳහන් ලාංඡනය උක්ත සමාගමේය.


මේ බස්වල කාන්තාවන් සඳහා අසුන් ගණනාවක් වෙන් කර තිබිණි. කෙසේ වෙතත්, ඒවායේ කාන්තාවන් මෙන්ම පිරිමි ද ගමන් කරනු දැකිය හැකි විය. බොහෝ විට බස්වල ආසන හිස්ව තිබූ නිසා එය ඒ තරම් ගැටලුවක් නොවීය. බස් රථ ද ඕනෑ තරම් විය.

කාන්තාවන් සඳහා වෙන්කළ අසුන්


පොත් කඩේට ගිය ගමන


මගේ ගමනේ දී මට මිල දී ගැනීමට තිබූ පොත් දෙකක් මිලට ගැනීමට Orient Blackswan නම් ප්‍රකාශන ආයතනය සොයාගෙන හයිද්‍රාබාද් නගරයේ අනෙක් කෙලවරටම ගියෙමි. ඒ ගමනට අපේ නඩයේ තවත් අය ද එක් වූහ. ඒ ගමන ගියේ තුන්රෝද රියකය. පොත්කඩවලට අමතරව රෙදි කඩවලට ද නගරය බැලීමට ද එය උපකාරී විය.
ඒ පොත් සාප්පුවේ කාර්යාලය ඇතුළත දර්ශනයක්

ඉන්දියානු ගමනට කලකට පෙර සිට මා ඔවුන් සමඟ සන්නිවේදනය කර තිබූ බැවින් අප එන බව ඔවුහු දැන උන්හ. ඒ නිසා ඔවුන් අපට සැලකුයේ හුදෙක් පොත් ගන්නට ආ අය ලෙස පමණක්ම නොවේ. ලංකාවෙන් පැමිණ ඔවුන්ගේ පොත් හල සොයා පැමිණීම ගැන ඔවුන් බෙහෙවින් සතුටූ බව ද දැකිය හැකි විය. අප උනන්දු වන විෂය පිළිබඳව දැනුවත්ව ඒ සම්බන්ධ අපේ රටට ද අදාළ පොත් මොනවාද කියා පෙන්වීමට ඔවුහු කටයුතු කළහ. එපමණක් නොව අපේ රටේ ප්‍රකාශන ආයතනයකින් ඉදහිට ලැබෙන ආකාරයේ මිල අඩුකිරීමක්ද අපට ඔවුන් වෙතින් ලැබිණි.


ඉන්ස්ටන්ට් ලෑන්ස්කේප්


අප සහභාගි වූ සමුළුව පැවතියේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි විශාල සම්මන්ත්‍රණ ශාලාවකය. එම ප්‍රදේශය ආසන්නයේ මෙන්ම, ප්‍රධාන මාර්ගයේ ඒ ආසන්න ප්‍රදේශයේද මග ‌දෙපස මෙන්ම, මාර්ගය මැද දූපත් කොටස් ද මලින් පිරුණු ලොකු කුඩා පැළවලින් පිරී ගොස් තිබිණි. ඒවාට වතුර දමා නඩත්තු කරන ආකාරය ද දැකිය හැකි විය. කෙසේ වෙතත් ඒ කුඩා මල්පැළ ඉතා මෑත දී සිටවූ බව නම් පෙනෙන්නට තිබිණි.

ඉන්ස්ටන්ට් බව පෙනුණු ලැන්ඩ්ස්කේප් එකක්
 
මේ මල්වගාව ගැන අපේ උදේ-හවස සාකච්ඡා අතර ඇති වූ මාතෘකාවක් වූයේ මේ 'ඉන්ස්ටන්ට් ලෑන්ඩ්ස්කේපින්'  ඉන්දියානුවන් ලංකාවෙන් ඉගෙන ගත්තේද, නැතිනම් ලාංකිකයන් ඉන්දියාවෙන් ඉගෙන ගත්තේ ද යන්නය. ඒ කාලයේ දී මෙවැනි වැඩ කළ අපේ නායකයන්ගේ නම් ගම් ද ඒ කතාවට එක් වූ බව සඳහන් කළ යුතුය.


ජලය හා විදුලිය


ඒ කාලයේ හයිදරාබාදයේ දිවා කාලයේ විදුලි කප්පාදුවක් වූ බවක් මතකය. එහෙත් සම්මන්ත්‍රණය තිබූ ප්‍රදේශයේ එවැනි ගැටලුවක් වූයේ නැත. එසේම ජලය පිළිබඳ අර්බුදයක් ද වූ බවක් පැහැදිලි විය. බොහෝ ගොඩනැගිලි හෝටල  ආදියට ජලය සහයන ලද්දේ බවුසර් මගිනි. කෙසේ වෙතත් ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීමට හෝටල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

හෝටලයකට ජලය සපයන බවුසරයක්


ගෑණු ලමයි දැක්කම හිතුන දේ - ලංකාවට නිදහස ලැබෙද්දි ඉන්දියාවට එක් නොකළෙ ඇයි?

හයිද්‍රාබාද් නගරය ඉන්දියාවෙ ප්‍රධානම IT hub එකකි. ඒ රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි තරුණ තරුණියන් එහි රැකියාවල නියුක්ත වූ බව දැකිය හැකි වුණා. අප නවාතැන් ගත් හෝටලයට එන, රෑට කෑම කන්න ගිය තැන්වල රෑ 9-10ටත් පාරේ සිටි පිරිස් අතර තරුණ-තරුණියන් බොහෝය.
ඉන්දියාවේ ගෑණු ළමයි ලස්සනයි (ඇත්ත කියන්න එපායැ). ඉතින් දවස් ගණනක් තිස්සෙ මේ සුන්දර මුහුණු දකින අපේ කණ්ඩායමේ සමහරු හිටියෙ ටිකක් වශීවෙලා හෝ ටිකක් තක්බීර් වෙලා වගේ. වරක් අපේ කණ්ඩායමේ අයෙක් මෙහෙම කීවා...
"සුද්දො අපිට නිදහස දුන්න වෙලාවෙ, ඉන්දියාවට එකතු කළේ නැහැනෙ! එහෙනං අපිත් මෙහෙනෙ!"
ඔහු ඉන් අදහස් කළේ ලංකාව එදා ඉන්දියාවෙ කොටසක් උනානම් ලංකාවෙ අයට හයිද්රාබාද් හා වෙනත් ඉන්දියානු නගරවලට පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන බවයි... ඒ හුදෙක් ලස්සන ගෑණු ළමයි නිසාම රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය වචනයෙන් ‌හෝ පාවාදුන් මොහොතක් - හැබැයි විහිළුවට හා ඇති වූ දුක වහගන්න... මොකද එතැන අධිරාජ්ය විරෝධී වාමාංශිකයොත් හිටි නිසා!
(මේ කතාව මීට කලින් කියලා තිබ්බ එකක්.)


කියන්න බැරි කතා කීපයක් (මා විසින්ම) කපා හරින ලදි...

අදාළ මිත්‍රයන්ගේ ඉල්ලීම හේතුවෙන් මෙහි ලියන්නට බැරි කතා කීපයක් ඇති බව පමණක් මෙහි සඳහන් කරමි.‍ ඒත් ඒ සමහර කතා අපේ මිතුරන් හමුවන ඕපාදූප සැසිවාරවල දී කටගැසුම් ලෙස කියූ අවස්ථා ඇත. එහෙත් ඒ නම් ගම් රහිතවය (ඒ නිසා ඒ අය කලබල විය යුතු නැත). 


හයිදරාබාදයේ කියූ කතා (ලියු ලිපි)

1. Hyderabad The city, people and life, Nation, 04.11.2012

2. A different zoo and a village of culture at Hyderabad, The Nation, 11.11.2012

3. The Buddhist Heritage of Andhra Pradesh, The Nation, 25.11.2012


1 comment:

  1. නියම ගමනක්...
    අර ත්ර්විලර් රියදුරාගේ කමිසය මට පෙනෙන්නේ කහ පාටට හුරු දුබුරු පටකින්.

    ReplyDelete