මේක මට මතක විදියට මම පහළ බාලාංශ පංතියෙදි වූ දෙයක්. ඒ කියන්නේ අද නම් 1 වැනි ශ්‍රේණිය. වයස අවුරුදු 6ක් වන ළමයි ඉන්න පංතියක්.
ඒ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ කුලී නිවසකයි. මේ සේනානායක මාවත ප්‍රධාන පාරට වැටෙන්නේ නාවල හන්දියේ මදක් රාජගිරිය පැත්තට වන්නටයි.
ඒ පාර වැටෙන තැන ඒ කාලෙදි වැස්සට ටිකක් යටවෙනවා. වතුරෙ බැහැල තමයි යන්න ඕන. වතුර පිරුණම මාව පොඩ්ඩක් උස්සලා තියන්නෙ මං පුංචි නිසා.
ඉතින් මේ කියන දවසෙ මං පාසලේ ඉද්දි මහා වැස්සක් වැටුනා. ඒ පාසල අවසන් වන්නට ආසන්න වෙලාවෙ වගේ. ඉතින් ඉස්කෝල දැන් ඇරිලා, ඒත් එළියෙ වහිනවා. මාව එක්කන් යන්න එන්න ඕන අම්මා තවම නෑ. පරක්කුයි. මං එළිය දිහා බලමින් හිටියෙ - ඒ දර්ශනය මතක නිසා තමයි මං හිටපු පංතිය මතක් වන්නේ.
පංතියෙ ටීචර්ත් ඉන්නවා. ළමයිත් කීප දෙනෙක් ඉන්නවා.
දැන් මට දරාගන්න බෑ. බයයි. මං ඇඬුවා හොඳටම... මෙන්න මෙහෙම කියමින්...
"අනේ නාවල යටවෙලා ඇති... අම්මා ගිලිලද දන්නෙ නෑ" කියලා.
මේ කතාව අම්මා ආවම ටීචර් කිව්වා. අම්මත් මං දිහා බලලා හිනා උනා වගෙ මතකයි.
(මේ සමඟ දැක්වෙන 2015 ඔක්තෝබර් ගත් Google Earth ඡායාරූපයේ දැක්වෙන්නේ සේනානායක මාවත ප්‍රධාන මාර්ගයට එක්වන හන්දියයි. නාවල හන්දිය දෙසට ද රාජගිරිය දෙසටද ඇති මාර්ග උස් බැවින් මෙතැන වම් පස බස් නැවතුම අසල එකල වැසි දිනවල දී වතුර එකතු විය. දැන් තත්ත්වය නොදනිමි)
ධනේෂ් විසුම්පෙරුම
12.08.2021
No comments:
Post a Comment