Tuesday, June 27, 2017

අධික වේගයට හේතුව සෙවීම (බස් කථා 3)

මේ කලකට පෙර සිදු වූ සිදුවීමකි. එදින සවස 3ට පමණ මිත‍්‍රයෙකු සමඟ මම පුරහල ප‍්‍රදේශයේ සිට 138 බසයක නැගී නුගේගොඩ දෙසට පැමිණෙමින් සිටියෙමි. අප පැමිණියේ රුක්මල්ගම බසයකය. ආසන ගණනටවත් සෙනඟ නොසිටි අතර අප අසුන් ගෙන සිටියේ පසුපස දොර අසළ පසුපසම අසුනේය.

ගාටා ගාටා ටිකදුරක් ගිය බසය හදිසියේම අධික වේගයෙන් ධාවනය වන්නට විය. පාරේ ඉන්නා සෙනග ගන්නවත් උනන්දුවක් නොමැති බවක් දිස්විය. වෙනත් බසයක් සමග රේස් එකක්වත් නොමැතිව එතරම් වේගයකින් රුක්මල්ගම බසයක් පැමිණීම නිතර 138 පාරේ ගමන් කරන මට පුදුමයක් විය. මගේ මිත‍්‍රයාටද එය එසේම විය.

මගේ මිත්‍රයා අපට මදක් දුරින් සිටි කොන්දොස්තරට අභිනයෙන් කතා කළේය. කොන්දොස්තරද අප අසළට පැමිණියේය.

"මල්ලි අරයා දවල්ට කාල නැද්ද?" මගේ මිත‍්‍රයා කොන්දොස්තරගෙන් ඇසුවේය.

"කවුද?" එ් කොන්දොස්තරගේ පැනයයි.

"ඩ‍්‍රැයිවර් මල්ලි" මගේ මිත‍්‍රයා ඇසුවේය

වික්ෂිප්ත වූ කොන්දොස්තර "එ් ඇයි?" කියා ඇසුවේය.

"නෑ මෙච්චර හයියෙන් යන හින්ද මං හිතුව තවම දවල්ට කාල නැද්ද කියලා" කියා අපේ මිත‍්‍රයා ඇසුවේය.

කොන්දොස්තර මොකුත්ම කීවේ නැත. බසයද අප බසින තැනට පැමිණ තිබිණි.

ප.ලි. - හයිලෙවල් පාරේ 158 බස් ධාවනය වන 'සාමාන්‍ය වේගයේ' ආරෝහණ පිළිවෙලට ගතහොත් මෙසේය. ඒ ඒ මාර්ගයේ ධාවනය වන බහුතර බස්වල වේගය අනුව මෙය ගණන් බලා අැත. එහෙත් සාමාන්‍ය වේගයට වඩා සෙමින් යන මෙන්ම වේගයෙන් ධාවනය කරන රියදුරන් සිටීමට ඉඩ තිබේ. එ්වාට ඉහත කතාවේ කී අාකාරයේ කරුණු හේතු විය හැකිය.

මත්තෙගොඩ < රුක්මල්ගම < අතුරුගිරිය < මහරගම < කොට්ටාව < හෝමාගම

No comments:

Post a Comment