Tuesday, August 9, 2022

දශක හතකට පෙර සතියක පුවත් සිරස්තල සමුහහක්

පහත දැක්වෙන්නේ අදින් වසර හැත්තෑවකට පෙර සතියක පමණ කාලයක් ඇතුළත මෙරට දිනපතා පුවත්පතක පළ වූ පුවත් සිරස්තල අතරින් තෝරාගත් සිරස්තල කීපයකි. මේ 1951 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දින කීපයක් බව ඇතැම් විට සිතාගැනීම අපහසුය. එදත් අදත් අතර වෙනස ‌කවරේද?

 

"චිත්‍රපට බලා නොමග යති"

ආදර්ශමත් ලෙස හැසිරිය යුතු අපේ තරුණයන් බොහො දෙනෙකු අසභ්‍ය චිත්‍රපය හා පොත්පත් බැලීමෙන් නොමග යන බව අසන්නට ලැබීම කණගාටුදායකය (පියතුමෙක්). මෙය සමාජ උත්සවයක දී පවසන ලද්දකි. 
- ලංකාදීප 1951.10.08


"ආණ්ඩුවේ මුදලින් සමහර පවුල් තරවේ"

"ආණ්ඩුවේ මුදලින් සමහර පවුල් තරකරනවාය යන චෝදනාව තමාද පිළිගන්නේ යැයි .... රාජ්‍ය ඇමති ඒ.ඊ. ගුණසිංහ කීය." 
- ලංකාදීප 1951.10.01


"ආසියාවේ කිසිම රටක් නොලැබූ තරම් දියුණුවක් පසුගිය කාලයේ ලංකාව ලබා තිබේ - අගමැති" 

අගමැති ඩී. එස්. සේනානායක විසින්, මහනුවර දී පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවක දී කී කතාවක පළ වී ඇති සිරස්තලයයි.
- ලංකාදීප 1951.10.01


"ආදායම් බදු ගෙවීමට කීප දෙනෙකුට කල් දෙයි"

මෙම පුවතේ සඳහන් වන්නේ නොගෙවු ආදායම් බදු ගෙවීම සඳහා නව දෙනෙකුට අධිකරණය විසින්  සති කීපයක කාලයක් ලබා දී ඇති අවස්ථාවකි. ඒ අය ගවෙිය යුතු බදු මුදල් රු. 74 සිට 3153.28 දක්වා පරාසයක විය. 
ඔවුන්ගේ නම් හා ගම් සඳහන්ව තිබීම විශේෂයකි. වැඩි දෙනා කොළඹට තදාසන්න ප්‍රදේශවල වැසියන්ය.
- ලංකාදීප 1951.10.02


"කැලෑ රැකගැනීමේ තැතක්"

"මෙරට කැලෑ ආරක්ෂා කිරීමට කැලෑ දෙපාර්තමේන්තුව බලවත් පරිශ්‍රමයක් දාරාගෙන යයි" යනුවෙන් ආරම්භ කරන පොදු සාමාන්‍ය පුවතකි.
- ලංකාදීප 1951.10.03


"පළාත් පාලන මණ්ඩලවල මුදල් වංචා පාලනයට යයි"

පළාත් පාලක ආයතනවල මුදල් වංචා ඇති බැවින් ඒවා වැළැක්වීම සඳහා "ආරක්ෂක උපක්‍රම ඇතුළත් පනතක් කැබිනට් මණ්ඩලය සලකා බලයි".
- ලංකාදීප 1951.10.04


"අගමැති පියා හා ඇමති පුතා 8 වෙනිදා පිටත්වෙති"

අගමැති ඩී. ඇස්. සේනානායක හා ඇමති ඩඩ්ලි සේනානායක ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට සුහද චාරිකාවක යෙදීමට ඒ මාසයේ 8 වන දින පිටත්ව යන බව සඳහන්ය. මේ දෙදෙනා ඥාතිත්වය හා සම්බන්ධව කාටූන්, සෙසු දේශපාලකයන් කී කතා ආදිය ද පුවත්පත්වල පළ විය.
- ලංකාදීප 1951.10.04


"හොර අරක්කු මිල වැඩි වෙයි"

එක් අයෙකුට ගෙන යා හැකි ප්‍රමාණය අරක්කු බෝතලයක සීමාවීමත් සමඟ හොර අරක්කු මිල වැඩි වී තිබේ. මේ පුවතේ සඳහන් පරිදි, ඇතැම් මත්පැන්හල් වසා දමා ඇති නිසා ඇතැම් පිරිස් බයිසිකල්වල නැගී දිනකට කීප වරක් දුර බැහැර පිහිටි මත්පැත්හල් වෙත ගමන් කර ඇත. පුවත පොල්ගහවෙලිනි.
- ලංකාදීප 1951.10.04

No comments:

Post a Comment