Tuesday, August 16, 2022

අධ්‍යාපනයේ වටිනාකම - සතුටක් දැනුණු බස් කතාවක් (බස් කතා 14)

අධ්‍යාපනයේ වටිනාකම - සතුටක් දැනුණු බස් කතාවක් (බස් කතා 14)
--------------------------------------------------------------

අද උදේ බස් එකේ මට අහන් ඉන්න උනේ අමුතු කතාවක්... අනුන්ගේ කතා අහන එක නරක පුරුද්දක් උනාට ඒක බස්වලදී කරන්න වෙනවනේ (අනෙක ඒ ඕපාදූප සෙවීම මගේ එක විනෝදාංශයක් වගේනේ). අද 138 බස් එකේ මගෙ පිටුපස අසුනේ හිඳ සිටි පුද්ගලයා, අනෙක් පස අසුනක හිද සිටි කෙනෙක් හා කතාවක් පටන් ගත්තා. වයස අවුරුදු 25ට කිට්ටු තරුණයන් වූ ඔවුන් කිරුලපන හරියේ පටන් මම බැසගිය තැන දක්වා තරමක දුරක් කතා කරමින් ගියා. මේ ඉන් මට ඇසුණු වැදගත් දේ සමහරක් මේ.

මුලින්ම දකුණු පැත්තෙ උන් කෙනාට වම් පැත්තේ උන් කෙනාගෙ නම අමතක වෙලා තිබිලා මතක් කරගත්තා. ඔවුන් දෙදෙනාම කොළඹ ඉහළ බටහිර පන්නයේ පාසලක (බෞද්ධ නොවන ආගමික පසුබිමක් ඇති) සිසුන්. ඔවුන් පාසල් සමයේ මිතුරන් වූවත්, ඔවුන් අතර වූ කතාවෙන් මට හිතුනේ එකම පංතියකට වඩා එකම ශ්‍රේණියක සිටයවුන් බවයි. උසට සරිලන මහතක් ඇති දේහධාරීන් වූ ඔවුන් ක්‍රීඩා කණ්ඩායම්වල සිටි අය බවත් හිතුනා. මොකද, මූලික වශයෙන් රගර් ක්‍රීඩාව ගැන කතා කළ ඔවුන් මේ සැරේ චැම්පියන් වූ 'පතන' ගැන කීමෙන්.

ඒ දෙදෙනා ඔවුන්ගේ යාලුවෝ ගැන කතා කළා. ඔවුන් දැන් කරන කියන දේ, පරණ කතා ටිකක් ඇදුනා. මට වහාම පසුපසින් උන් කෙනා තමන් ගැන කී දේ වැදගත්. ඔහුගේ කතාවෙන් කියැවුනේ ඔහු ආ ගමන ගැනයි. ඔහු පාසලෙන් ඉවත් වූ පසු කලක් එක්තරා මුල් පෙළේ පෞද්ගලික බැංකුවක රැකියාවක් කරලා තියෙනවා. ඒ කාලෙ නං ඉස්කෝලෙ යාලුවො කට්ටිය නිතර හමු උන බව හා සෙට් වුන බව කීවා. "දන්නවනේ අපේ උන් කන බොන හැටි... සමහර දවස්වල බිල එක පැන්නා" කීව ඔහු, ඒ බිල් එකිනෙකා ෂෙයා කරගෙන ගෙව්ව බවත් කීවා. ඒව දැන් නැතත් "හොඳ එක්ස්පීරියන්ස් එකක්" කියලා කිව්වේ අනෙකායි.

මෙතන දී වැදගත්ම කාරණය ආවෙ ඉන් පස්සේ. අනෙක් මිත්‍රයාට සාපේක්ෂව ඉතා ප්‍රසන්න පෙනුමක් තිබූ ඔහු තමන් කළ බැංකුවේ රස්සාවෙන් ඉවත් වී තිබෙන්නේ කැම්පස් යන්නයි. දැන් ඔහු ඉගෙන ගන්නෙ කොළඹින් පිටත පිහිටා ඇති අනූව දශකයේ පමණ ආරම්භ කළ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ පීඨයකයි. ඔහු සිය විශ්වවිද්‍යාල ජීවිතය සහ ඒ ලැබෙන අධ්‍යාපනයේ 'කොලිටිය' ගැන කෙටියෙන් වුණත් වැදගත් දේ කීවා. ඔහු ඒ අධ්‍යාපනයෙන් පසු වෘත්තිය ජීවිතයක් ආරම්භ කරන්න බලාපොරොත්තු සහගතව ඉන්නා බව පැහැදිලියි.

කොළඹ පිහිටි, ඉංග්‍රීසි භාවිතය අධික, ඒ වගේ පාසලක ළමයෙක් ලංකාවේ විශ්වවිද්‍යාලයක නිදහස් අධ්‍යාපනය අගය කිරීම ඉතා වැදගත් කියලා මට හිතෙනවා. මොකද මම ඒ පාසලේ නම සඳහන් නොකළත්, ඒ පාසලේ ළමයෙක් කොළඹ සරසවියේ අනූව දශකයේ මගේ සයන්ස් බැච් එකේ නම් මට හමු වී නෑ. ඒ වගේම ක්‍රීඩාවල යෙදුණු ඒ පාසලේ ළමයෙක්ට උසස්පෙළ යන්තමින් හෝ කළ පමණින් පුද්ගලික අංශයේ හොඳ රැකියාවක් සොයාගැනීම ඉතා පහසුයි. අපේ කාලේ උනත්, පූර්ණ වශයෙන් රජයට අයත් අපේ පාසලෙත් ඉගෙන ගත් ක්‍රීඩා කළ හෝ නැති සිසුන් සමහරක් උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලයට යනවට වඩා බොහෝ වෙලාවට උනන්දු වුණේ රැකියාවකට යන්නයි. ඔවුන් විශ්ව විද්‍යාලයට ගියා නම් වඩාත් යන්න කැමති උනේ ඉහළම පාඨමාලාවලටයි. ඒකට කීප වරක් උනත් ඒලෙවල් විභාගය කළා.

මේ අදහස් සටහන් කළේ ඒ තරුණයාගේ සිතිවිලි අගය කිරීම සඳහායි. අද ප්‍රවණතාව අනුව ඕලෙවල්වලින් පස්සේ ඒලෙවල් නොකරම (පාසල් ජීවිතයේ හොඳම කාලය අහිමි කරගෙන) පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පිවිස අඩු වයසින් උපාධියක් ගන්න පිරිස් අතර, මේ වගේ අය අගය කරන්න ඕනනේ. ඉතින් මම නැගිටලා ඉස්සරහින් බහින්නේ නැතිව පසුපස දොරෙන් බැස්සේ ඔවුන්ගේ මුහුණු බලාගන්නයි (උඩින් සඳහන් කළ ඔවුන්ගේ වයස හා පෙනුම මම දැක්කේ එවිටයි).

ධනේෂ් විසුම්පෙරුම
2022.08.15

No comments:

Post a Comment