Saturday, October 1, 2022

ලිපිනයක් තේරීමේ තරම - Sorting an address

Historical Notes - ඉතිහාස සටහන් 01

ධනේෂ් විසුම්පෙරුම


තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ 1935 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ හයවැනි පිටුවේ, එවකට සිටි තැපැල්පතිවරයා වූ ජේ. ආර්. වෝල්ටර්ස් අපූරු කෙටි සටහනක් තබයි. ඒ තැපැල් තේරීම පිළිබඳවය. තැපැල් තේරීමේ කාර්යය සිදු කරනු ලබන්නේ තැපැල්කරුවන් විසින්ම බව පවසන ඔහු ඒ සඳහා ඔවුන්ට අතිරේක ගෙවීමක් කරනු ලබන බව කියයි. එය මාසයකට රු. 5ක් වන අතර වසර දහයක් සම්පූර්ණ වූ පසුව ඒ ගාස්තුව රු. 10 දක්වා ඉහළ නංවනු ලැබේ. විශේෂ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත්, ඔවුන් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම කටයුතු කරන අතර ඔවුන්ගේ කාර්යය ඉතා ප්‍රශංසනීය බව පවසන තැපැල්පතිවරයා වැරදි ලිපිනවලට ලිපි බෙදීම ගැන ඇති පැමිණිලි අඩු බව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන්ට තේරීමට සිදු වන ඇතැම් කාර්යයක් පිළිබඳව නිදසුනක් ලෙස ඔහු දක්වා ඇත්තේ එක්වරම ‌තෝරාගත නොහැකි වූ ලිපිනයක් නිවැරදි ලෙස තේරුම්ගැනීමයි. ඒ අනුව ලිපියක සඳහන් වී තිබූ ලිපිනය මෙසේය.

U. R. Kittarpiya
Pyan Bangas
Paccata Road
Bambalapitiya

තැපැල් ‌තෝරන්නවුන්ගේ දක්ෂතාවය නිසා මේ ලිපිය ද නිසි ලෙස තෝරා නිවැරදි ලිපිනයට බාර දුන් බව සඳහන් කරන තැපැල්පතිවරයා නිවැරදි ලිපිනය වාර්තාවේ වෙනත් තැනක සඳහන් කරන බව කියන්නේ පාලන වාර්තාව කියවන්නා තුළ කුතුහලයක් ජනනය කරමිනි. ලිපි තෝරන්නවුන් විසින් පැහැදිලි කරගත් නිවැරදි ලිපිනය වාර්තාවේ 24 වන පිටුවේ මෙසේ සඳහන් වේ.

U.R. Kittarpiya (servants name)
C/O P. N. Banks (DIG Police CID)
Paget Road
Bambalapitiya


කෙසේ ද ඒ තේරීම?

අදාළ සම්පූර්ණ ඉංග්‍රීසි සටහන මෙසේය.

"As in other countries, the sorting staff has difficulty occasionally in deciphering the addresses on letters. The work of sorting is done by postmen who are paid an extra sorting allowance of Rs. 5 per month, rising to Rs. 10 after ten years service and considering that they have to deal with addresses in English, Sinhalese and Tamil and that their educational attainments are by no means high the work they do is very creditable and the complaints of misdelivery are few. A letter was recently received addressed to:
U. R. Kittarpiya,
Pyan Bangas
Paccata Road
Bambalapitiya

It was correctly deciphered and delivered. Readers may wish to try their hand at interpreting it. The correct solution will be found on page E24."

"The address on the letter referred to in paragraph 18 was correctly deciphered as-
U R Kittarpiya (a servant's name)
C/o P. N. Banks Esqr (Deputy Inspector General of Police CID)
Paget Road
Bambalapitiya"

මූලාශ්‍රය - Annual Report of Post and Telegraph, 1935. p. E6, E24 

++++++++++++++++++++++++++
Historical Notes - ඉතිහාස සටහන්:- වෙනත් කාර්යයක් සඳහා කියැවීමේ දී හමුවන, සටහන් කළ යුතු වැදගත් සිදුවීම් හා සටහන් ආදිය මේ තේමාව යටතේ සඳහන් කර ඇත. මේ සඳහා විශ්වසනීය හා සමකාලීන ලේඛන යොදාගෙන ඇත. ඇතැම් මූලාශ්‍ර (උදා - පුවත්පත්) වෙනත් මූලාශුයකින් තහවුරු කරගෙන තිබේ.

1 comment:

  1. ඒහ්... ඇත්තටම ‌ප්‍රශංසා කටයුතු මෙහෙවරක්. ඒ දවස්වල පියන් කියන්නෙත් ගමක ඉතාම වැදගත් ලෙස සළකන තනතුරක්. ඒ වගේ ම වැඩිහිටියන් පවා යම් යම් දේ ගැන උපදෙස් සහ දැනමුතුකම් ලබා ගන්නෙ ඒ වගේ රජයේ සේවකයන්ගෙන්.

    ReplyDelete