2016 අවුරුද්දේ දවසක මා ගමන් කළ 138 බසයට විජේරාම හන්දියෙන් තරුණියක් නැගුනාය. ඇය හිඳ ගත්තේ මගේ අසුනට ඉදිරි අසුනේය. ටික වේලාවකින් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. හෙමින් ධාවනය වූ බසයේ ශබ්දය අඩු වූ අතර, ඇය ශබ්ද නගා කතා කළ නිසා, එ් සංවාදයෙන් අඩක් හෙවත් තරුණිය කී දේ මට ඇසිනි. එ් අනුව සාරාංශය මෙසේය.
අැය මෑතදී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය හමාර කළ සිසුවියකි. ඇයට කතා කළේ සරසවි සිසුවකු බව කතා කළ දේ අනුව පැහැදිලි වූ අතර, ඔහු ඇයට වඩා පහළ වසරක සිසුවකු බව මල්ලී යනුවෙන් ආමන්ත‍්‍රණය කළ බැවින් පෙනිනි.
ටික වේලාවකින් මාතෘකාව වෙනස් විය. ඇගේ කතාවට අනුව පෙනී ගියේ කතා කළ සිසුවා පෙම්වතියක නොමැති වීමෙන් පීඩා විඳින්නකු බවයි. ඇය එම සිසුවාට උපදෙස් දෙමින් සරසවියේදී ඇති කරගන්නා පෙම් සම්බන්ධතා ගැන අපූරු කතාවක් කීවාය.
"දැන් කාලෙ කැම්පස් එක අැතුළෙ ඇති කර ගන්නා අෆෙයාර් හුඟක් හරියන්නේ නැහැ. එ්ක රිසර්ච්වලිනුත් පෙන්නල දීල තියන දෙයක්."
මට ගැටලු රැසක් ඇති විය - ඇත්තෙන්ම සරසවි ප්‍රේමය අසාර්ථක බව අලුත් පර්යේෂණ මගින් සොයාගත් දෙයක්ද? 'දැන් කාලෙ' යනුවෙන් සඳහන් කළේ අතීතයේ සරසවි තුළ ඇති වූ සම්බන්ධතා සියල්ල හෝ වැඩි ප‍්‍රමාණයක් සාර්ථකවී අැති නිසාද? බිඳවැටුණු සරසවි ප්‍රේමය නිසාම ලියැවුණ විරහ ගීත කෙතරම් තිබේද? මෙයාලා එ්වා අසා නොමැතිද?
එසේම පසුව මට තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. එ්, අපේ රටේ නූතන සරසවි සිසු සිසුවියන් මෙවැනි කරුණු ගැන තීරණ ගන්නේ මෙතරම් විද්‍යාත්මක ක්‍රමවලටද? යන්නය. එ් පැනය විසඳුණේ පසුගියදාක සරසවි ප්‍රේමය නිසා කියන තවත් මරණයක් ගැන අැසුණු පසුවය.
අනෙක් බස් කථා(ව) මෙතැනින් කියවන්න.
No comments:
Post a Comment