Saturday, January 27, 2018

එළිමහන් ක්‍රියාකාරකම්වලින් පසුව සිසු අවධානය ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.01.2018 පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/01/24/feature1.html




ස්‌වාභාවික පරිසරයෙන් මිනිසුන්ට ලැබෙන බොහෝ ප්‍රයෝජන පිළිබඳව අපි දනිමු. ඒ අතර විවිධ ඝෘජු හා වක්‍ර සේවා වෙයි. උද්‍යාන, ගහකොළ හා වනජීවීන් වැනි ස්‌වාභාවික පරිසරයේ නොයෙක්‌ සංරචකවලට නිරාවරණය වූ පුද්ගලයන්ට ලැබෙන ප්‍රයෝජන මේ අතර තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම, මානසික ආතතිය අඩු කරවීම, අවධානය ප්‍රාණවත් වීම හා සක්‍රියභාවය ඉහළ යැම වැනි කරුණු දැක්‌විය හැකි ය.

මේ තත්ත්වය ළමයින් ගේ පාසල් අධ්‍යාපනයේ දී ද දැකිය හැකි කරුණකි. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛතාවක්‌ ලැබෙන්නේ පන්ති කාමරය ඇතුළත පවත්වනු ලබන ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ය. එහෙත් පන්ති කාමරයෙන් පිටත එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා යම් අවධානයක්‌ යොමු වී ඇත. ගසක්‌ යට, තණ පිටියක සිදු කරන පාඩමක්‌ යනු ළමයින්ට පංති කාමරයේ සිදු කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට වඩා යම් වෙනසක්‌ ලබා දෙන්නකි. ඒ සඳහා පාසල් ළමයින් ගේ, විශේෂයෙන් ප්‍රාථමික පංතිවල පසු වන කුඩා ළමයින් අතර, වැඩි උනන්දුවක්‌ ද දැකගත හැකි ය.

පරිසරය පාදක කරගත් ක්‍රියාකාරකම් අනාගතයේ දී පරිසරය පිළිබඳව විමසුමක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමට උපකාරී වෙයි. දරුවන් සිය ළමා කාලයේ දී ලබන පරිසරය පිළිබඳ ධනාත්මක අත්දැකීම් ඔවුන් ගේ වැඩිහිටි වයසේ දී පරිසර හිතවාදී හැසිරීම් ඇති වීම සඳහා වැදගත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන කරුණකි. මේ අනුව ස්‌වාභාවික පරිසරය පාදක කරගත් පාඩම්වල කිසියම් වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය.

වර්තමානය වන විට බොහෝ යුරෝපීය රටවල විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ස්‌වභාවික පරිසරයේ සිදු කරන පාඩම් වැඩසටහන් සඳහා වැදගත් තැනක්‌ ලබා දීම සඳහා කටයුතු කර තිබෙයි. එහෙත් ඇමෙරිකාවේ පෙර පාසල් පද්ධතියේ හැර පාසල් අධ්‍යාපනය තුළ මේ සඳහා ලබා දී ඇත්තේ අඩු අවධානයක්‌ බව පැවසෙයි. මේ සඳහා එක්‌ හේතුවක්‌ සේ සැලකෙන්නේ එවැනි එළිමහන් අධ්‍යාපන කටයුත්තක දී ළමයින් ගේ අවධානය කේන්ද්‍රගත කර තබාගැනීමට අපහසු බවට ගුරුවරුන් තුළ ඇති විශ්වාසයයි.

කෙසේ වෙතත්, එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන පාඩමකින් පසු ව ළමයින් ස්‌වකීය පාසල් කටයුතුවලට සම්බන්ධ වීම හා අවධානය ඉහළ යන බව පසුගිය දා නිකුත් වූ අධ්‍යයනයකින් අනාවරණය කර ඇත. මේ නිසා එවැනි අධ්‍යාපන සැසියකින් පසු ව සිදු කරන ගෘහාශ්‍රිත පාඩමක දී එම ගුරුවරුන්ට බාධාවකින් තොර ව දෙගුණයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඉගැන්වීමේ කටයුතුවල නියෑළීමට හැකියාව පවතී. මෙය වැදගත් වන්නේ ස්‌වාභාවික පරිසර තත්ත්ව යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් ලැබෙන මෙ වැනි ප්‍රතිලාභ සම්බන්ධව පැහැදිලි කිරීම් වැදගත් වන නිසා ය.

ඇමරිකානු අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයේ දී එම අධ්‍යයන කණ්‌ඩායම, පරීක්‌ෂා කිරීම සඳහා යොමු කළ කල්පිතය වූයේ ස්‌වාභාවික පරිසරයේ එළිමහනේ සිදු කරනු ලබන පාඩමක්‌ මගින් ඊට පසුව වහා ම සිදු කරනු ලබන පන්ති කාමරය ආශ්‍රිත පාඩම්වල දී දක්‌වන අවධානය හා පාඩමට සම්බන්ධ වීම ඉහළ යන බවයි.

උක්‌ත අධ්‍යයනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 9 - 10 අතර වයසේ පසු වන තුන්වැනි ශ්‍රේණියේ පංති දෙකක ළමයින් පදනම් කරගනිමිනි. ඒ ඇමෙරිකාවේ දී ය. එහි දී පරෙස්‌සමෙන් තෝරාගන්නා ලද ගැළපෙන ආකාරයේ පාඩම් දෙකක්‌ එක්‌ පාඩමක්‌ එළිමහනේ ද, ඒ හා සමාන අනෙක්‌ පාඩම පන්ති කාමරයක්‌ ඇතුළත ද වශයෙන් සති දහයක කාලයක්‌ ළමයින්ට උගන්වා තිබෙයි. මෙය පළපුරුදු ගුරුවරයකු විසින් මෙන් ම එසේ නො වන ගුරුවරයකු විසින් ද සිදු කරනු ලැබ ඇත. ඔවුන් ගේ එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ පාඩම සඳහා තෝරාගෙන තිබුණේ පාසලෙන් පිටත පිහිටා ඇති කුඩා වනාන්තරයක්‌ පෙනෙන දුර පිහිටි තණබිමකි. මේ පාඩම සාමාන්‍යයෙන් මිනිත්තු 40ක කාලයක්‌ ගත වූ පාඩමකි. ඊට පන්ති කාමරයේ සිට අදාළ එළිමහන් ස්‌ථානයට ගමන් කරන කාලය ද අයත් ය.

මේ සැම එළිමහන් හා ගෘහස්‌ථ පාඩම් සැසියකින් පසු ව කෙටි මිනිත්තු 5ක විවේකයක්‌ ලැබේ. ඉන් පසුව ආ මිනිත්තු 20ක නිරීක්‌ෂණ කාල පරිච්ඡේදවල දී ළමයින් කෙතරම් දුරට අධ්‍යාපන කාර්යයේ නිරත වූයේ ද යන්න ගුරුවරුන් විසින් මැනීම සිදු කරන ලදි. මේ නිරීක්‌ෂණය කරන ලද කාල සීමාවේ දී ළමයින් ගේ අවධානය අන් අතකට යොමු වූ අවස්‌ථා පිළිබඳව ගණනය කිරීම සිදු කර ඇත. ඒ 'ඉඳගන්න', 'වැඩ කරන්න' වැනි යෙදුම් යොදා ළමයින් ගේ අවධානය පාඩම් කටයුතු සඳහා යොමු කළ යුතු වූ අවස්‌ථා ප්‍රමාණය ගණන් කිරීමෙනි. එසේ ම පන්තියේ දී ලබාගන්නා ලද ඡායාරූප පිටස්‌තර නිරීක්‌ෂකයකු විසින් නිරීක්‌ෂණය කරන ලදුව ළමයින් කෙතරම් හොඳින් පාඩම් කටයුතුවල නිරත වූයේ ද යන්න නිරීක්‌ෂණය කර ඇත. ඒ අනුව ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව ලකුණු ලබා දී ඇත. එහෙත් ඒ ඡායාරූප එළිමහන් සැසියකට පසු ද, ගෘහස්‌ථ සැසියකට පසු ද යන්න නිරීක්‌ෂකයන් හට හෙළි කර නොමැත. ගුරුවරුන් ද ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම සඳහා ලකුණු ලබා දී තිබෙයි.

ඒ අනුව හෙළි වී ඇත්තේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද එළිමහන් පාඩමකින් පසු ව එම ළමයින් වඩාත් අවධානයකින් (attention) යුතු ව සිය පාසල් කටයුතුවලට සම්බන්ධ (engage) වූ බව ය. මේ අනුව එළිමහන් පාඩමකින් පසු සිදු කරන ලද පන්ති කාමර පාඩමක දී බාධාවකින් තොර ව සාමාන්‍ය කාලසීමාව මෙන් දෙගුණයක පමණ කාලයක්‌ සිය පාඩම කරගෙන යැමට එම ගුරුවරුන්ට හැකියාවක්‌ ලැබී තිබෙයි. මෙය වැදගත් හෙළිදරව්වකි. එසේ ම ගුරුවරයා වෙනස්‌ වීම, උපදේශාත්මක ප්‍රවේශය, පන්තියේ ළමයින් ගණන, පන්ති කාමරය වැනි කරුණු, වසරේ කාලය, දවසේ කාලය වැනි කරුණු අනුව මේ වෙනස පැහැදිලි කළ නො හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත. එසේ ම ස්‌වභාවික පරිසරය පදනම් කරගත් අධ්‍යාපන පාඩම් පිළිබඳ සුබවාදී ලෙස සැලකූ ගුරුවරයකුට මෙන් ම එවැනි පාඩම් පිළිබඳව නිශේධනාත්මක අදහස්‌ තිබූ ගුරුවරයකුට ද ලැබුණේ සමාන ප්‍රතිඵල වීම විශේෂත්වයකි.

එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද පාඩම්වලින් පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බලපෑම සම්බන්ධ ව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙය බව සඳහන් වෙයි.

අනාගතයට ඇති ප්‍රයෝජනය


ළමයින් සම්බන්ධව මීට පෙර සිදු කර ඇති මෙවැනි අධ්‍යයනවලින් පෙන්වා දී ඇති කරුණක්‌ වන්නේ පන්ති කාමරයේ ජනේලයක්‌ තුළින් පෙනෙන හරිතවත් පරිසරයක දර්ශනයකින් පවා ළමයින් ගේ අවධානය සම්බන්ධ ව යම් සාධනීය බලපෑමක්‌ ඇති කළ හැකි බවයි.

එහෙත් ඇතැම් ගුරුවරුන් එළිමහනේ පාඩම් කටයුතු සිදු කිරීමට මැළිකමක්‌ දක්‌වන බව වෙනත් රටවල සිදු කර ඇති අධ්‍යයනවලින් ද පෙනී ගොස්‌ ඇති දෙයකි. එයට හේතුව එළිමහනේ සිදු කරන පාඩම් කටයුතු මගින් ළමයින් තුළ අධි-කලබලකාරිත්වයක්‌ හෝ අධික උත්තේජනයක්‌ (overexcite) හෝ ඇති වීම නිසා ඉන් පසුව පන්ති කාමරයේ කටයුතුවලට ඔවුනට සිය මනස යොමු කිරීම අපහසු විය හැකි නිසා ය.

එහෙත් මේ පර්යේෂණ කණ්‌ඩායමේ අධ්‍යයන ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ ළමයින් පාසලේ කටයුතුවලට වඩාත් සම්බන්ධ වී ඇත්තේ එළිමහන් පාඩමකින් පසු ව බවයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි එවැනි පාඩමකින් පසුව ළමයින් අධික ලෙස කලබලකාරී බවට පත් වීමක්‌ හෝ අවධානය නොමැති බවක්‌ නො දැක්‌වූ අතර, ඔවුන් ස්‌වකීය පාසල් කටයුතුවලට වඩාත් සම්බන්ධ වීම හා අධික අවධානයක්‌ ඇති වීම දැකිය හැකි විය.

මේ අනුව එළිමහනේ සිදු කරනු ලබන පාඩම් කටයුතු සිසුන් අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වීම (engage) වැඩිදියුණු කිරීම සඳහා යෝග්‍ය අඩු වියදම් හා පහසු ක්‍රමවේදයක්‌ විය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා තිබෙයි. මෙය සලකා බැලිය යුතු කරුණක්‌ වන්නේ ඒ නිසා ය. එසේ ම ඔවුන් විධිමත් අධ්‍යාපනයේ දී සොබාදහම පදනම් කරගත් එළිමහන් පාඩම්වලට තවදුරටත් වැඩි අවස්‌ථාවක්‌ ලබා දිය යුතු බව ද දක්‌වා තිබෙයි. එය ප්‍රවර්ධනය කළ යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ තත්ත්වය සැම රටකට ම, සැම පාසලකට ම එක සේ සාධාරණ යෑයි කීමට අප හදිසි විය යුතු නැත. පාසලේ පිහිටීම හා වටපිටාව මෙන්ම එය එළිමහන් පාඩමක්‌ සිදු කිරීමට සුදුසු ස්‌ථානයක්‌ පවතින්නේ ද යන්න වැදගත් කරුණකි. ආසන්න ප්‍රදේශයේ ස්‌වාභාවික දර්ශනයක්‌ නොමැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් පවතී. එසේ ම මෙවැනි එළිමහන් ක්‍රියාකාරකමක්‌ පැවැත්වීම සඳහා පාසල තුළ ද අවශ්‍ය වටපිටාවක්‌ තිබිය යුතු අතර, යෝග්‍ය කාලයක්‌ ද තිබිය යුතු ය. ඇතැම් විට මෙවැනි ක්‍රියාකාරකම් සමහර නිවර්තන කලාපීය රටවලට නො ගැළපෙනු ඇතැයි සිතීමට ද ඉඩක්‌ තිබෙයි. ඒ පරිසරයේ පවත්නා අධික උෂ්ණත්වය නිසා ය. අප රට වැනි රටක නම් මදුරුවන් දෂ්ටනය වැනි අතුරු විපාක ද වළක්‌වාගැනීමට විධිවිධාන යෙදීමට සිදු වේ. කෙසේ වෙතත්, දවසේ ඒ සඳහා නියමිත කාලය සකස්‌ කරගැනීම ඇතුළු අදාළ පියවර ගැනීමෙන් එම තත්ත්ව වෙනස්‌ කළ හැකි ය. එසේ ම සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාකාරකම් පවත්වනුයේ ප්‍රාථමික පංතිවලට ය. එහෙත් වඩා වැඩුණු සිසුන් වෙත ද මෙවැනි කටයුතුවලට සම්බන්ධ වීමට හැකියාව තිබෙයි. එය ද සලකා බැලිය යුතු කරුණකි.

මූලාශ්‍රය: Frontiers in Psychology, DOI:10.3389/fpsyg.2017.02253

http://www.vidusara.com/2018/01/24/feature1.html

No comments:

Post a Comment