Wednesday, December 28, 2022

ව්‍යාජ පරිසර හිතකාමී බව හෙවත් ‘හරිත හුණු ගෑම’

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2022.12.28, පි.6 (Vidusara)

පසු සටහන: Greenwashing යන වචනය සඳහා 'හරිත ‌හුණු ගෑම' මෙන්ම 'හරිත සේදුම' යන්න ද සුදුසුය.


ඉතා ප්‍රසිද්ධ ජාත්‍යන්තර බැංකුවක් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ස්ථානවල පළ කර තිබූ දැන්වීම් දෙකක් තහනම් කිරීමට එරට වෙළෙඳ දැන්වීම් පිළිබඳ නියාමනය කරන ආයතනය වන දැන්වීම් ප්‍රමිති අධිකාරිය පසුගිය ඔක්තෝබර් මාසයේ දී කටයුතු කළේය. එයට හේතුව වූයේ ඒ දැන්වීම්වලින් පෙන්වන ආකාරයට දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා එම සමාගම කටයුතු කර නොතිබීමයි. මේ දැන්වීම් මගින් සමාගම මගින් ගන්නා පියවර ප්‍රවර්ධනය කිරීමට කටයතු කර තිබුනත් ඒ සමාගම එවැනි කටයුතු සිදු කරන බවට ප්‍රමාණවත් සාධක නොමැති බව බලධාරීන්ගේ මතය වී තිබේ. මේ සිදුවීම අදාළ අධිකාරිය මගින් බැංකුවක පරිසර හිතකාමී ප්‍රචාරණයට ඒරෙහිව ගන්නා ලද පළමු පියවර ලෙස මාධ්‍යවල සඳහන් විය. ඔවුන් මේ පියවර ගෙන ඇත්තේ ලැබුණු පැමිණිලි අනුව කටයුතු කරමිනි.

මේ සිදුවීම නූතන ලෝකයේ පරිසර හිතවාදී ප්‍රවණතාවය වාණිජ ආයතනවලින් අනිසි ලෙස යොදාගන්නා ආකරය පැහැදිලි කරන්නකි. පරිසර හිතකාමී වීම හෙවත් හරිතවත් බව මේ වන විට ව්‍යාපාරවල සේවා හා නිෂ්පාදන සඳහා වැදගත් මෙින් පවතී. විශේෂයෙන් පාරිසරික කරුණු පිළිබඳ සංවේදී වන පාරිභෝගිකයක් අතර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවාක් අලෙවි කිරීමේ දී මෙය ඒ ආයතනලවට වැදගත් වේ. පරිසර හිතකාමී ලේබලයක් තිබීම තරගකාරී ව්‍යාපාර ලෝකයේ දී ඒ භාණ්ට හා සේවාවලට වැඩි අවස්ථාවක් ලැබීම සඳහා හේතු වේ. මේ තත්ත්වය ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවයක් වන අතර සංවර්ධිත රටවල්වල වඩාත් පැහැදිලිව දැකිය හැකිය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ‘පරිසර හිතකාමී’ (eco-friendly), ‘හරිත’ (green) හෝ ‘තිරසර’ (sustainable) යන ලේබල් සහිතව දැක්වෙන නිෂ්පාදන හා සේවා එසේ නොවන අවස්ථා ද පවතී. එවැනි ලේබල් භාවිත කරන ඇතැම් නිෂ්පාදන හා සේවාවන් මෙන්ම ඒ සමාගම් ද එතරම් පරිසර හිතකාමී නොවන බව හෙළි වූ අවස්ථා තිබේ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඔවුන් ප්‍රචාරණය කරන එවැනි පිළිවෙත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් නොපෙනේ. එසේ ව්‍යාජ හෙවත් අසත්‍ය ලෙස පරිසර හිතකාමී බව පෙන්වන අවස්ථා ‘හරිත හුණු ගෑම’ (greenwashing) ලෙස හැඳින්වේ. අයහපත් හෝ නරක දේකට හෝ අයෙකුට යහපත් බවක් ආරෝපණය කිරීම හඳුන්වන්නට සිංහල භාෂාවේ එන සුදු හුණු ගෑම ද මෙවැනි අර්ථයක් දෙන්නකි.


හරිත හුණු ගෑමේ ප්‍රතිඵලය


මේ ආකාරයෙන් ව්‍යාජ පරිසර හිතකාමී බවක් දක්වමින් සිදුකර ප්‍රචාරණය මගින් පාරිසරික කරුණු ගැන සංවේදී වන පාරිභෝගිකයා නොමග යැවීමක් සිදු වේ. එවැනි කරුණු පිළිබඳව සැලකිල්ලක් දක්වන, පාරිසරික වශයෙන් සවිඥානික වූ පාරිභෝගිකයන් විසින් අදාළ නිෂ්පාදන හා සේවා තෝරාගන්නේ ඒවා වෙනත් නිෂ්පාදන හා සේවාවලට වඩා පරිසර හිතකාමී බව සිතමිනි. ඒවායින් පරිසරයට සිදුවන බලපෑම් අඩු බව සිතමිනි. ඇතැම් විට ඒ සඳහා වෙනත් ඒ හා සමාන නිෂ්පාදන හා සේවාවලට වඩා වැඩි මිලක් ගෙවීමට ද පාරිභෝගිකයෝ කටයුතු කරති. එහෙත් කටයුතු එය එසේ නොවන විට ඔවුන් උවමනාවෙන්ම නොමග යවා ඇති බව පැහැදිලිය. පාරිසරික පියසටහන අඩු කරගැනීම පිළිබඳව පාරිභෝගිකයන් දක්වන විශ්වාසය බිඳවැටීම කණගාටුදායක සිදුවීමකි. එය සමස්තයක් ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන හා සේවාවල වර්ධනයට ද තර්ජනයක් වේ. එවැනි ව්‍යාජ ප්‍රචාරවලට ‌චෝදනා එල්ල වන්නේ ද අවධානයට ලක් වන්නේ ද මේ නිසාය.

අනෙක් අතට, මහා පරිමාණ බැංකු හා මූල්‍යායතන සම්බන්ධව මීට අදාළව චෝදනා රැසක් ඉදිරිපත් වී තිබේ. ඉන් එකක් වන්නේ ‘හරිත බැංකුකරණයේ’ යෙදෙන බව පෙන්වා දෙමින්, පොසිල ඉන්ධන ආශ්‍රිත කටයුතු සඳහා මුල්‍ය පහසුකම් සැපයීමේ දිගින් දිගටම යෙදීමයි. නව තෙල් හා ගෑස් නිෂ්පාදන ව්‍යෘපෘති ද මේ අතර වේ. විශේෂයෙන් හරිත බැංකුකරණ කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශුද්ධ ශුන්‍ය බංංකුකරණ සන්ධානයට (Net Zero Banking Alliance) ද එක්ව සිටින මහා පරිමාණ බැංකු මෙසේ සිදු කිරීම ගැටලුවකි. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ක්‍රියාකාරී කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ පොසිල ඉන්ධන සමාගම්වලට මුදල් සම්පාදනය කිරීමට පෙර, අදාළ සමාගම්වල හරිත සැලසුම් පිළිබඳව විමසීමට මේ බැංකු කටයුතු කළ යුතු බවයි.

මේ ආකාරයෙන් තමන්ට නැති පරිසර හිතකාමී බවක් මවාගැනීමට යෑම සිදුකරන සමාගම්වල අරමුණ වන්නේ තම ව්‍යාපාර වඩා පරිසර හිතකාමී බවක් පෙන්වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවාවලට වඩා වැඩි වෙළෙඳපොලක් ලබාගැනීමටය. එනම් අලෙවිකරණ උපාය මාර්ගයක් ලෙසය. ඒවා ඇත්තෙන්ම පරිසර හිතකාමී ද යන්න විමසා බැලීමට තනි තනි පාරිභෝගිකයන්ට ක්‍රමවේදයක් නැති වීම මෙහි ඇති ගැටලුවයි. මේ ව්‍යාජ හරිතවත් ප්‍රචාරණ හඳුනාගැනීමට හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමුව ඇති අතර, එවැනි ප්‍රචාර නැවැත්වීම සඳහා දැන්වීම් නියාමන අධිකාරීන් තීරණය කර ඇත්තේ ඒ නිසාය.


ව්‍යාජ ප්‍රචාර හඳුනාගැනීමට හැකි ආකාර


ඉන් එකක් වන්නේ ව්‍යාජ තත්ත්ව දැක්වීම හා නොපැහැදිලි භාෂා භාවිතයයි. ‘අඩුම විමෝචන’ නිකුත් කරන බව පැවසූ ගුවන් සේවාවක දැන්වීම් ද, ‘වාතය පිරිසිදු කරන’ මෝටර් රථයක් පිළිබඳ දැන්වීමක් ද මෙවැනි අවස්ථා සඳහා නිදසුන් වේ. එසේම ඇතැම් නිෂ්පාදනයක ඇති අන්තර්ගත ද්‍රව්‍යවලින් ‘ස්වාභාවික’, ‘කාබනික’, ‘පරිසර හිතකාමී’ වන්නේ ඇතැම් ද්‍රව්‍ය පමණක් විය හැකිය. නිෂ්පාදකයක් කුමක් කීවත්, ඒ පවසන දේ සත්‍යය ද යන්න දැනගැනීමට පාරිභෝගිකයක් විමසීමෙන් සිටීම වැදගත් වේ. වරක් භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් බෝතලයක් වැනි නිෂ්පාදනයක ඇති පරිසර හිතකාමී ලේබලයක් පිළිබඳ විශ්වාසය තැබීමට නොහැකි වීම මේ සඳහා උදාහරණයකි.

සුලබ අලංකාර වදන් භාවිතය හා ස්වාභාවික පරිසරයේ ඡායාරූප ආදිය යොදාගැනීම ද මෙවැන්නකි. ‘පරිසර හිතකාමී’, ‘තිරසර’ හා ‘හරිත’ වැනි වදන් භාවිතය පාරිසරික හිතකාමී බව පෙන්වීම සඳහා යොදාගන්නා සුලබ වචන වේ. එ‌හෙත්, අදාළ නිෂ්පාදන හෝ සේවාවලට එවැනි තත්ත්වයක් දැක්වීමට විද්‍යාත්මක සාධක නොමැති අවස්ථා සුලබ බව පෙන්වා දී තිබේ. එවැනි අවස්ථාවල ඒ හා සමාන අනෙක් නිෂ්පාදනවලට වඩා පරිසර හිතකාමී බවක් ඒ ලේබල් කරන ලද නිෂ්පාදනවලට ඇති බවක් ඔප්පු කිරීමට අසමත් වු අවස්ථා ‌ොබහෝය. ඇතැම් ‘100%ක් පරිසර හිතකාමී’ වශයෙන් සඳහන් වන නිෂ්පාදන එසේ නොවන බව පෙන්වා දුන් අවස්ථා රැසකි.

තොරතුරු වසන් කිරීම ද මෙවැනි සමහර නිෂ්පාදනවල සිදුකරන්නකි. ඇතැම් අවස්ථාවල පරිසර හිතකාමී බව වචනවලින් පෙන්වා දෙන නමුත්, එසේ වන්නේ නිෂ්පාදනයෙන් කිසියම් කොටසක් පමණකි. ඇතැම් ක්‍රියාවලි හෝ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු එහි සඳහන් නොවේ. ඇතැම් විට සැපයුම් දාමයේ තිබිය හැකි විමෝචන මෙහි දී සලකා බලා නොමැති විය හැකිය.

‘කාබන් හිලව්කිරීම’ (carbon offsetting) තවත් සුලබ පරිසර හිතකාමී යැයි පැවසෙන කටයුත්තකි. කාබන් හිලව් කිරීම සම්බන්ධ පියවර තවත් මෙවැනි පියවර අතර වේ. එහි දී යම් සමාගමක් තම නිෂ්පාදනයක් නිපදවීමේ දී හෝ සේවාවක් ලබා දීමේ දී නිකුත්වන විමෝචන ප්‍රමාණය හා සමාන විමෝචන ප්‍රමාණයක් වෙනත් ස්ථානයක දී වායුගෝලයෙන් ඉවත් කිරීමට පියවර ගනී. ඒ අදාළ කටයුතු සඳහා ආයෝජනය කිරීමෙනි. කෙසේ වෙතත් විමෝචන අඩුකිරීමක් අවශ්‍යව තිබිය දී මෙසේ කාබන් විමෝචන හිලව් කිරීම පිළිබඳ තත්ත්වය පරිසර ක්‍රියාකාරීන් අතර විවේචනයට ලක්ව ඇත්තේ ව්‍යාජ හරිතවත් බව සඳහා මනා නිදසුනක් ලෙසය.

සත්‍ය අයිතිය ඇත්තේ කාටද යන්න විමසීම තවත් උපක්‍රමයකි. ඇතැම් ව්‍යාජ හරිතවත් ප්‍රචාර හඳුනාගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ ඒ ව්‍යාපාරයේ සැබැ අයිතිකරු හදුනාගැනීමයි. ඇතැම් සමාගම් පරිසරය පිළිබඳ අවධානයක් යොමු කරන පාරිභෝගිකයක් ආකර්ෂණය කිරීම සඳහා වෙනම වෙළෙඳනාමයක් සහිත ආයතන යොදා ගනී. එහෙත් ඒවායේ සැබෑ පාරිසරික පියසටහන මැනීමේ දී සැබෑ හිමිකරුවන් හදුනාගැනීම වැදගත් වේ.

එක් නිෂ්පාදයක් පමණක් පරිසර හිතකාමී ලේබලයකින් අලෙවිකරණය කිරීම ද මෙවැනි උපක්‍රමයකි. ඇතැම් සමාගම් තමන්ගේ නිෂ්පාදන අතර එක් නිෂ්පාදනයක් පමණක් පරිසර හිතකාමී ලේබලයක් යටතේ අලෙවි කරන අතර, ඔවුන්ගේ අනෙක් නිෂ්පාදනවල පාරිසරික සලකුණ කෙසේද යන තෙරතුරු සඟවා තබයි. එවිට සමස්තයක් ලෙස ඒ සමාගනේ නිෂ්පාදනවල පරිසර හිතකාමී බව පිළිබඳ ගැටලු ඇති වේ.

ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බව - ඇතැම් සමාගම් අදාළ නිෂ්පාදන හෝ ඒවායේ ආවරණ ප්‍රතිචක්‍රියකරණය කළ හැකි බව පවසා එය ප්‍රචාරණය කරයි. එහෙත් ඇතැම් නිෂ්පාදනවල ප්‍රතිච්‍රකිය කරණය කළ හැකි බව සඳහන් ලේබල් ඇති නමුත්, එය පහසුවෙන් කළ නොහැකිය. ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදනවල ඇතුළත් සංකීර්ණ ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රියකරණය කිරීම පහසු නොවීම මීට උදාහරණයකි. ජෛව හායනයට ලක් විය හැකි බව දක්වන ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදන ද එසේ නොවූ අවස්ථා තිබේ.


නියාමනයක් අවශ්‍ය ඇයි?


එබැවින් විවිධ ව්‍යාපාර විසින් මේ ආකරයෙන් ව්‍යාජ පරිසර හිතකාමී බවක් පෙන්වා හරිත හුණු ගෑමක් මගින් පාරිභෝගකයන් මුලා කිරීම වැළැක්වීමට පියවරක් ගැනීම අවශ්‍ය වේ. අදාළ නියාමන ආයතනවල වැදගත්කම ඇත්තේ එහි දීය. එසේ නොමැති වුවහොත් තමන් ගන්නා ද්‍රව්‍යවල පරිසර හිතකාමී බව පිළිබඳ එවැනි පාරිභෝගිකයන් තබන විශ්වාසය පළුදු වීම සිදුවිය හැකිය. මෙය සමස්තයක් ලෙස තිරසර නිෂ්පානයක් හා පරිභෝජනයක් ඇති කිරීමේ දී හානිකර වේ.

No comments:

Post a Comment