Wednesday, September 23, 2020

වනාන්තර රැකීම සඳහා ඉඩම් මිල දී ගැනීම හෝ හුවමාරු කිරීම ඵලදායක ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.09.23, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/09/23/feature1.html


ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ලංකාගම ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමක් පිළිබඳ සිදුවීම මෑත දී සාකච්ඡාවට ලක්වූවකි. සති කිහිපයක් රටේ පැවැති ආන්දෝලනයකට හේතු වූ එහිදී අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පරිසරයට හානි නොවන සේ පාරක් ඉදිකරන්නට තීරණය වූ බව වාර්තා විය.

මේ මාර්ගය පිළිබඳව වූ සාකච්ඡාව වැඩි වශයෙන් පැවතියේ සමාජ මාධ්‍ය ඔස්සේය. විවිධ පාර්ශ්ව ඒ ගැන අදහස් දැක්වීම හා වාද විවාද ඇති කරගත් ආකාරය අපි දුටුවෙමු. ඒ වාද විවාද සඳහා මූලිකව බලපා තිබුණේ ඒ ඒ අයගේ දේශපාලන අදහස් බව ද බොහෝවිට දැකිය හැකි විය. අප මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ ඒ දේශපාලන අදහස් ගැන නොව, ඒ සාකච්ඡාව අතර දී මතු වූ සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස අනාගතයේදී වැදගත් විය හැකි කරුණක් පිළිබඳවය.

පෙර කී සමාජ මාධ්‍ය සාකච්ඡා අතර දී පරිසරය ගැන කතා කරන පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන්ගෙන් ෆේස්බුක් අඩවිය ඔස්සේ ඇතැම් අය විමසූ එක් පැනයක් විය. ඒ "ලංකාගම වැසියන්ට තමන්ගේ නිවාස හා ඉඩම් ලබාදීමට නගරයේ වෙසෙන පෙර කී පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන් කැමැතිද" යන්නය.

ඊට දින කීපයකට පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියක් එවැනි යෝජනාවක් සිය ෆේස්බුක් පැතිකඩ හරහා කළාය. ඒ, ඇයට අයත් කෑගල්ලේ පිහිටි ඉඩමක් ලංකාගම අයෙකුගේ ඉඩමකට මාරු කිරීමට කැමති බවයි. ඇය කියා තිබුණේ එසේ ලබාගන්නා ඉඩම සිංහරාජ වනාන්තරයට ලබා දීම ඇගේ අරමුණ බවය. ඒ සමඟ පරිසරයට ආදරය කරන තවත් අය ගණනාවක්ම ඒ හා සමාන හුවමාරු කිරීම් ගැන ෆේස්බුක් අඩවියේ සටහන් පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ සටහන් ලියූ පසුව, ඒ ඉල්ලීම් හුදෙක් ප්‍රායෝගික නොවන බව සමහරු පවසා තිබිණි. එහෙත් ලෝකයේ මෙවැනි දේ සිදු වේ. එනම් විනාශ විය හැකි ඉඩම් මිල දී ගෙන සංරක්ෂණය සඳහා වෙන් කිරීමයි.


සංරක්ෂණය සඳහා ඉඩම් මිලදී ගැනීම


සංරක්ෂණ වටිනාකමක් ඇති හා එළි පෙහෙළි වීමේ අවදානමක් සහිත පුද්ගලික අයිතියේ ඇති ඉඩම් මිලදී ගෙන ඒවා විනාශ වී යා නොදී සංරක්ෂණය සඳහා යෙදවීම මේ වන විට ජගත් මට්ටමින් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ උපායමාර්ගයකි. එය මේ වන විට ලෝකයේ රටවල් ගණනක විශාල බිම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයකි.

එහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයේ ඉඩම් අදාළ රටේම ක්‍රියාත්මක වන සංවිධානයක් හෝ ආයතනයක් මගින් මිල දී ගැනීමය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන්නේ ජගත් මට්ටමින් ක්‍රියාත්මක විශාල හා ධනවත් සංවිධාන මගිනි. ඒවාට අරමුදල් ලැබෙන්නේ විවිධ පුද්ගලයන්ගෙන් හා සමාගම් ආදියෙනි. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලෝක ඉඩම් භාරය (World Land Trust - www.worldlandtrust.org) මෙවැනි එක් අරමුදල් සපයන ආයතනයකි. ඇමරිකාවේ ක්‍රියාත්මක වැසි වනාන්තර භාරය (Rainforest Trust - www.rainforesttrust.org) 1988 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙවැනි සංවිධානයකි. මේ සංවිධාන මගින් ඇමරිකාවේ (උතුරේ හා ලතින් ඇමරිකාවේ), අප්‍රිකාවේ හා ආසියාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට හා ආරක්ෂා කිරීමට ඔවුන් අරමුදල් සපයා තිබේ. ඇමරිකාව ඇතුළු තවත් රටවල ද මෙවැනි තවත් වෙනත් සංවිධාන ද පවතී. ඔවුන් මේ දක්වා සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් විනාශයෙන් මුදාගෙන සංරක්ෂණය සඳහා යොදාගෙන ඇත.

කෙසේ වෙතත් එසේ මිල දී ගන්නා ඉඩම් මිලදී ගැනීම, ආරක්ෂා කිරීම හා කළමනාකරණය කරනු ලබන්නේ අදාළ රටේ සංවිධානය හා ප්‍රජාව විසින් හෝ ඒ දෙකම එක්වය. (එම දේශීය සංවිධාන බොහෝ විට ජෛව විවිධත්ව සංරක්ෂණය අරමුණු කරගත් ඒවා වෙයි). එසේ නැතහොත් ඒ ඉඩම් එසේම තිබෙන්නට හරිනු ලැබෙයි. ඇතැම් අවස්ථාවලදී සංරක්ෂණය සඳහා ඒ රටවල රාජ්‍ය ආයතනවලට පැවරූ අවස්ථා ද ඇත. මේ සෑම අවස්ථාවකදීම එම රටේ තත්ත්ව අනුව යෝග්‍ය වූ සංරක්ෂණ උපායමාර්ගයක් අනුගමනය කිරීමට අවස්ථාවක් ලැබෙන බව පැහැදිලිය.

අපට යාබද ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි ඉඩම් මිලදීගැනීම් සිදුව ඇත. දකුණු ඉන්දියාවේ ඝාට්ස් කඳු ප්‍රදේශයේ පිහිටා ඇති මුදාහලී නම් වන තීරුව සතුන් සංක්‍රමණය වන ප්‍රදේශයකි. එහි අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘෂිකාර්මික බිම් අයිතිකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනත් ගැටලු අවම ප්‍රදේශයකින් ඉඩම් ලබාදීම (හුවමාරු කිරීම) ඉන්දියානු සංවිධානයක් මගින් සිදු කර තිබෙයි.

සංරක්ෂණ අරමුණු අතින් වඩාත් වැදගත් වන්නේ සංවිධානයක් හා ප්‍රජාව මගින් සිදුකරනු ලබන මෙවැනි මැදිහත් වීම්ය. එසේම කුඩා ඉඩම් කැබලි මිලදී ගැනීමට වඩා එහිදී වැඩි වශයෙන් සිදුව ඇත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීම ද වැදගත්ව. (කෙසේ වෙතත් ඇතැම් ස්ථානවලදී තනි තනි පුද්ගලයින් විසින් ද ඉඩම් මිලදී ගැනීමක් සිදුවී ඇති අවස්ථාද ඇති බව අප අමතක නොකළ යුතුය. ඒ සුප්‍රකට ධනවතුන්, කලාකරුවන් ආදි පුද්ගලයින් විසිනි. එවැනි මිලදී ගැනීම්වලදී එම ඉඩම් පුද්ගලික අයිතිය යටතේ ආරක්ෂා වන නමුත් ඊට වඩා වැඩි දිගු කාලීන සංරක්ෂණයක් ප්‍රජාව හෝ සංවිධාන මගින් සිදුකරන මෙවැනි ක්‍රියාවකින් අපට අපේක්ෂා කළ හැකිය.
මේ ආකාරයට විවිධ සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලදුව සංරක්ෂණය සදහා මිලට ගෙන ඇති ඉඩම්වල ප්‍රමාණය ඉතා විශාලය. මේ බලපෑම කෙතරම් ද යන් ඇතැම් රටවල පාලකයින් මෙම මැදිහත්වීම්වලට එතරම් කැමැත්තක් නොදක්වන බව ද ඇතැම් අවස්ථාවල දී වාර්තා වෙයි.


සංරක්ෂණ පරවශතාව

සංරක්ෂණ පරවශතාව (conservation easement) යනුවෙන් හඳුන්වන්නේ තවත් මේ හා සමාන වූ සංරක්ෂණ උපායමාර්ගයකි. එය ඉහත විස්තර කරන ලද ඉඩම් මිලදී ගැනීමට වඩා වෙනස් වන්නේ ඉඩම් හිමියන්ගෙන් අදාළ ඉඩම්වල අයිතිය මිලදී ගැනීමක් එහිදී සිදු‌ නොවන නිසාය. ඒ වෙනුවට ඉඩම් හිමියන් විසින් අදාළ ඉඩම්වල සංවර්ධන අයිතිය කිසියම් සංරක්ෂණ සංවිධානයකට හෝ රජයට හෝ පවරනු ලැබේ. එම පැවරීම පරිත්‍යාගයක් වශයෙන් හෝ අලෙවි කිරීමක් ලෙස කළ හැකිය.
 
එහිදී කිසියම් කාල සීමාවක් සඳහා දෙපාර්ශ්වය විසින් ස්වේච්ඡාවෙන් ඇති කරගත්තා නෛතික වලංගුතාවයක් ඇති ගිවිසුමක් ඇති කරගනු ලැබේ. ඒ අනුව ඉඩම් හිමියන්ට අදාළ ගිවිසුමෙන් අවසර නොමැති සංවර්ධන කාර්යයක් සඳහා ඒ ඉඩම් යොදාගැනීම කළ නොහැකිය. සංරක්ෂණ පරවශතාවයක දී ද මූලික අරමුණ වන්නේ එම භූමියේ ඇති සංරක්ෂණ වටිනාකම්ය. එය වනාන්තරයක් ආරක්ෂා කිරීම, ජල මූලාශ්‍රයක් ආරක්ෂා කිරීම, කිසියම් ජීවියෙකුගේ සංරක්ෂණ අවශ්‍යතා සපුරාලීම වැනි සංරක්ෂණ අරමුණු විය හැකිය.

මේ ක්‍රමය වැඩි වශයෙන් භාවිත වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.


ශ්‍රී ලංකාවේ මේ උපාය මාර්ග අනුගමනය කළ හැකි ද?


ඉහත සඳහන් කළ ආකරයේ උපාය මාර්ග ශ්‍රී ලංකාවේද සිදුකිරීමට නීතිමය බාධාවක් ඇති බවක් නොපෙනේ. එහෙත් එය සිදුවිය යුත්තේ පෙර සඳහන් ලෙස තනි තනි පුද්ගලයන් විසින් තර්ජනයකට ලක් වූ ප්‍රදේශයක පුද්ගලික ඉඩම් මිලට ගැනීමෙන් නොවේ. කිසියම් තනි දේශීය භාරයක් වැනි ආයතනයක් මගින් ඉඩම් මිලට ගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙනි. එවිට මිල දී ගත් ඉඩම් අදාළ භාරය මගින් පාලනය කිරීමට මෙන්ම, අවශ්ය නම් රජයට පැවරීම ද හැකිය. එවිට ඉඩමක් තනි පුද්ගලයෙකුගේ අයිතියට පත්ව පසු පරම්පරාවක් එම ඉඩම් වෙනත් භාවිතයකට ගැනීම ද වළකී. (අවිධිමත් ලෙස සංචාරක පහසුකම් ඇති කිරීම ද පාරිසරික ගැටලුවකි. සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන අවට ඉඩම් මිලට ගැනීම, රජයේ ඉඩම් අල්ලාගැනීම හා අනවසරයෙන් එළි කිරීම වැනි කටයුතු සඳහා එක් හේතුවක් වන්නේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා නාගරික පදනමක් ඇති ව්‍යාපාරිකයන් කරන කටයුතුය).

මේ ආකාරයෙන් පුද්ගලික ඉඩමක් වනාන්තරක් ලෙස සංරක්ෂණය කළ අවස්ථාවකට එක් නිදසුනක් වන්නේ දඹුල්ලට නුදුරුව පිහිටා ඇති, සෑප් පොපම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් ස්ථාපනය කළ, පසුව රජයේ ආයතනයකට පවරා ඇති සෑම් පොපම් වනඋයනයි (Sam Popham Arboretum). අත්හැර දමන ලද හේන් ඉඩමක් මිල දී ගෙන වසර ගණනක උත්සාහයෙන් පසු අගනා වන උයනක් බවට පත් කිරීමට ඔහු සමත් විය. අනෙක් අතට පෞද්ගලික අයිතියේ ඇති, සංවර්ධන කටයුත්තක් නොකරන හා සංරක්ෂණය සඳහා වෙන්කර ඇති තවත් ඉඩම් අපේ රටේ ඇති බව අප අමතක නොකළ යුතුය. ගිවිසුමක් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක ඒවා සංරක්ෂණ පරවශතාව උපායමාර්ගය හා සමාන වූ ඒවාය.

කෙසේ වෙතත් මෙවැනි කුමන උපායමාර්ගයක් වේ නම් එය ස්වේච්ඡාවෙන්ම පමණක් සිදුවිය යුතු කරුණකි. එනම්, අදාළ ඉඩම් විකිණීමට කැමැත්ත දක්වන පිරිස් වේ නම් ඔවුන් සියලු දෙනා ස්වේච්ඡාවෙන් ඊට කැමැති වීම වැදගත්ය. එවැන්නක් සිදුවන්නේ නම්, ඉඩම් හුවමාරුවක් හරහා අදාළ සමස්ත ප්‍රජාව හෝ වැඩි පිරිසක් වෙනත් ස්ථානයක ස්වේච්ඡාවෙන්ම ස්ථානගත කිරීමට කටයුතු කළ යුතු වීම පහසු කරුණකි (සමාන ඉඩම්, සමාජ ජීවනෝපාය ඇති ප්‍රදේශ නැත්තේ නොවේ). එමගින් ඔවුන්ගේ දැනට පවත්නා සමාජ සම්බන්ධතා බිඳ වැටීම ද වළක්වා ගත හැකිය (එවැනි නැවත පදිංචිකිරීම් සමහර සංවර්ධන ව්‍යාපෘතිවලදී ලංකාවේ සිදුකර ඇත). එමෙන්ම ඒ වැසියන්ගේ නිත්‍යානුකූල ජීවනෝපාය ක්‍රියාත්මක කළ හැකි ප්‍රදේශයක් වීම ද වැදගත්ය. එවැන්නක් සිදුකිරීමට අවශ්ය තාක්ෂණික දැනුම මෙරට පවතී. අවශ්‍ය වන්නේ ස්වාධීන අරමුදලක් මගින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමය.

No comments:

Post a Comment