ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.01.2022, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2022/01/19/feature3.htmlපසුගිය දිනයක විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු ජනමාධ්‍යයක් සමඟ සංවාදයකට එක්වෙමින් විදුලි උඳුන් භාවිතයෙන් ආහාර සකස් කරන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබුණේ රාත්‍රී ආහාරවේල සවස 6ට පෙර පිළියෙළ කරන ලෙසයි. සවස හයෙන් පසුව සිදුවන විදුලි කප්පාදුව එමගින් අවම කරගත හැකි බව දක්වා තිබිණි.
කෙසේ වෙතත් මේ පණිවුඩය අපේ සමාජයේ සැලකිය යුතු පිරිසක් හරිහැටි ග්‍රහණය කරගත් බවක් දැකිය නොහැකිය. ඇතැම් පිරිස් ඒ අදහස සමහරු විවේචනයට ලක් කර තිබිණි. රැකියාවල නියැලෙන පිරිස් වෙසෙන නිවාසවල එසේ කරන්නේ කෙසේද යන්න සමහරුන්ට ගැටලුවක් වී තිබිණි. එහෙත් එසේ නොවන අයට පවා මේ ඉල්ලීම පිළිබඳව ගැටලු තිබූ බව පැහැදිලි විය.
මේ පිළිබඳ වැදගත්ම කරුණ වන්නේ එවැනි ඉල්ලීමක් විදුලිබල මණ්ඩලයේ නිලධාරින් විසින් සිදුකරන ලද්දේ කුමක් නිසාද යන්න නිසාය. ඔවුන් එසේ කියන්නේ අපේ රටේ විදුලි ඉල්ලීම දවස තුළ වෙනස් වන ආකාරය සලකා බලාය. අපේක්ෂා කළ හැකි ආකාරයටම රටේ විදුලි ඉල්ලුම වැඩිම වන්නේ සවස 6 හා 10 අතර කාලයේ දී ය. ඒ අවස්ථාවේ රට පුරාම නිවාසවල විදුලි ආලෝකය, රූපවාහිනී භාවිතය ආදිය ඉහළ යයි. එබැවින් ඒ කාලයේ දී අධික විදුලියක් වැය වන හා වෙනත් අවස්ථාවල දී සිදු කළ හැකි කටයුතුවලින් ඈත් වී සිටීමට පාරිභෝගිකයාට ද හැකිය. ඉවුම් පිහුම් හා රෙදි මැදීම වැනි කටයුතු, එසේ වැලකී සිටිය හැකි අධික විදුලියක් වැයවන කටයුතු අතර වේ. පාරිභෝගිකයන් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නම්, ජනනය කළ යුතු විදුලිබලය අඩු වන බව පැහැදිලිය. එමගින් ඒ් කාලසීමාවේදී රටේ විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කළ හැකිවේ.
මේ දිනවල ගැටලුව උග්‍ර වී ඇත්තේ ඇතැම් බලාගාර ඉන්ධන නැතිව ක්‍රියාකරවිය නොහැකිව ඇති නිසාය. මේ හේතුව නිසා රටේ සමහර පැතිවල වැඩිම විදුලිය ඉල්ලුම ඇති කාලය තුළ කෙටි කාලසීමාවල විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ ලබාදිය හැකි විදුලි සැපයුම මගින් රටේ ඉල්ලුම තුලනය කිරීමට අපහසු වන අවස්ථාවල දී ය. මෙරට විදුලි සැපයුමෙන් සැලකිය යුතු දායකත්වයක් සපයන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය අක්‍රිය වූ අවස්ථාවල දී ද මෙවැනි තත්ත්ව අපි දුටුවෙමු.
ඉහත දැක්වූ විදුලිය අධික ලෙස භාවිත වන ක්‍රියාකාරකම් වන්නේ ඉවුම් පිහුම් කටයුතු, ජලය උණුකිරීම, රෙදි මැදීම ආදි කටයුතුය. විදුලිබලය සම්බන්ධ කටයුතු කරන බලධාරීන් තිරසර ආකාරයෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්නේ කලක පටන්ය. එහෙත් පෙර කී ඇතැම් අදහස් පිළිබඳව විමසිලිමත්ව බැලූ විට අපට පෙනී යන්නේ සබුද්ධිකව හා තිරසර ආකාරයෙන් බලශක්තිය භාවිතය ගැන ප්‍රාමාණික අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බවයි. ‘මයි කාර් - මයි පැට්රෝල්’ යනුවෙන් ප්‍රකට න්‍යාය හැම තැනකටම නොගැලපේ. අප හැමගේම ක්‍රියාකාරකම්වල දී සමස්තයක් ලෙස රට හා සම්පත් පිළිබඳ වගකීමක් තිබේ. ඉහත කී ඉල්ලීම මගින් විදුලිබල බලධාරීන් පෙන්වා දුන්නේ ඒ් කරුණය.
මේ සියලු කරුණු අනුව අපේ සම්පත් තිරසර ලෙස භාවිතය මෙන්ම තිරසරභාවය ගැන අවබෝධය සන්නිවේදනය කිරීම ද තවමත් අභියෝගයක් බව අපට සිතේ.
ඉන්ධන පිළිබඳ අර්බුදය
විදුලි බලයෙන් ඉවීම ගැන යළිත් අවධාන වූයේ බලශක්තිය පිළිබඳ තවත් ගැටලුවක් නිසාය. ඒ ද්‍රව පෙට්‍රෝලියම් වායු හෙවත් ගෑස් භාවිතය සම්බන්ධව ඇතිවූ අවිනිශ්චිත තත්ත්වයයි. ගෑස් සංයුතිය පිළිබඳව ඇති වු ගැටලුවක් නිසා වාර්තා වූ අනතුරුදායක සිදුවීමි මේ සඳහා හේතු විය. එසේම ඒ හා ඇතිවූ ගෑස් හිඟය හේතුවෙන්, ආහාර සැකසීම සඳහා විකල්ප ඉන්ධනවලට යොමුවීම ගෑස් පාරිභෝගිකයන් යොමු විය. මේවා අතර විදුලිය උඳුන්, භූමිතෙල් උඳුන් හා දියුණු කළ දර උඳුන් ආදිය වේ.
මෙරට නිවාසවලින් 78.5%ක් පමණ ඉවුම් පිහුම් සඳහා දර යොදාගන්නා බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවිය පෙන්වා දෙයි. එහෙත් ඒ වැඩි වශයෙන් අර්ධ නාගරික හා ග්‍රාමීය නිවාසවල විය යුතුය. නාගරික සමාජයේ වැඩි වශයෙන් භාවිත වන්නේ ගෑස් හා විදුලියයි. ගෑස් නොමැති තත්ත්වයක් තුළ නාගරික ජනතාව වැඩි වශයෙන් යොමු වී ඇත්තේ විදුලිය හා භූමිතෙල් භාවිතයට බව පෙනේ. භූමිතෙල් ලිප්වල මිල ද දෙතුන් ගුණයකින් ඉහළගොස් ඇත. එසේම දියුණු කළ වඩා කාර්යක්ෂම වූ දර ලිප්වල මිල ද ඉහළ ගොස් ඇත. එමෙන්ම නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල නගරයේ දී දැන් දර මිටියක් රු. 80කට අධිකය. මෙසේ ලිප් හා දර සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවක් පෙනේ.
එක් බලශක්ති ප්‍රභවයක් මත පමණක් යැපෙන විට මේ තත්ත්වය ඇති වේ. එය විදුලි ජනනය මෙන්ම ගෘහස්ත බලශක්ති පරිභෝජනයේ ද එක හා සමානය.
බලශක්ති විවිධාංගීකරණය
එක් බලශක්ති ප්‍රභවයක් හෝ සැපයුම්කරුවෙකු මත යැපීම වෙනුවට විවිධ බලශක්ති ප්‍රභව, සැපයුම්කරුවන් හා සම්ප්‍රේෂණ මාර්ග භාවිත කිරීම බලශක්ති විවිධාංගීකරණය වේ. මෙය කිසියම් රටක බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වාගැනීමට හෙවත් බලශක්ති සුරක්ෂිතතාවයට උපකාරී වන්නකි. එක් බලශක්ති ප්‍රභවයක් මත රැඳී සිටීමෙන් යම් ආකාරයකින් ඒ බලශක්ති ප්‍රභවය හිඟ වීම, සැපයුම බිඳවැටීම හෝ මිල ඉහළ යෑම වැනි තත්ත්වයක් ඇති වුවහොත් රටක බලශක්ති සැපයුම බැඳ වැටීමට හැකිය. මේ තත්ත්වය වළක්වාගැනීමට නම් විවිධ බලශක්ති ප්‍රභව වෙත යොමුවීම වැදගත්ය.
සංකල්පයක් ලෙස මෙය රටක් ලෙස මෙන්ම ගෘහස්ථව වැදගත් බව පැහැදිලිය. ඒ බව පැහැදිලි වූයේ පසුගිය කාලයේ දී ඇති වූ ගෑස් හිගය නිසා ජනතාව ගෑස් පෝලිම්වල බලා සිටින දකින විටය. ගෑස් මගින් පමණක් නිවසේ බලශක්ති අවශ්‍යතා සපයා ගැනීමට පුරුදු වී සිටි ජනතාවට වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයක් නැති බවක් පෙනිණි. එහෙත් මෙහි දී ජනතාවගෙන් පිරිසක් විකල්ප ඉන්ධන වෙත යොමු වී ඇති බව ඉහත දැක්විය. ඒ අතර, ඉන්ධන දර හා භූමිතෙල් වැදගත්ය.
මෙවැනි පරිවර්තනයක් මෑත කාලයේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඒ බොයිලේරු භාවිත කරන කර්මාන්තවලය. මේ බොයිලේරුවල ඉන්ධන ලෙස භාවිත වන්නේ මූලික වශයෙන් ඩීසල් හා පොසිල ඉන්ධනය. එහෙත් ඒ වෙනුවට දැව ඉන්ධන යොදාගැනීම සඳහා වූ ප්‍රවණතාවයක් මෑත කාලයේ දී හඳුනාගැත හැකිය. එයට බලපා ඇති එක්හේතුවක් වන්නේ දර සාපේක්ෂව ලාබදායක ඉන්ධනයක් වීමය. එමෙන්ම පොසිල ඉන්ධන වෙනුවට දර වැනි ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව භාවිතය නිසා සාපේක්ෂව පිරිසිදු බලශක්තිය වෙත යොමු වීමකි. එසේම ඒය පුනර්ජනනය කළ හැකි බලශක්තියක් ද වේ. එමගින් අදාළ කර්මාන්තයට ද හරිත ලකුණක් ලැබෙන අතර විමෝචන අඩුවීමක් ද සිදු වේ. මේ නිසා කර්මාන්ත අංශයේ මෙවැනි පිරිසිදු හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට පිවිතුරු නිෂ්පාදන ජාතික මධ්‍ය්ථානය වැනි ආයතන කටයුතු කර තිබේ. අනෙක් අතට දිවාකාලයේ දී විදුලිය භාවිත කරන ආයතන ගණනාවක් සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට යොමු වී තිබීම ද දැකිය හැකිය.
පෙර සඳහන් කළ ආකාරයට නාගරික ප්‍රදේශවල දර ඉන්ධන වෙනුවට ගෑස් භාවිතය ඉහළ ගොස් ඇත. දර හා භූමිතෙල් භාවිතවට සාපේක්ෂව ගෑස් භාවිතයේ ඇති පහසුව මෙන්ම, විදුලිබලයට වඩා සාපේක්ෂව ලාබදායක වීම ඊට හේතුවයි. මේ නිසා ගෙවත්තේ ඉවතලන දැව හා පොල්කටු ආදිය ඉවත දැමීම සිදුවිය. නිවෙස්වල ඉදිකර තිබූ තිබූ පෝරණු ඉවත් කරන ලදි.
කෙසේ වෙතත් ගෑස් භාවිතයේ ඇති තවත් වාසියක් වන්නේ සෞඛ්‍යමය වශයෙන් යම් බලපෑමක් තිබීමයි. දර හා භූමිතෙල්වලට වඩා ගෑස් භාවිතය ගෘහස්ථ වායු දූෂණය අඩු කිරීම සම්බන්ධව වැදගත්ය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති ස්ථානවල දර හා භූමිතෙල් වැනි ඉන්ධන භාවිත කිරීම සෞඛ්‍යයට බලපෑමක් කළ හැකිය. මේ පිරිසිදු බලශක්තිය භාවිතය බොහෝ රටවල් උනන්දු වී ඇති අතර, දර භාවිතයෙන් ඈත් විය නොහැකි අවස්ථාවලදී කාර්යක්ෂම වැඩි දියුණු කළ උඳුන් ආදිය හඳුනවා දීම ද මෙහි දී සිදුකර ඇත.
තිරසර බලශක්තිය
තිරසර බලශක්ති භාවිතයක් රටකට බෙහෙවින් වැදගත්ය. පාරිසරික වශයෙන් තිරසර වීම මේ අතරින් පළමුවැන්නය. එහි දී හරිතාගාර වායු විමෝචන අඩු වීම, විෂ සහිත අපද්‍රව්‍ය ජනනය අවම වීම වැනි කරුණු වැදගත්ය. දෙවැනි වැදගත් කරුණ යන්නේ සමාජ තිරසරභාවයයි. ඊට අයත් වන්නේ ජනතාවගේ දරිද්‍රතාවය අවම කිරීම, ජීවන තත්ත්වය දියුණු කිරීම මෙන්ම බලශක්ති සුරක්ෂිතතාවය වැනි කරුණුය. මෙහි දී බලශක්ති ප්‍රභවවල මිල දරිද්‍රතාවයට බලපාන අතර, ජීවත තත්ත්වය දියුණු කිරීමේ දී බලශක්තියේ ගුණාත්මක බව හා සොඛ්‍යයට ඇති විය හැකි බලපෑම වැදගත්ය. බලශක්ති සුරක්ෂිතතාවය ද ඒ ආකාරයෙන්ම වැදගත්ය. තුන්වන කරුණ වන ආර්ථික තිරසරභාවය ජාතික මට්ටමේ දී මෙන්ම ගෘහස්ථ මට්ටමේ දී ද වැදගත් වේ. රටක බලශක්ති සැපයුම ඒ රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක එකක් විය යුතුය. අපේ රටේ විදුලි සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් දිගුකාලයක් තිස්සේ සපයන ලද්දේ ජලවිදුලි බලයෙනි. එය ලාබදායක විය. ඒ කාලයේ දී ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබුනේ ඉන්දියාවටත් විදුලිය දිය හැකි බවයි. එහෙත් රටේ විදුලි ඉල්ලුම ඉහළ යෑමත් සමඟ දැන් රටේ විදුලි අර්බුදයක් කලින් කල ඇති වේ. අද වන විට අපේ රටේ දැන් විදුලි සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සැපයෙන්නේ ගල්අඟුරුවලිනි. එය වැදගත් වන්නේ ගල්අඟුරු තවමත් ලාබදායක ඉන්ධනයක් වන නිසාය. එහෙත් එය පාරිසරික වශයෙන් බලපෑම් කරන්නම් වන බැවින් වර්තමාන ලෝකය ගල්අඟුරුවලින් ඈත්වීමට සුදානම් වෙමින් තිබේ.
No comments:
Post a Comment