Thursday, August 3, 2023

ඇතුන් හා කුමරියක නිසා ඇති වූ ඓතිහාසික සංග්‍රාමය

The Historical Invasion Caused by Tuskers and a Princess

Historical Notes - ඉතිහාස සටහන් - 2

ධනේෂ් විසුම්පෙරුම

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු ගිලන් වීමෙන් පසු ආපසු එරටට ගෙන යෑම සමඟ ඇති වූ තත්ත්වය අලි-මිනිස් සම්බන්ධතාවය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ අන්තර් ජාතික සම්බන්ධතා ගැන ද සාකච්ඡාවක් ඇති කළේය.

අතීතයේ පටන්ම අලි ඇතුන් අපේ රට තුළ වැදගත් වූයේ හා අලි මිනිස් සම්බන්ධතාවය ප්‍රබල වූයේ [1] අලින්ගෙන් ලබාගත් විවිධ ප්‍රයෝජන නිසාය. ඒ අතර,  යුද, ප්‍රවාහන හා වෙනත් බර වැඩ සඳහා යොදාගැනීම දැකිය හැකි අතර, ආගමික හා සංස්කෘතික ප්‍රයෝජන ද කැපී පෙනේ [2]. මේ නිසා අලි ඇතුන් වෙළෙඳ භාණ්ඩයක් ලෙස ද වැදගත් විය..  

ශ්‍රී ලංකාවේ අලින් අතර ඇතුන් හමු වන්නේ අඩු ප්‍රතිශතයකිනි. අතීතයේ සිට විදේශවලින් ඇතුන් ත්‍යාග ලෙස හා මිල දී ගැනීම සිදු කර ඇත්තේ මේ නිසා විය හැකිය. මේ සඳහා සාධක මහාවංසයෙහි ඇති අතර, ඇතුන් ලබා දීම  නැවැත්වීම හා මිල දී ගැනීමට බාධා කිරීම නිසා මෙරට හමුදා විසින් ආසන්න රාජ්‍යයක් ආක්‍රමණය කළ අවස්ථාවක් ද ඉතිහාසයේ සඳහන් වේ. මහාවංසයේ 76 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ විස්තර ඇත[3,4]. එහි 10 සිට 35 දක්වා ගාථාවල රාමඤ්ඤ රජු විසින් සිදු කළ මෙම ආක්‍රමණයට හේතු වූ කටයුතු ද, 36 සිට 75 දක්වා ගාථාවල රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීම පිළිබඳව ද සඳහන් වේ. මෙම ලිපිය සඳහා මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ මහාවංස විස්තරයයි.

මේ සිදුවීම සිදුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේය. මහාවංසය දක්වන ආකාරයට ඒ රජුගේ රාජප්‍රාප්තියෙන් 11/12 රාජවර්ෂයේ දී මෙය සිදු වූ බවයි. මේ අනුව මේ ආක්‍රමණය පොදුවර්ෂ 1164 හෝ 1165 දී සිදු වී ඇති බව සී. ඩබ්ලිව්. නිකලස් සඳහන් කරයි[5]. එහෙත්, සිරිමල් රණවැල්ල පවසන්නේ එය 1168 හෝ 1169 වර්ෂයේ සිදු වී ඇති බවයි. ඒ සඳහා සාධකය ලෙස ඔහු යොදාගන්නේ මේ ආක්‍රමණය ගැන සිදු වූයේ පරාක්‍රමබාහු රජු පොලොන්නරුවේ රජ පැමිණ දොලොස්වන වර්ෂයේ දී ලෙස දෙවනගල ගිරිලිපියේ සඳහන් වන නිසාය[6]. කෙසේ වෙතත්, දෙවනගල ලිපිය පිළිබඳ සිය ලිපියේ දී පරණවිතාන ද මේ ආක්‍රමණය 1164 හෝ 1165 දී සිදුව ඇති බව සඳහන් කරන්නේ පරක්‍රමබාහු රජ පැමිණි වර්ෂය 1153 ලෙස ගණන් ගැනීමෙනි[7]. 

ආක්‍රමණයට හේතුව

ලංකාව හා රාමඤ්ඤ හෙවත් අරමණ රට (පහළ බුරුමයේ පේගු රට) අතර ඇති සමාන ආගමික සමනාතාවය නිසා භේද නොමැතිව සුහද සම්බන්ධතා පැවැත්වූ අතර, රටවල් දෙකේම රජවරුන් අතර විශ්වාසයක් විය. මේ නිසා එකිනෙකා අතර වටිනා පඬුරු තෑගි භෝග හුවමාරු කරමින් බොහෝ කාලයක් තිස්සේ අඛණ්ඩව සමගිව සම්බන්ධතා පවත්වාගෙන පැමිණ තිබේ.  

එහෙත් එවකට සිටි රාමඤ්ඤ රජු වූ අලවුංසිතු රජුගේ කාලයේ මේ සිරිත වෙනස් වූ ආකාරය මහාවංස සිංහල පරිවර්තනයේ මෙසේ සඳහන් වේ. "මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයාගේ දුතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී." ඒ අනුව ලංකාවෙන් රාමඤ්ඤ දේශයට තෑගිභෝග රැගෙන යන නැවකට එක් ඇතෙකු බැගින් තෑගි දෙන පුරාණ සිරිතක් රාමඤ්ඤ රජු විසින් පවත්වා ඇති අතර ඒ ඇත් පඬුර දීම ඒ රජු විසින් නවත්වා ඇත. 

එසේම විදේශවලට යැවීම සදහා ඇතුන් විකිණීම සිදුකරන වෙළෙන්දෝ ඒ රටේ සිටියහ. එහෙත් මේ රජු ""ඇත්තු නොවිකිණියමය"යි සම්මතයකුදු කරවී" යනුවෙන් ඇතුන් විකිණීම රජුගේ ඒකාධිකාරයක් කර තිබේ. එසේම  එහෙත් ඇතෙකු විකිණූ මිල මෙන් දෙතුන් ගුණයක් මිලට විකිණිය යුතු යැයි මිල ඉහළ නංවා ඇත. මේ බව මහාවංසයේ දැක්වෙන්නේ "යම් ඇත්කෙනෙක් වනාහී රිදී තිකල් සියයට හෝ වැලි දහයට හෝ පූර්වයෙහි එහි විකුණනු ලබන්නෝ "සහස්‍රද්වයට හෝ සහසත්‍රවයට හෝ වික්ක යුත්තාහයි"" මිල නියම කර තිබේ (ගයිගර් මේ කාසි නොදන්නා කාසියක් බව පවසයි. නික්කල් ලෙස සඳහන් කරයි).

එසේම මෙරටින් ස්වර්ණමය හසුන් රැගෙන ඒ රටට ගිය දූත පිරිසක් "කාම්බෝජ රට" යන්නේ යැයි ව්‍යාජ චෝදනාවන් නගා අනිසි අයුරින් සලකා ඇති අතර, ඔවුන්ගේ ධනය, මිල දී ගත් ඇතුන් හා නැව් ආදිය පැහැර ගෙන ඇත්තේ රාමඤ්ඤ දේශයෙන් මෙරටට එවූ දූතයෙකුට ලංකාවේ රජු විසින් කරන ලද උසස් සංග්‍රහ පිළිබඳව දැන දැනමය. මෙරටින් ගිය දූත පිරිස මුලින් සිරගෙවල දමා ඇති බව ද සඳහන් වේ. එසේම මෙරටින් ගිය දූත පිරිසක් කැඳවා යළිත් මෙරටින් දූතයන් එරටට නොඑවිය යුතු බවත්, එවුවහොත් ඔවුන් මරා දැමීමට වුව ද හැකි බවත් පවසා එසේ වුවහොත් ඒ රට අත වරදක් නැති බවක් සඳහන් ගිවිසුමකට අත්සන් තබන්නට පවසා තිබේ. තවත් වරක් මෙරට වැසියන් සිදුරු සහිත නැවකින් මුහුදට යවා තිබේ. යළිත් වරක් ඇතුන් මිල දී ගැනීමට මෙරට රජු විසින් යවන ලද දූතයින්ගේ පඬුරු හා භාණ්ඩ පිළිගෙන ඇතුන් දහහතරක් හා රිදියෙන් මුදලක් දීමට පොරොන්දු වී ඇතුන් හා මුදල් නොදී දූත පිරිස ආපසු එවා තිබේ. අවසානයේ දී මෙරටින් කාම්බෝජය බලා යවන ලද රජ කුමරියක ද පැහැරගෙන තිබේ.


ආක්‍රමණය

මේ තත්ත්වය නිසා පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ රජු අල්වාගැනීම හෝ මැරීම වහා කළ යුතු බව පවසා සටන් සඳහා සූදානම් විය. ඒ සඳහා මාස පහක කාලයක් ගත කර නැව් තනා තිබේ. නැව් මෙන්ම රැගෙන ගිය ආයුධ සන්නාහ ආදිය ද මහාවංසයේ  විත්ර කර ඇත්තේ මෙසේය. 

"නොයෙන් සියගණනින් නැව් විශේෂයෝ වහා සම්පාදනය කටයුත්තාහ"යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන්ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ (ලක්දිව) හාත්පස මුහුදුබට දේශයෝ එක් කර්මාන්ත ශාලාවක් බඳුවූහ. පසුව පස් මසෙකින් ඒ සියලු නැව්කම් නිමවා දළුවක් නම් කො‌ට යුහුව රැස් කරවී." 

ආක්‍රමණය සඳහා රගෙන ගිය දෑ මෙසේ සඳහන් වේ.

  1. අවුරුද්දකට ප්‍රමාණයත් තරම් සහල් සහ වෙනත් ද්‍රව්‍ය මාර්ගෝපකරණ
  2. සන්නාහ ආදි නොයෙක් යුද්ධෝපකරණ
  3. තියුණු අගිස් ඇති හී ආදිය වළකනු පිණිස අයෝමය සන්නාහ 
  4. ගෝණ සමින් කළ සන්නාහ
  5. ගෝන අංවල බහාලන ලද විවිධ වර්ගවල බෙහෙත් වර්ග (විෂ යෙදූ ඊතලවලින් ආරක්ෂා වීමට හා විෂ සහිත ජලයෙන් සුවපත් කිරීමට ද)
  6. ඊහිස් ඉවත් කිරීම සඳහා යොදාගත යුතු යකඩින් කළ උපකරණ

ඉහත අංක 3 හා 4 එක්ව ගෙන ගෙයිගර් පවසා ඇත්තේ ගෝකණ්නක නම් තියුණු හිස් ඇති ඊතළ ලෙසය. ඒවා ඇතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා බව සඳහන් වේ.

මේ සමඟ තියුණු බුද්ධි ඇති වෙඳුන් ද, සප්පායකර ස්ත්‍රීන් ද රාමඤ්ඤ දේශය වෙත යැවූ බව සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මේ මුහුදු ගමන පහසු එකක් වී නැත. ඒ ඇතැම් නැව් මුහුදේ දීම විනාශ වී ඇති අතර, තවත් නැව් වෙනත් රටකට සෙන්දු වී ඇත. 

එහෙත් කිර්ති නගරගිරි සෙනෙවි ප්‍රධාන කොටගත් නැව් පහක සෙබළුන් රාමඤ්ඤ දේශයේ කුසුමිතොටට ගොඩ බැස ඇති අතර, ඒ රට හමුදා වනසා, ගම් ගිනිලමින් රාජ්‍යයෙන් අඩක් විනාශ කර තිබේ. එරට පිහිටි පප්ඵාළ නම් තොටට ගොඩබට ආදිත්‍ය ද්‍රවිඪාධිකාරී නම් සෙනෙවියාගේ සේනාව ද එරටට මහත් විනාශයක් සිදු කර තිබේ. මහාවංසයට අනුව, එරට රජු උක්කම පුරයේ දී මරණයට පත් කර තිබේ. ඒ රට ජයගෙන ලංකාධීශ්වරයාගේ ආඥායෙන් එහි අණබෙර කර තිබේ. රාමඤ්ඤ රට වැසියෝ එක්ව සාකච්ඡා කර, "මෙතැන් පටන් අවුරුදු පතා අප අතින් කැමති තෙක් සුංකම් පිණිස ඇත්තු ගෙන යා යුත්තාහ." යනා දී වශයෙන් හසුන්පත් ‌ගත් දූතයන් ලංකාවේ භික්ෂූන් වෙත එවා ඇත. සංඝයා වහන්සේලාගේ බසින් මෘදු බවට පත් පරාක්‍රමබාහු රජු හා සමථයකට පැමිණීමට එරට වැසියන්ට හැකියාව ලැබී තිබේ.  එතැන් සිට අවුරුදු පතා බොහෝ ඇතුන් මෙරටට එවා ඇති බව ද මහාවංසයේ සඳහන්ය.

කෙසේ වෙතත්, මේ රජු මරණයට පත් වූ බවක් එරට මූලාශ්‍රයවල සඳහන් නොවන අතර, ඔහුගේ මරණය සිදුව ඇත්තේ පසුව වඩා වෙනස් අයුරකිනි. ඊට පෙර ඒ අලවුංසිතු රජුම මහා පරාක්‍රමබාහු රජු සමඟ සමථයකට පැමිණි බව එරට මූලාශ්‍රයවල සඳහන් බව පැවසේ. බුරුම රජු මෙරට දූතයන්ට හා වෙළෙඳුන්ට පෙර ලබා දී තිබූ වරප්‍රසාද ලබා දීමට  එකඟ වී තිබේ. [5]

ආක්‍රමණය තහවුරු කරන සෙල්ලිපිය

මේ ආක්‍රමණය පිළිබඳව තහවුරු කරන ප්‍රබල සමකාලීන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නොදුරුව පිහිටා ඇති දෙවනගල විහාර භූමියෙන් හමුවන ගිරි ලිපියකි. එම සෙල්ලිපිය මගින් අරමණ දේශයේ භුවනදත්ත රජුට එරෙහිව කළ ආක්‍රමණය පිළිබඳව හා කිත්නුවරගල් සෙනවියා ගැන සඳහන් කරමින් ඔහුට ලබාදුන් පමුනු දීමනාවක් ගැන සඳහන් කරයි. [6, 7] එහි රාමඤ්ඤ ‌රට ආක්‍රමණය පිළිබඳ සඳහන් වන්නේ මෙවැන්නකි.

"... ලංකාජීපයෙහි එකචචත්‍ර කොට පුල[ස්තිපුරව]රෙහි රජ ශ්‍රී වළන්ද සමාහි දොළොස්වනු පොසොනැ පුර දස වකැ අරමණ[ධිප]ති භුවනාදිත්ත නම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නො කරම්හ යී කී හෙයින් නැවු දහස්ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යව නුවරක් පැහැරැ පස්මසක් ර .. .. .. .. [ගත්] කලැ අරමණයන් සන්තාන කරම්හ යි දූතයන් එවූ හෙයින්..." [7] 

මේ ලිපියේ මුල දී සඳහන් කර ඇති ආකරයට ම මේ ආක්‍රමණය සිදු වූ දිනය පිළිබඳව සහ රාමඤ්ඤ‌ දේශයේ රජුගේ නම "භුවනාදිත්ත" ලෙස අනාවරණය කර ඇත්තේ මේ සෙල්ලිපිය මගිනි. මෙය විරුද නාමයක් විය හැකි බව පරණවිතාන දක්වා තිබේ [7].

දෙවනගල හමුවන ගිරි ලිපි අතරින් මේ ගිරි ලිපිය අපට වැදගත් වන්නේ අපේ රටේ ඓතිහාසික වංසකතාවේ සඳහන් පුවතක් තහවුරු කිරීමට උපකාර වන නිසා පමණක් නොවේ. ඒ සිදුවීම සම්බන්ධව අරමණ හෙවත් රාමඤ්ඤ රටේ මූලාශ්‍ර බොහෝ දුරට නිහඬ වන නිසාය.

  

පාදක සටහන්

[1] Wisumperuma, Dhanesh, 2004, Human-elephant relationships in Sri Lanka: An historical and archaeological perspective, in Endangered elephants, past present and future, Proceedings of the Symposium on Human Elephant Relationships and Conflicts, J. Jayawardene (ed.), pp. 6-12

[2] Wisumperuma, Dhanesh, 2012, Religious Use of Elephants in Ancient Sri Lanka, Gajah, Vol.37,pp.16-21 (සබැඳි 1 හෝ සබැඳි 2 තුළින් )

[3] සුමංගල හිමි, හික්කඩුවේ හා බටුවන්තුඩාවේ ඩී. ඒ. ද සිල්වා (පරි.), 1912, මහාවංසය දෙවන භාගය, සිංහල පරිවර්තනය, (නැවත මුද්‍රණය 1996)

[4] Geiger, W. (Tr) 1953, Culavamsa, Part II. (1930 මුද්‍රණය සඳහා සබැඳිය)

[5] නිකලස්, සී.ඩබ්ලිව්, 1972, I පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය, ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය I කාණ්ඩය,  II භාගය, 438-461පිටු (බුරුම රට ආක්‍රමණය කිරීම, පි. 449-451)

[6] Ranawella, G.S., 2007, Inscriptions of Ceylon, Vol. VI, pp. 42-45

[7] Paranavitana, S. 1933, Devanagala Rock Inscription, of Parakramabahu I, in Ehigraphia Zeylanica, Vol III,  pp.312-325 (සම්පූර්ණ වෙළුම සඳහා සබැඳිය)

No comments:

Post a Comment