Thursday, April 25, 2019

තිරසර සංවර්ධනයට තර්ජනයක්‌ විය හැකි භෝග විවිධත්වයේ අඩු වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2019/04/03/feature4.html




භෝග විවිධත්වය හෙවත් මිනිසුන් විසින් වගා කරනු ලබන ශාකවල විවිධත්වය මානව ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් ය. මේ පිළිබඳ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් වාර්තා වී ඇත්තේ ජගත් මට්‌ටමින් ගත් විට මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග විවිධත්වයේ කිසියම් අඩු වීමක්‌ දැකිය හැකි බව හෙවත් අප විසින් වගා කරනු ලබන්නේ එක සමාන භෝග වර්ග බවත් ය. එය අනාගතයේ දී තිරසර කෘෂිකර්මයට අභියෝගයක්‌ විය හැකි බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ලබාගත් ලෝකයේ මහා පරිමාණ ගොවිපොළවල (Industrial farms) වගා කරනු ලබන භෝග පිළිබඳ දත්ත ය. එනම් කාලය සමඟ මේ භෝග වගා වෙනස්‌ වීම පිළිබඳ දත්ත ය. අධ්‍යයන කාලය වන්නේ 1961 හා 2014 දක්‌වා වන කාලයයි. එහි දී එම සංවිධානය විසින් පිළිගනු ලැබෙන උපමහාද්වීපික කලාප (subcontinental regions) 22ක්‌ ආවරණය වී ඇති අතර, භෝග ශාක වර්ග 160කට ආසන්න ප්‍රමාණයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඒ දත්ත මත පර්යේෂකයන්ගේ අවධානය යොමු වූ කරුණු අතර විවිධ කෘෂිකාර්මික කලාපවල වගා කරනු ලැබූ භෝගවල විවිධත්වයෙහි යම් වෙනසක්‌ කාලය සමඟ සිදු වී තිබේ ද යන්න වැදගත් කරුණකි. එසේ ම භෝග විවිධත්වයේ වෙනස්‌කම් හුදෙක්‌ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ පුරෝකථනය කළ හැකි ද යන්න තවත් වැදගත් කරුණකි.

භෝග විවිධත්වයෙහි ඇති වූ වෙනස්‌කම්


ලෝක කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධ ව ගත් විට කෘෂිකර්මය සඳහා යොදාගන්නා භෝග වර්ගවල විශාල ව්‍යාප්තියක්‌ ඇති වූ සිදුවීමක්‌ ලෙස කොලම්බියානු හුවමාරුව (Columbian Exchange) ලෙසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය දක්‌වනු ලැබෙයි. එය සිදු වූයේ 15 හා 16 වැනි ශතවර්ෂවල දී ය. කෙටියෙන් පවසන්නේ නම් ඒ, ඇමෙරිකානු මහාද්වීපවලට යුරෝපීයයන් පැමිණි පසු එම zනව ලෝකයZ හා zපැරැණි ලෝකයZ අතර සිදු වූ භෝග හුවමාරුවයි. නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයෙහි විසූ ජනතාව විසින් වගා කරන ලද භෝග වර්ග

පැරැණි ලෝකය හෙවත් වෙනත් මහාද්වීපවලටත්, ලෝකයේ සෙසු මහාද්වීපවල වගා කරන ලද භෝග වර්ග ඇමෙරිකානු මහාද්වීපවලටත් හුවමාරු කරන ලදි. මේ සිදුවීම කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකෙයි. අප අද දන්නා භෝග විශාල ප්‍රමාණයක්‌ එම සිදුවීමත් සමඟ ලෝකය පුරා ව්‍යාප්ත වූ භෝග වර්ග අතර වෙයි. මෙසේ භෝග වර්ග ඒවා සම්භවය වූ ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවලට මිනිසුන් විසින් ව්‍යාප්ත කරනු ලැබීම මානව යුගය (Anthropocene) අර්ථකථනය කිරීම සඳහා යොදාගන්නා එක්‌ සාධකයක්‌ ලෙස සැලකෙයි. ඒ, එම සිදුවීමෙන් සිදු වූ වෙනස ලෝකය තුළ පැහැදිලි ව හඳුනාගත හැකි වන නිසා ය.

අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් දක්‌වා ඇති ආකාරයට අධ්‍යයන කාලයේ මුල හෙවත් 1961 සිට 1970 ගණන්වල අගභාගය දක්‌වා වූ කාලයේ ලෝකයේ භෝග විවිධත්වයේ විශාල වෙනසක්‌ සිදු වී නැති තරම් ය. එහෙත් 1980 දශකයේ මුල පටන් ගත වූ වසර දහයක පමණ කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වයෙහි විශාල ප්‍රමාණයේ ඉහළ යැමක්‌ වාර්තා වී ඇත. එයට හේතුව ලෙස මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ භෝග වර්ග නව වගා බිම්වල මහා පරිමාණයෙන් වගා කරනු ලැබීම ය. එහෙත් මේ විවිධත්වය 1990 ගණන්වල මුල පටන් ස්‌ථාවර තත්ත්වයකට පත් වූ අතර, එතැන් සිට භෝග විවිධත්වයේ ඉහළ යැමක්‌ දැකිය නොහැකි ය.

ජගත් මට්‌ටමේ භෝග විවිධත්වය අඩු වීම


මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ජගත් මට්‌ටමෙන් දැකිය හැකි ප්‍රවණතාව වන්නේ එක ම ආකාරයක භෝග වඩාත් විශාල පරිමාණයෙන් වගා කරනු ලබන බවයි. එයින් පෙනෙන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මහා පරිමාණ ගොවිපොළවල වගා කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වටිනාකමක්‌ ඇති භෝග වර්ග කිහිපයක්‌ බව ය. මෙසේ වගා කරනු ලබන භෝග ඒක භෝග වගා වන අතර ඒවා ප්‍රවේණික වශයෙන් එක ම ප්‍රවේණි දර්ශයට (genotype) අයත් වෙයි.

මේ සඳහා නිදසුන් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වනු ලබන භෝග අතර සෝයා බෝංචි, තිරිඟු, සහල් හා ඉරිඟු දැක්‌විය හැකි ය. මේ භෝග වර්ග හතර වගා කරනු ලබන බිම් ප්‍රමාණය ලෝකයේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ තරම් වෙයි. ලෝකය පුරා වගා කරනු ලබන සෙසු භෝග වර්ග 152ක්‌ ම වගා කරනු ලබන්නේ ඉතිරි වගාබිම් ප්‍රමාණයෙහි ය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මේ භෝගවල ප්‍රවේණික විවිධත්වය අඩු වීම අනිවාර්යයෙන් ම අපේක්ෂා කළ යුත්තකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ වගා කරනු ලබන ඉරිඟු අතරින් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සමන්විත වන්නේ ප්‍රවේණි දර්ශ හයක්‌ පමණ ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු අනුව කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ මේ භෝග වර්ගවල විවිධත්වයේ වෙනස්‌ වීම පැහැදිලි කළ නොහැකි බව පැහැදිලි ය. ඒ වෙනස්‌කම් සඳහා බලපා ඇති කරුණු අතර ඇතැම් භෝගවලට ලබා දී ඇති සහන, අන්තර්ජාතික වෙළෙඳපොළ, ජනගහන වර්ධනය, ඒක පුද්ගල ආහාර ඉල්ලුම වැනි කරුණු ද භෝග ව්‍යාප්තියට බලපා ඇත. අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්, භෝග විවිධත්වයට බලපා ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් ස්‌වාධීන ව බව ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති කරුණකි.

කලාපීය වෙනස්‌කම්


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙහි කලාපීය වශයෙන් වෙනස්‌කම් දැකිය හැකි බවයි. ඇතැම් කලාපවල භෝග විවිධත්වය ඉහළ ගොස්‌ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ 1960 දශකයේ දී මහා පරිමාණයෙන් වගා කරන ලද භෝග වර්ග ගණන 80ක්‌ පමණ විය. එහෙත් මේ වන විට උතුරු ඇමෙරිකාවේ භෝග විශේෂ 93ක්‌ පමණ මහා පරිමාණයෙන් වගා කරනු ලැබෙයි.

එහෙත් සෙසු බොහෝ කලාපවල මහා පරිමාණ ගොවිපොළවල දැකිය හැක්‌කේ භෝග විවිධත්වයෙහි අඩු වීමකි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයේ භෝග විවිධත්වය අඩු වීම සඳහා බලපායි.

විවිධත්වය අඩු වීමේ බලපෑම


මීට පෙර සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති එක්‌ කරුණක්‌ වන්නේ මෑත කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වය ඉහළ ගිය බවකි. එය රේ‚ය ප්‍රවණතාවක්‌ පෙන්වන බවට ද අදහසක්‌ විය. එහෙත් මේ නව අධ්‍යයනය අනුව සිදු වී ඇති වෙනස්‌කම් වඩාත් පැහැදිලි ය. විශේෂයෙන් වැඩි භූමි ප්‍රමාණයක මහා පරිමාණයනේ වගා කරනු ලබන භෝගවල සිදු ව ඇති වෙනස්‌කම් ද මේ අනුව පැහැදිලි ය.

මේ ආකාරයෙන් භෝගවල විවිධත්වය අඩු වීම නිසා සිදු විය හැකි බලපෑම මෙහි දී සැලකිය යුතු කරුණකි. එය කලාපීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක්‌ කළ හැකි ය. කලාපීය වශයෙන් ඇති වන භෝග විවිධත්වය පිරිහීමක්‌ එම කලාපයේ වෙසෙන ජනතාවට තමන්ට සංස්‌කෘතික වශයෙන් අනන්‍ය වූ ආහාර අනුභව කිරීමට හෝ ලබාගැනීමට හෝ ඇති හැකියාව අඩු කරවයි. ඒ වෙනුවට මහා පරිමාණයෙන් වගා කරනු ලබන භෝග මත යෑපීමට සිදු වෙයි. එමෙන් ම මෙසේ එක්‌ භෝගයක්‌ හෝ ප්‍රභේදයක්‌ ලෝකයේ විශාල ප්‍රදේශයක වගා කරනු ලැබීම නිසා ඒවා පළිබෝධ හා රෝගවල තර්ජනයට වඩාත් ලක්‌ වීමට ඉඩ සැලසෙයි. මේ වන විට කෙසෙල් වගාවට බරපතළ ලෙසින් හානි කරන දිලීරයක්‌ මේ සඳහා නිදසුන ලෙස දක්‌වා ඇත. ලෝක කෘෂිකර්මය හමුවේ එවැනි අභියෝගයක්‌ දැකිය හැකි ය.

මේ ආකාරයෙන් භෝග විවිධත්වය අඩු වීම වළක්‌වාගැනීම සඳහා ලෝකයේ රටවල ආණ්‌ඩුවලට යමක්‌ කළ හැකි බව ද මේ පර්යේෂකයන්ගේ අදහසක්‌ වෙයි. විශේෂයෙන් ඒ ඒ රටවල් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලබන්නේ එක්‌ භෝගයක්‌ හෝ සීමිත භෝග ගණනක්‌ හෝ වැඩි භෝග ගණනක්‌ වගා කිරීමට ද යන්න ඒ අනුව වැදගත් ය.

භෝගවල ප්‍රවේණික විවිධත්වය සංරéණය කිරීම තිරසර සංවර්ධන අභිමතාර්ථවල (Sustainable Development Goals) එන එක්‌ ඉලක්‌කයක්‌ වන අතර එය තහවුරු කිරීමේ දී මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවක්‌ පෙනෙයි.

මූලාශ්‍රය :- PLOS ONE, DOI: 10.1371/journal.pone.0209788

No comments:

Post a Comment