Monday, January 22, 2018

වාරිමාර්ග තාක්‌ෂණයත් සේද මාර්ගය දිගේ හුවමාරු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.01.2018, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/01/17/feature4.html



සේද මාර්ගය යනුවෙන් හදුන්වනු ලබන්නේ ලෝකයේ පෙරදිග හා අපරදිග ප්‍රදේශ යා කරමින් අතීතයේ පැවැති වෙළෙඳ මාර්ගයකි. පෙරදිග ලෝකයේ චීනය හා අපරදිග ලෝකයේ පිහිටි රෝමය මේ සේද මාවතේ ගමනාන්ත විය. සාමාන්‍යයෙන් ගොඩබිම් සේද මාර්ගය වඩා ප්‍රකට වන අතර, පිළිබඳ ව මෙන් ම සමුද්‍රීය සේද මාර්ගයක්‌ පිළිබඳව ද විද්වතුන් පෙන්වා දී තිබේ.

මේ සේද මාර්ගය ඔස්‌සේ විවිධ ද්‍රව්‍ය වෙළෙඳාම් විය. ඒ ආකාරයෙන් පෙරදිග සිට අපරදිග වෙත අලෙවි කරන ලද ද්‍රව්‍ය අතර සේද ප්‍රධාන තැනක්‌ ගත්තේ ය. වූල්, රන් හා රිදී පෙරදිග දෙසට ගිය ද්‍රව්‍ය අතර විය.

එමෙන් ම සේද මාවත ඔස්‌සේ වෙළෙඳ ද්‍රව්‍ය පමණක්‌ නො ව අදහස්‌ ද හුවමාරු වී ඇති බව පැහැදිලි ය. එමෙන් ම මේ මාර්ගය දිගේ ජන සංක්‍රමණ සිදු විය. රෝග ව්‍යාප්ත විය. දැනුම හුවමාරු විය. ආගම් පැතිරිණි.

සේද මාර්ගය ඔස්‌සේ හුවමාරු වූ මෙ වැනි එක්‌ වැදගත් දැනුමක්‌ පිළිබඳ ව පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී ඇත. ඒ සේද මාර්ගය ඔස්‌සේ වාරිමාර්ග තාක්‌ෂණය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ අදහසකි. ඒ වර්තමාන වයඹදිග චීනයේ පිහිටා ඇති ප්‍රදේශයකින් ලැබුණු සාධක පදනම් කරගනිමිනි. එම දැනුම මගින් ලෝකයේ වඩාත් වියළි කාන්තාර දේශගුණයක්‌ ඇති ප්‍රදේශයක ජීවත් වූ ජන පිරිසකට වගා කිරීමට හා සතුන් ඇති කිරීමට සුදුසු අවස්‌ථාවක්‌, අදින් වසර 1600ක්‌ තරම් ඈත කාලයක දී අවස්‌ථාවක්‌ ලැබීම මෙහි ඇති වැදගත්කම වෙයි.

නවීන ශිල්ප ක්‍රම භාවිත කළ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයට ලක්‌ වූ ස්‌ථානය චීනයේ මධ්‍යම සිංජියාං පළාතේ ටියෙන් ෂාන් කදු පාමුල පිහිටා ඇති, මෑත දී අනාවරණය කරගත් ස්‌ථානයකි. මොහුචහාන්ගොයුකොයු (Mohuchahangoukou) නම් වන එම ප්‍රදේශයේ මතුපිට දැකිය හැක්‌කේ තැන තැන දැකිය හැකි රවුම් ගල් හා වැල්ලෙන් පිරුණු මාර්ගවලින් යුක්‌තු වූ භූමියකි. එහි විසූ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සාධක එහි හමු නො වූ තරම් විය.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූප හා පොළොවෙන් මීටර් 30කට උඩින් සිට ෙඩ්‍රාaන කැමරා මගින් ලබාගත් ඡායාරූප යොදාගනිමින් සිදු කරන ලද විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ අපූරු තොරතුරු සමුදායකි. ඒ අනුව ජලය රදවාගැනීම සඳහා සැකසූ වේලි, වාරි ඇළ මාර්ග හා කුඩා වගා බිම් සමූහයකට ජලය සපයන කුඩා ප්‍රමාණයේ ජලාශ ගණනාවක්‌ හදුනාගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. ඒ සම්බන්ධ ශේෂ මනා ව ඉතිරි වී තිබිණි. මෙ වැනි වාරිමාර්ග පද්ධති පිහිටා තිබූ ප්‍රදේශ හතක්‌ මොහුචහාන් (Mohuchahan) ගංගාව දිගේ පිහිටා ඇති බව උක්‌ත අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ.

එසේ ම එ වැනි එක්‌ ස්‌ථානයක ක්‌ෂේත්‍රයේ එහි සිදු කරන ලද මූලික පරීක්‌ෂණ කැණීම් මගින් කරුණු ගණනාවක්‌ අනාවරණය වී ඇත. මේ කැණීම්වලින් අනාවරණය වූ පරිදි එහි පැවැති ඇළ මාර්ග සාපේක්‍ෂ ව පටු වූ අතර ගැඹුරින් ද ඉතා අඩු විය. එසේ ම විසිරී ගොස්‌ ඇති ගොවි නිවාස හා සුසාන භූමි පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇත.


මෙහි ඇති විශේෂත්වය වන්නේ එම ප්‍රදේශයේ ඓතිහාසික වර්ෂාපතනය වාර්ෂික ව මිලිමීටර් 66ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ බව හෙළි වී ඇති නිසා ය. එම වර්ෂා ජල ප්‍රමාණය නියගයට වඩාත් හොඳින් ඔරොත්තු දෙන තණ හාල් (මිලට්‌) වැනි ධාන්‍ය වගා කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයෙන් පහෙන් එකක්‌ පමණ වෙයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ වාරිමාර්ග යොදාගනිමින් මේ ප්‍රදේශයේ මිලට්‌, බාර්ලි, තිරිගු හා ඇතැම් විට මිදි වගා කිරීම සිදු කරන්නට ඇති බවයි.

මේ වාරිමාර්ග ක්‍රමය කාල නිර්ණය කර ඇත්තේ පොදු වර්ෂ 3-4 ශතවර්ෂවල දී පමණ ඉදි කරන ලද්දක්‌ විය හැකි බවට ය. එසේ වාරිමාර්ග පද්ධතියක්‌ ඉදි කිරීමෙහි අරමුණ වන්නට ඇත්තේ ඔවුන් ගේ වගාව සඳහා වැඩි භෝග ගණනක්‌ එකතු කරගැනීම විය හැකි බව ද දක්‌වා තිබේ.

වාරිමාර්ග තාක්‌ෂණය ලැබුණේ කොතැනින් ද?


මේ වාරි තාක්‌ෂණය මේ ප්‍රදේශයට ලැබුණේ කුමන ප්‍රදේශයකින් ද යන්න පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ වූ තවත් කරුණකි.

චීනයේ සිංජියාන් (Xinjiang) කලාපයට ප්‍රධාන වාරි තාක්‌ෂණය ලැබෙන්නේ පොදු වර්ෂ පූර්ව 206 සිට පොදු වර්ෂ 220 දක්‌වා කාලයේ දී චීනයේ පැවැති හන් රාජවංශ සමයේ බව මේ වන විට පවත්නා සාමාන්‍ය පිළිගැනීම වෙයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට මේ මොහුචුහාන් නිම්නයේ හමු වන වාරි තාක්‌ෂණික ක්‍රම හන් රාජවංශ සමයේ හදුන්වා දුන් වාරිමාර්ග තාක්‌ෂණයට වඩා පැරැණි එකක්‌ විය හැකි ය.

මේ ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ටියෙන් ෂාන් කදුකර ප්‍රදේශය හරහා චීනය හා මෑත පෙරදිග කලාපය යා කළ ප්‍රාග් ඓතිහාසික සේද මාවතේ මාර්ගය වැටී තිබිණි. මේ මාර්ග ඔස්‌සේ පිහිටා තිබූ කදුකර ප්‍රදේශවල සතුන් ඇති කරමින් ජීවත් වූ කණ්‌ඩායම් අතර විශාල ප්‍රමාණයේ හුවමාරු කිරීම් ඇති වූ බවට මතයක්‌ තිබෙයි. පැරැණි සංචාරක දිවිපෙවෙතක්‌ ගෙවූ එම කණ්‌ඩායම් අතර ගෘහාශ්‍රිතකරණය වූ විවිධ මුල් භෝග වර්ගවල බීජ හුවමාරු වූ බව මේ වන විට සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඒ ඔවුන් විවිධ කාලවකවානුවල දී සිය සත්ත්ව රංචු ඝෘතුමය තණබිම්වලට ගෙන යන අවස්‌ථාවල දී ය.

මේ ආකාරයට ම මුල් වාරි තාක්‌ෂණය පිළිබඳ දැනුම ද කණ්‌ඩායමෙන් කණ්‌ඩායමට හුවමාරු වන්නට ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. ඒ ක්‍රියාවලිය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිදු වූවක්‌ විය හැකි ය.

මේ පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි කුඩා පරිමාණයේ වාරිමාර්ග පද්ධති පිළිබඳ සාධක උක්‌ත ප්‍රදේශයට බටහිරදිගින් පිහිටා ඇති, ගිනිකොනදිග තුර්ක්‌මේනිස්‌ථානයේ ගියෝකිසූර් (Geokysur) ගංගා ඩෙල්ටාවේ පොදු වර්ෂ පූර්ව 3000 පමණ කාලයේ පමණ පැවැතී තිබෙයි. එසේ ම තවත් බටහිරට වන්නට පිහිටා ඇති, පොදු වර්ෂ පූර්ව 5000ට පමණ අයත් ලෙස කාලනිර්ණය කර ඇති ඉරානයේ ටෙපේ ගස්‌ ටවීලා (Tepe Gaz Tavila‌) ජනාවාසයෙන් ද මෙ වැනි වාරි පද්ධති පිළිබඳ සාධක හමු වී ඇත. එසේ ම කාන්තාර සහිත පරිසරයක්‌ වූ දකුණු ජෝර්දානයේ වාඩි ෙෆ්නාන් (Wadi Faynan) ගොවි ප්‍රජාව පශ්චාත් ලෝකඩ යුගයේ භාවිත කර ඇති වාරිමාර්ග රටාව ඉහත කී අධ්‍යයනයෙන් හෙළි වූ වාරිමාර්ග රටාව හා බොහෝ දුරට සර්වසම වෙයි. මේ අනුව මේ තාක්‌ෂණය සේද මාවත ඔස්‌සේ පැමිණි බව යෝජනා කිරීම සාධාරණ වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබෙයි.

මේ අධ්‍යයනයේ දී අනාවරණය වූ වාරිමාර්ග පද්ධතිවල ඇති විශේෂත්වය වන්නේ ඒවා ප්‍රමාණයෙන් වඩා කුඩා පරිමාණයේ ඒවා වීම ය. අධ්‍යයනයේ දී හදුනාගත් එ වැනි පද්ධති හතකින් ම ජලය සැපයීමට හැකියාව ඇත්තේ අක්‌කර 500ක්‌ පමණ ප්‍රදේශයකට පමණක්‌ වීම නිදසුනකි. එහෙත් හන් රාජවංශය සමයේ හදුන්වා දී ඇත්තේ මහා පරිමාණ වාරිමාර්ග පද්ධති වන අතර, ඒවායින් වඩා විශාල භූමි ප්‍රදේශයකට ජලය සැපයීමට හැකියාව පවතී. එසේ ම ඒවායේ දී යොදාගත් දීර්ඝ, ගැඹුරු හා පුළුල් වූ ඝෘජු ඇළ මාර්ග පද්ධතිය මගින් අක්‌කර 12000ක්‌ පමණ ප්‍රදේශයකට වාරි ජලය සැපයීමට ද හැකි විය.

එසේ ම ගොවීන් සුළු පිරිසකට වසර කිහිපයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ අඩු ප්‍රයත්නයකින් මොහුචහාන්හි දී හමු වූ වැනි කුඩා වාරි පද්ධතියක්‌ තැනිය හැකි වීම ද වැදගත් වෙයි. එහෙත් හන් රාජවංශය සමයේ දී ඉදි කරන ලද වාරි ව්‍යාපෘතියක්‌ සඳහා විශාල ශ්‍රමයක්‌ හා අමුද්‍රව්‍ය (පස්‌) ප්‍රමාණයක්‌ අවශ්‍ය විය.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ හන් රාජවංශය සමයේ විශාල පරිමාණයේ වාරි පද්ධති මේ කලාපයට හදුන්වා දුන්න ද, මුලින් හදුනාගත් කුඩා පරිමාණ වාරිමාර්ග තාක්‌ෂණික ක්‍රම භාවිතයෙන් ඉවත් නො වී තිබීම ම ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ අධ්‍යයනයෙන් අනාවරණය වූ වාරිමාර්ග තනා ඇත්තේ හා භාවිත කර ඇත්තේ හන් රාජවංශය සමයෙන් පසු ව ය.

මේ අනුව බෝග වර්ග සමග ම වාරි තාක්‌ෂණය ද චීනයේ සිංජියැං ප්‍රදේශයට ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ම වාගේ පැමිණ ඇති බව පැහැදිලි ය. ඒ අන්තර් ආසියාතික මංපෙත (Inner Asian Mountain Corridor) ඔස්‌සේ බව ද පෙනෙයි. මේ අනුව තාක්‌ෂණික දැනුම ජන කණ්‌ඩායම් අතර හුවමාරු වූ ආකාරය පෙන්වන පර්යේෂණයක්‌ ලෙස මෙය වැදගත් වෙයි.

මූලාශ්‍රය( Archaeological Research in Asia, DOI: 10.1016/j.ara.2017.09.005

http://www.vidusara.com/2018/01/17/feature4.html

No comments:

Post a Comment