Thursday, April 22, 2021

"මිහිතල දිනය" හා "මිහිතල මාතා දිනය"

ධනේෂ් විසුම්පෙරුම


22.04.2021


අද, එනම් අප්‍රේල් මස 22 වැනි දිනය "මිහිතල දිනය" බව දැන් ප්‍රකට කරුණකි. එහෙත් එය "අන්තර්ජාතික මිහිතල මාතා දිනය" යනුවෙන් ද හැඳින්වෙන බව දන්නේ අඩු පිරිසකි.

මේ දෙක එකක් ද? නැත. මේ පළමුව සඳහන් දිනය ඇමරිකාවේ පැවැති පාරිසරික අර්බුදය නිසා උපන් ජනතා විරෝධතාවක් පැවති 1970 වසරේ දිනයක් සැමරීමකි. (එම සැමරුම 1990න් පසු ජගත් මට්ටමට ගියේය). අනෙක ඊට බොහෝ කාලයකට පසුව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කළ දිනයකි.


මිහිතල දිනය (Earth Day)

1960 ගණන් වන විට ඇමරිකාවේ පැවති මහා පරිමාණ පරිසර දූෂණය පිළිබඳව එරට ජනතාවගේ අවධානය යොමු විය. එයට පිළියම් සෙවීමට රජයට බලකරමින් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහයෝගය පළ කරමින් එරට ජනතාව විසින් 1970 අප්‍රෙේල් මස 22 වැනි දින ඇමරිකාව පුරා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඊට මිලියන විස්සක පමණ ජනතාවක් සහභාගි වී ඇත. ඒ සඳහා මුල් වූ එවකට සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් (1916-2005) මේ දිනයේ ආරම්භකයා ලෙස සැලකේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂාව සඳහා විවිධ කටයුතු ආරම්භ විය. එමෙන්ම එය 1970 දශකයේ දී ජගත් මට්ටමෙන් ඇති වු පරිසරය පිළිබඳ සාකච්ඡාවට ද බලපෑමක් කළ බැවින් මේ දිනය නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙයි.

පළමු මිහිතල දිනයේ සම්බන්ධීකාරක වූ ඩෙනිස් හේයස් (1944-) එහි විසිවන සංවත්සරය හා සමගාමීව 1990 වර්ෂයේදී ජගත් සැමරුමක් බවට පත් විය. ඒ වර්ෂයේ දී රටවල් 141ක් පුරා මේ දිනය සමරන ලදි. 2020ට යෙදුණු මිහිතල දිනයේ පනස්වන සංවත්සරයට ලෝකය පුරා මිලියන සියයක පමණ ජනතාවක් සම්බන්ධ වී ඇත.

1990 වර්ෂයේ දී ජගත් මට්ටමට ගිය මිහිතල දින සැමරුම ශ්‍රී ලංකාවේ ද පවත්වන ලදි. අපේ රටේ සංවිධානය කළ වැඩසටහන් සම්බන්ධව ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ පුවත්පත වූ 'මිහිකත' 9 කලාපයේ පළ වූ පුවතක් මෙසේය.




එදා මිහිතල දිනයේ සිට පරිසර දිනය (ජුනි 5) දක්වා මෙරට තුළ සිදු කළ කටයුතු ගැන 'මිහිකත' 10 කලාපයේ විස්තර පළ විය. (අපේ රටේ නූතන පරිසර ව්‍යාපාරයේ ව්‍යාප්තිය සිදුවන්නේ ද අසුව දශකයේ පමණය.)




එහි සඳහන් පරිදි 1990 අප්‍රේල් 22 දින පැවති කටයුතු සමහරක් මෙසේය.










කෙසේ වෙතත් මිහිතල දිනය යෙදෙන කාලය ලංකාවේ උත්සව සමයක් වීම නිසා මෙන්ම පාසල් නිවාඩු සමයක් වීම නිසාත් මේ දිනය සැමරීම දිගු කාලීනව සාර්ථක නොවීය. එහෙත් වරින්වර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා ඇත.

මිහිතල දිනය සඳහා තේමා නම් කිරීම හා ජගත් මට්ටමින් සම්බන්ධීකරණය කිරීම 'මිහිතල දිනය ජාලය' (Earth Day Network) විසින් සිදුකරනු ලැබේ. එහි වෙබ් අඩවිය www.earthday.org වේ.



අන්තර්ජාතික මිහිතල මාතා දිනය (International Mother Earth Day)



එඑතෙක් ස්වාධීනව සිදුකරන ලද මිහිතල දින සමරුවට අමතරව 'අන්තර්ජාතික මිහිතල මාතා දිනය' ලෙස අප්‍රේල් මස 22 දිනය නම් කරනු ලබන්නේ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මෙසේය.


ඒ අනුව මේ දිනය සැමරීමේ දී ඒ වන විට පැවති තිරසර සංවර්ධනය හා සම්බන්ධ වැඩසටහන් හා  සැලසුම් ආදිය  යළිත් පිළිගැනීම හා අනුමත කරන බව යළිත් සඳහන් වේ. මිනිසුන්ගේ ද නිවස වන මිහිතලය හා සොබාදාහම සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවැත්මේ ඇති වැදගත්කම ද කියැවේ. 'මිහිතල මාතාව' ලෙස සිදුකරන හැඳින්වීම තුළින්ම මිහිතලය, මිනිසුන් හා සෙසු ජීවීන් අතර ඇති අන්‍යොන්‍ය උපජීවනය නිරූපණය යන බව මේ යෝජනාවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත. 

(මෙම යෝජනාව PDF පිටපතක් ලෙස මෙතැනින් බාගන්න - http://undocs.org/A/RES/63/278)

එසේ සම්මත වූ මිහිතල මාතා දිනය 2010 වර්ෂයේ සිට සමරනු ලැබේ.


එබැවින් මේ දිනය වෙනුවෙන් 1970 සිට සමරනු ලබන ඇමරිකානු (පසුව ජගත් මට්ටමට ගිය) දිනයක් ද, 2009 දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ අන්තර්ජාතික දිනයක් ද ඇති බව පෙනෙයි. 

"මිහිතල දින" සැමරුම නිසා "අන්තර්ජාතික මිහිතල මාතා දින සැමරුම" යටපත් වී ඇති බවක් ද පෙනේ. එහෙත්  මේ දින දෙකේම අරමුණ වන්නේ මිහිතලය ආරක්ෂා කිරීමය; ඒ වෙනුවෙන් හඬනැගීමය; ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. එබැවින් ඒ දිනවල ඉතිහාසය ගැන අවබෝධයකින් යුක්තව පරිසරය වෙනුවෙන් මේ දිනය සමරමු.

22.04.2021

No comments:

Post a Comment