Monday, January 31, 2022

වී වගාවට අභියෝගයක් වූ ලවණතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 26.01.2022, පි. 12-13 (Vidusara)

http://www.vidusara.com/2022/01/26/feature7.html

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා බලපාන පාරිසරික ගැටලු අතර නියඟය, ගංවතුර, ලවණතාව සහ යකඩ විෂ වීම වැනි කරුණු ප්‍රධානය. මේ අතරින් ලවණතාව යනු කලින් කලට වෙනස්වන හා බරපතළ විය හැකි, එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති ගැටලුවකි. මෙම සම්බන්ධයෙන්, එහි බලපෑමට දැඩිව ලක්ව ඇති දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ ගවේෂණයක දී අනාවරණය වූ තොරතුරු මෙම ලිපිය සඳහා මූලික පදනම වෙයි. ලවණතාවයේ බලපෑමට ලක්ව ඇති කුඹුරු බහුල වෙරළට ආසන්නව පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ඌරණිය හා අම්බලන්තොට මානජ්ජාව යන ප්‍රදේශ මේ අතරින් දෙකකි. එසේම පුත්තලම දිස්‍ත්‍රික්කයේ රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ආණමඩුව හා කොට්ටුකච්චිය ප්‍රදේශවල ගම්මාන කිහිපයක ද ක්ෂේත්‍ර නිරීක්ෂණ සිදුකරන ලදි. එසේම මේ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනවල විද්‍යාඥයින් හමු වී සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා සහ මේ පිළිබඳව පළ වී ඇති පර්යේෂණ පත්‍රිකා සහ වාර්තා සමාලෝචනයෙන් මේ ලිපිය ලියැවී ඇත.


ලවණතාව යනු කුමක්ද?


ලවණතාව සඳහා හේතු වන්නේ ජලයේ දියැවී ඇති ලවණ පසේ තැන්පත් වීමයි. ලවණතාව සඳහා බලපාන්නේ සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, සල්ෆේට්, කාබනේට්, බයිකාබනේට්, නයිට්‍රේට් වැනි අයන වර්ගය. මේවායින් සෑදෙන ලවණ ජලයේ දියැවී, ජලය වාෂ්පීකරණය වීමෙන් පසු ලවණ පසේ තැන්පත් වීමෙන් ලවණතාව ඇති වේ. මේ නිසා වාෂ්පීකරණය වැඩි තත්ත්වයක දී ලවණතාව අධික විය හැකිය.

ලවණතාවයේ බලපෑම දැකිය හැකි ප්‍රදේශය අනුව වර්ග දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න වෙරළාශ්‍රිත ලවණතාවයි (Coastal salinity). උදම් සහ වියළි කාලගුණය ද, මුහුදු ජලය වෙරළ තීරයේ භූමිය තුළට පැමිණීම ද ඊට මූලික වශයෙන් හේතු වේ. වැලි කැණීම වැනි කටයුතු නිසා මේ තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකිය. වෙරළාශ්‍රිත ලවණතාව ඇති වන්නේ ෆ්ලෝරයිඩ්, සල්ෆේට්, සෝඩියම්, මැග්නීසියම් වැනි අයනවලින් සෑදෙන සංයෝග නිසාය. මුහුද ආශ්‍රිතව ඇති බැවින් වෙරළබඩ ලවණතාව සාමාන්‍යයෙන් දැකිය හැකිය. මේ තත්ත්වය මන්නාරම, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, ගාල්ල, කළුතර හා මාතර යන දිස්ත්‍රික්කවල වඩා සුලබ වේ.

දෙවැනි වර්ගය වන්නේ රට අභ්‍යන්තර ලවණතාවයි (Inland salinity). මේ ලවණතාව සඳහා හේතුවන්නේ කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් වැනි අයන සමඟ සෑදෙන කාබනේට හා බයිකාබනේට ලවණ ය. රට අභ්‍යන්තර ලවණතාව පවත්නා දිස්ත්‍රික්ක අතර, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, හම්බන්තොට, අම්පාර යන දිස්ත්‍රික්ක ප්‍රමුඛ වේ. ඇතැම් ප්‍රදේශවල රට අභ්‍යන්තර ලවණතාව ක්‍රමයෙන් වර්ධනය වන බව 2007 වර්ෂයේ පමණ සිට හඳුනාගෙන ඇත. ඇතැම් මහවැලි කලාපවල ද ලවණතාවෙ වර්ධනය වන ආකාරය මෑත කාලයේ හඳුනාගෙන තිබේ. ජලය වාෂ්ප වීමත් සමඟ වාරි ජලය සැපයෙන ප්‍රදේශවල ලවණතා‍ෙ ඉහළ යන ආකාරයක් දැකිය හැකිය.
 
ශ්‍රී ලංකාවේ ලවණතාවයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ


ශ්‍රී ලංකාවේ වී වගා කරන කුඹුරු ඉඩම් අතරින් හෙක්ටයාර 100,000ක පම ලවණතාව දැකිය හැකිය. සාමාන්‍යයෙන් මහ කන්නයේ දී මෙරට කුඹුරු හෙක්ටයාර ලක්ෂ 800,000ක් පමණ වගා කරනු ලබන අතර, යල කන්නයේදී වගා කරනු ලබන්නේ හෙක්ටයාර 450,000ක් පමණ ප්‍රමාණයකි. මේ අනුව වගා කරනු ලබන කුඹුරු ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලවණතාවයේ බලපෑමට ලක් විය හැකි බව පැහැදිලිය. එහෙත්, එය ජල සුලබතාවය අනුව විචල්‍ය වේ. වැඩි වර්ෂාවක් සහිත මහ කන්නයේ දී කුඹුරුවල ලවණතාව වගාව සඳහා බලපාන්නේ අඩු වශයෙනි. එහෙත් සාමාන්‍යයෙන් වඩා වියළි කාලගුණයක් සහිත යල කන්නයේ දී ලවණතාවයෙන් වැඩි බලපෑමක් සිදු වේ. නියඟයේ බලපෑම සමඟ ද ලවණතාවයේ බලපෑම ද ඉහළ යයි. එමෙන්ම අධික වාෂ්පීකරණයක් සහිත ප්‍රදේශවල ලවණතාව අධිකය.

එසේම වර්තමාන දේශගුණ වෙනස් වීම හා සමඟ ලවණතාව ඉහළ යෑමේ අවදානමක් පවතී. ඉහළ යන පරිසර උෂ්ණත්වය, අධික වාෂ්පීකරණය, නියඟය තීව්‍ර වීම, ජලය හිඟ වීම හා මුහුදුමට්ටම ඉහළ යෑම වැනි කරුණු මේ සඳහා දායක වේ.


ශාකවලට බලපාන ආකාරය


ඉහළ ලවණතාව නිසා ගොයම් ශාක මිය යෑමට වඩා සිදුවන්නේ ඒවායේ නිෂ්පාදකතාවය හෙවත් වගාබිමේ වී අස්වැන්න අඩු වීමය. එනම් හෙක්ටයාරයකට නිපදවනු ලබන වී ප්‍රමාණය අඩු වීමය.

ලවණතාව මනිනු ලබන්නේ ජලයේ විද්‍යුත් සන්නායකතාවයෙනි. එනම් මීටරයකට ඩෙසිසීමන් අගයෙනි. ඒ ඒ ඩෙසිසීමන් අගය අනුව ලවණතාවයට ඔරොත්තු දීම පහත වගුවේ දැක්වේ. ඒ අනුව ඩෙසිසීමන් 2-8 අතර පරාසයක ලවණතාවය වී පමණක් නොව, වෙනත් භෝගවලට ද බලපායි.



ලවණතාවයේ බලපෑමට පත් කුඹුරක් - අම්බලන්තොට

ලවණතාවයේ බලපෑමට පත් කුඹුරක් - කොට්ටුකච්චිය


ලවණතාව ශාකයේ ජල අවශ්‍යතාවයට, ලවණ විෂ වීමට හා පැළ විඩාපත් වීම වැනි කරුණු ඔස්සේ විවිධ අංශවලින් බලපායි. බීජ ප්‍රරෝහණ අවස්ථාවේ මෙන්ම ශාක වර්ධන අවස්ථාවේදී ද ලවණතාවයේ බලපෑම අධිකය. මල් පිපෙන හා මේරු අවධියේ දී ලවණතාවයේ බලපෑම වඩා අඩුය. වර්ධක අවස්ථාවේ ඇති වන මෙම බලපෑම පාලනය කළ හැකි නම් ශාකයට ඇතිවන අහිතකර බලපෑම අඩු කර ගත හැකිය.

ලවණතාවයේ බලපෑම අඩු කිරීම සඳහා භෝග ප්‍රභේද හා කෘෂි පිළිවෙත් දියුණු කර ඇත්තේ මේ අනුවය.


සුදුසු වී ප්‍රභේද වගාකිරීම


ලවණතාව සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම මේ තත්ත්වයට ඉදිරිපත්ව ඇති එක් විසඳුමකි. මේ සඳහා සාම්ප්‍රදායික වී වර්ග මෙන්ම, දියුණු කරන ලද වී වර්ග ද වගා කරනු ලැබේ.

අපගේ ක්ෂේත්‍ර නිරීක්ෂණයට ලක් වූ අම්බලන්තොට, බූන්දල, කොට්ටුකච්චිය වැනි ලවණතාවයෙන් පීඩා විඳින ප්‍රදේශවල වී ගොවීන්ට අනුව අතීතයේ දී වගා කරන ලද සාම්ප්‍රදායික හෙවත් පාරම්පරික වී ප්‍රභේද අතර ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද විය. ඒ අතර පොක්කාලි, පච්චපෙරුමාල්, මඩතවාළු වැනි වී වර්ග මූලිකය. පසුකාලීනව මේ වී ප්‍රභේද භාවිතයෙන් ඈත් වී ඇත. ලවණ සහිත කුඹුරු ඉඩම්වල වෙනත් වී ප්‍රභේද වගා කළ නොහැකි බැවින් ඊට ඔරොත්තු දෙන වී වර්ග වගා කිරීමේ අවශ්‍යතාව ඇති විය. එහි දී පාරම්පරික වී ප්‍රභේද නැවත හඳුන්වා දීම සඳහා විවිධ සංවිධාන සහ කණ්ඩායම් මැදිහත් වී තිබේ. නිදසුනක් ලෙස 2004 වර්ෂයේ සුනාමියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි එක් ව්‍යාපෘතියක් දියත් කරන ලදි. ‘ප්‍රැක්ටිකල් ඇක්ෂන්’ සංවිධානය මුලින්ම වී වර්ග දහයක් යොදාගනිමින් අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණයක් මත මත පදනම්ව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මේ වගාකිරීම් ව්‍යාප්ත කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වූ අතුල වීරරත්න මහතා පෙන්වා දුන් ආකාරයට කාබනික වගා ක්‍රමයට පාරම්පරික වී ප්‍රභේද වගාව සිදු කර ඇත. එහි දී නවීන යෝග්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය ද සිදු කර ඇත. පසුකාලයක මෙම කාර්යය ප්‍රචලිත කිරීම සඳහා දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මැදිහත් වී සහාය ලබා දී තිබේ.

ඒ අවස්ථාවේ බූන්දල ප්‍රදේශයේ ආරම්භ කළ අදටත් සාර්ථකව ගොවීන් අතර ක්‍රියාත්මක වන ප්‍රයත්නයක් පිළිබඳව අපට කරුණු දැක්වුයේ ගොවි ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසෝම වීරරත්න මහතා ය. ඒ අනුව වෙරළාශ්‍රිත ලවණතාව නිසා වෙනත් කිසිදු වී ප්‍රභේදයක් වගා කිරීම අපහසු වීමෙන් මුළුමනින්ම පාහේ අත්හැර දමා තිබූ ඌරණිය කුඹුරු යායේ අක්කර පනහක පමණ ප්‍රමාණයක අද දක්වාම පාරම්පරිකවී ප්‍රභේද වගා කරනු ලැබේ. ඒ ගොවීන්ගේ අත්දැකීම අනුව ලවණතාව ඇති කුඹුරුවල වගා කරන පාරම්පරික වී ප්‍රභේද අතරින් පොක්කාලි වඩාත් සුදුසුය. ඒ හැර පච්චපොරුමාල්, මඩතවාළු, දහනල හා රත්දැල් ආදිය වගා කරනු ලැබේ. මේ අතර කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අප සමග සාකච්ඡා කළ කළ ගොවීන්ගේ අත්දැකීම් අනුව පච්චපෙරුමාල්, මුරුංගාකායම්, දික් වී, හැංගිමුත්තන් වැනි වී ප්‍රභේද අතීතයේ ලුණු සහිත කුඹුරුවල වගා කර තිබේ.


ඌරණීය වෙල්යාය, බූන්දල

මානජ්ජාව වෙල්යායා, අම්බලන්තොට


ලවණතාවට ඔරොත්තු දෙන දියුණු කරන ලද වී වර්ග පිළිබඳව හා ඒවා භාවිත වන ආකාරය මේ සමඟ ඇති සාකච්ඡාවක පළ වේ.



ලවණතාව අවම කළ හැකි කෘෂි පිළිවෙත්


ලවණතාව සහිත කුඹුරුවල ලවණතාව අවම කර වී වගා කිරීම සඳහා අනුගමනය කළ යුතු කෘෂිකාර්මික පිළිවෙත් අතර කෘෂිකර්ම බලධාරීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන හා ගොවීන් විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් සමහරක් මෙසේය.

  • ගැඹුරට සී සෑමෙන් වැළකීම - ජලය හිඟ යල කන්නයේ දී හා නියං කාලවලදී ලවණතාව දැඩිව බලපෑ හැකි නිසා අඩුවෙන් සී සෑම සුදුසුය. එවිට පසේ යටින් ඇති ලවණ මිශ්‍ර වීම අඩු වේ. කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ප්‍රදේශයේ ගොවීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පෙනී ගියේ ලවණ සහිත කුඹුරුවල කලක් තිස්සේ වගා කරන ගොවීන් මෙම කරුණ හොඳින් ග්‍රහණය කර ඇති බවයි. ඔවුහු ඇතැම් විට උදලු මඟින් සිදු කරන බිම් සැකසුමක් පමණක්ම සිදුකරති. එසේම ලවණතාව සුලබ වඩත්ත වැනි වැනි ගම්මානවල අවම බිම් සැකසුමක් සහිතව කැකුලමට වගා කරන ආකාරය දැකිය හැකිය.

  • වැපිරීමට පෙර පස කිහිපවාරයක් සෝදා යැවීම - ලවණ සහිත කුඹුරක බිම් සැකසීමේ දී කිහිපවරක් වතුර බැඳ තබා පස සෝදා යැවීම සුදුසුය. ගොවීන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බව අපේ නිරීක්ෂණවල දී දැක ගත හැකි විය. කෙසේ වෙතත් එසේ නැවත නැවත සෝදා යැවීමට තරම් ප්‍රමාණවත් ජල සැපයුමක් ඇතැම් ප්‍රදේශවල නොමැති වීම ගැටලුවකි. ලවණතාව දැකිය හැකි කුඹුරු අතරින් රැසකට ජලය සැපයෙන්නේ සුළු වාරිමාර්ගවලින් හෝ මුළුමනින්ම වර්ෂා ජලයෙනි. එවැනි අවස්ථාවල යල කන්නයේ ජල සැපයුම සීමිත බැවින් සෝදා යැවීමෙන් ලවණ ඉවත් කිරීම ද අසීරු විය හැකිය. මෙය පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අප නිරීක්ෂණය කළ එක් ගැටලුවකි.

  • කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම - කාබනික පොහොර සහ කාබනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් පස දියුණු කිරීම හරහා ද ලවණතාව අඩු කරගත හැකිය. ඒ සඳහා විවිධ ද්‍රව්‍ය භාවිත කළ හැකිය. කර දහයියා යොදා ගැනීම, කුකුල් පොහොර, කොම්පෝස්ට් පොහොර, ගොම පොහොර වැනි ද්‍රව්‍ය යොදා ගැනීම මෙහි දී සිදුකෙරේ. එමගින් පසේ ලවණතාව පාලනය වන අතර, වී වගාවට අවශ්‍ය පෝෂණය ද ලබා ගත හැකිය.

  • පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම - විශේෂ තැටියක වපුරා පැළ වූ වී, කුට්ටි පිටින් ගෙන කුඹුරේ විසිරවීම මෙහි දී සිදුවේ. එහිදී සිටුවනු ලබන්නේ දින 12ක් පමණ වයසැති වී පැළ බැවින් ඒ්වා කුඹුරේ දී ලවණතාවයේ බලපෑමට ලක්වන්නේ වර්ධක සමයේ වඩා අඩු කාලයකි. එබැවින් පැරෂුට් ක්‍රමය ලවණතාවය ඇති කුමුරුවල වී වැපිරීම සඳහා සුදුසු සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැනේ.

  • අගල් 2-3 ක ප්‍රමාණයකට වතුර රඳවා තැබීම - පසේ අඟල් දෙක තුනක් පමණ ජලය රඳවා තැබීම මගින් ලවණතාවය අඩු කළ හැකිය.


ලවණතාවට මුහුණ දීමේ ගැටලු


මේ ගවේෂණයේ දී ලවණතාවට මුහුණ දීමේ දී ඇති වන ගැටලු පිළිබඳව ද අවධානය යොමුකරන ලදි. ඉන් එකක් වන්නේ, ලවණතාවයේ බරපතළ බව ගොවියා ප්‍රමාණවත් තරමින් අවබෝධ කර නොමැති වීමයි. එයට එක් හේතුවක් වන්නේ, ලවණතාවයේ බලපෑම ඉහළ යන්නේ ඇතැම් කන්නවලදී පමණක් වීමයි. ඉන්පසුව එන කන්නයක දී ලවණතාවයේ බලපෑම අඩු විය හැකිය. ඒ සමඟ ඒ සඳහා ගන්නා පියවර පිළිබඳ ඇති අවධානය අඩු වීම සිදුවේ. ඒ නිසා එම තත්ත්වය තුළ ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද වගා කිරීම අවධානයකට ලක් නොවන බවක් පෙනේ.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේදවල බිත්තර වී ලබා ගැනීමේ අපහසුතාවටද ගොවීන් මුහුණ දී ඇති බව අප සමඟ සාකච්ඡාවට එක් වූ ඇතැම් ගොවීන්ගේ අත්දැකීමයි. එවිට ඔවුන්ට සිදුවන්නේ තිබෙන වී ප්‍රභේදයක් වගා කිරීමටය. මේ නිසා සුදුසු ප්‍රභේදවල හොඳ තත්ත්වයේ බිත්තර වී ප්‍රමාණවත් තරමින් ලබාගැනීමට අවස්ථාව සැලසීම වැදගත්ය. මෙය අප සමඟ අදහස් දැක්වූ ගොවීන් බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් වන අතර එය පාරම්පරික ප්‍රභේද මෙන්ම දියුණු කළ ප්‍රභේදවලට ද පොදු බව පෙනේ. මේ සඳහා රාජ්‍ය අංශයට මැදිහත් විය හැකි අතරම, ගොවීන් අතර බිත්තර වී නිෂ්පාදනය ද අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතුය.

ඉහත සඳහන් කර ඇති ආකාරයට ලවණතාවයේ බලපෑම අඩු කර ගත හැකි එක් ක්‍රමයක් වන භූමිය සෝදා හැරීම හා ජලය බරඳ තැබීම වැනි කටයුතුවල යෙදීම සඳහා ජල සම්පාදනය ද වැදගත්ය. මේ අවශ්‍යතාව ඇති ප්‍රදේශවලට ජල සැපයුම ලබාදී දීමට පියවර ගත හැකිය. වැව් වැනි වාරි ජල පද්ධති මනාව නඩත්තු කිරීම හා ජලය කාර්යක්ෂම ආකාරයෙන් බෙදාහැරීම වැදගත්ය. මෙය වඩා වියළි තත්ත්ව යටතේ සිදුකරන යල කන්න ගොවිතැනේ දී වඩාත් වැදගත්ය. මේ තත්ත්වය කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අපගේ නිරීක්ෂණයට ලක් විය.

ලවණතාවයේ බලපෑම අවම කිරීමේ දී පැරෂුට් තාක්ෂණය යොදාගෙන වී වැපිරීම සුදුසු බව ඉහත සඳහන් කළෙමු. ගොවීන්ට පැරෂුට් තාක්ෂණය හඳුන්වා දී ඇති නමුත්, භාවිතය පිළිබඳ ප්‍රායෝගික ගැටලු ගොවීන්ට පවතින බව පෙනේ. එනම්, එම තාක්ෂණයට හුරු වීම පිළිබඳව ඇති ගැටලුවයි. කොට්ටුකච්චිය හා ආණමඩුව ප්‍රදේශයේ ගොවීහු මේ පිළිබඳව සඳහන් කළහ. එපමණක් නොව පැරෂුට් තාක්ෂණය සඳහා යොදාගන්නා තැටි සඳහා වැයකළ යුතු පිරිවැය ද ගොවීන්ට ගැටලුවක් විය හැකි ය. මෙම තාක්ෂණය ඵලදායී වන ප්‍රදේශවල රාජ්‍ය මැදිහත්වීමක් මගින් මේ තත්ත්වයට විසඳුමක් දිය හැකි නම් එමඟින් ලවණතාව පවත්නා කන්නවල ලවණතාව ජය ගැනීමට ගොවීන් පෙළඹවීමට අවස්ථාවක් පවතී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට ලබා දෙන පුහුණුව බොහෝවිට කන්න රැස්වීම් හරහා සිදු කරන්නකි. එය ප්‍රායෝගික පුහුණුවක් වේ. සාමාන්‍යයෙන් දැනුම්වත් කිරීමේ ද්‍රව්‍ය ලබා දීම සිදු වන්නේ අඩු වශයෙනි. මේ ආකාරයට දැනුම් සම්ප්‍රේෂණය වීමේ යම් යම් ගැටලු ඇති බව අපට පෙනී ගිය කරුණකි. එසේම ඇතැම් විට රැස්වීම් සඳහා සම්බන්ධ වන්නේ ගොවියාට වඩා එම පවුලේ කාන්තාව වීම ද ප්‍රායෝගිකව ගැටලුවක් බව කෘෂිකර්ම නිලධාරීහු අප හා පැවසුවහ. එයට එක් හේතුවක් වන්නේ දැනුම්වත් කිරීම් ලබා ගත යුතු පිරිමි පාර්ශ්වය විශේෂයෙන් කුඹුරු වැඩ කටයුතු කරන පිරිමි, එයට සම්බන්ධ නොවීමයි.

එසේම වඩා හොඳ ප්‍රභේදවල බිත්තර වී සොයා ගැනීමට නොහැකි වීම, ප්‍රමාණවත් තරම් කාබනික ද්‍රව්‍ය එක් කිරීම පිළිබඳ දැනුමක් නොමැති වීම සහ ඒ සඳහා යොමු නොවීම ද පැහැදිලිව දැකිය හැකි විය.

ලවණතාව සහිත කුඹුරු ඉඩම් බොහෝවිට වැඩි ප්‍රමාණයක් පාහේ මහා වාරි මාර්ගවලින් ජලය සම්පාදනය නොකරන ඒවා වීමත් එමෙන්ම ඒවා බොහෝ දුරට එම කුඹුරු ඉඩම් හිමියන්ගේ යැපුම් අවශ්‍යතා සඳහා වගා කරන ඉඩම් වීමත් වැදගත් කරුණු වේ. එවැනි කුඹුරු ඉඩම් අසාර්ථක වීම නිසා ඇති වන මූලික ගැටලුවක් වන්නේ, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවට බලපෑමක් ඇති වීමයි. වී හැරුණුවිට වෙනත් භෝග වගා කිරීම සඳහා ද ලවණතාව බලපාන බැවින් එය විසඳුමක් වන්නේ නැත. එමෙන්ම දිගින් දිගටම වගාව අසාර්ථක වුවහොත් මේ ගොවීහු විකල්ප රැකියා අවස්ථා හොයා සිය ගම්මානයෙන් බැහැර වීම දැකිය හැකිය. එය සමාජීය හා පවුලේ ගැටලු ඇති වීමට ද හේතු වේ. ඇතැම් ප්‍රදේශවල මේ ජනතාව පදිංචි වී අත්තේ වෙනත් ස්ථානවලින් අවතැන් වූවන් ලෙස වීම මේ තත්ත්වය තවත් තීව්‍ර කරයි. එබැවින් ඔවුන්ගේ මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ලවණතාවට විසඳුම් සැපයීමට මෙන්ම අඛණ්ඩව අවධානය යොමු කිරීමට ද රජයට වගකීමක් ඇත.



විශේෂ ස්තුතිය - බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී පී. වී. හේමචන්ද්‍ර, පාරම්පරික වී හා කාබනික ගොවිතැන පිළිබඳ ක්‍රියාකාරීන් වන හේමන්ත අබේවර්ධන හා ධම්මිකා ප්‍රියදර්ශනී (කොට්ටුකච්චිය) යන මහත්ම මහත්මීන්ට.

මෙම ලිපියේ වාර්තාකරණය Internews’ Earth Journalism Network ජාලයේ අනුග්‍රහයෙනි.

ඡායාරූප - දිලුප් චන්ද්‍රනිමල්

No comments:

Post a Comment