Saturday, May 27, 2017

ලූම්බිණියටත් වායු දූෂණය

ධනේෂ් විසුම්පෙරුම 

 

විදුසර, 24.05.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2017/05/24/feature2.html





සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු ස්‌ථානය වන නේපාලයේ පිහිටා ඇති ලුම්බිණිය ලෝකය පුරා බෞද්ධයන් ගේ වන්දනාවට ලක්‌ ව ඇති ස්‌ථානයකි. 1997 වර්ෂයේ දී යුනෙස්‌කෝ සංවිධානය විසින් ලුම්බිණිය ලෝක උරුමයක්‌ සේ ප්‍රකාශයට පත් කර තිබේ. මේ නිසා වන්දනාකරුවන් මෙන්ම සංචාරකයන් ද විශාල ලෙසින් පැමිණෙන ස්‌ථානයක්‌ ලෙසට සැලකෙන වැදගත් පුරාවිද්‍යාත්මක ස්‌ථානයකි. කෙසේ වෙතත් ලුම්බිණියේ ඇති පුරාවස්‌තුවලට මෙන්ම ඒ ප්‍රදේශයේ වාසය කරන ජනතාවට ද මෑතක සිට අලුත් තර්ජනයක්‌ ඇති වී තිබේ. ඒ ප්‍රදේශයේ පවත්නා අධික වායු දූෂණය නිසා ය.

මේ පිළිබඳව පසුගිය දා සාකච්ඡාවට ගැනුණේ නේපාලයේ විවිධ ස්‌ථානවල පිහිටා ඇති වායු දූෂක පිළිබඳ නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානවලින් ලබාගත් වායු දූෂක දත්තවලින් හෙළි වූ කරුණු අනුව ය. එම මිනුම් අනුව පසුගිය ජනවාරි මාසයේ දී ලුම්බිණිය ප්‍රදේශයේ වාතයේ අඩංගු සියුම් අංශුමය ද්‍රව්‍ය හෙවත් PM 2.5 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය අගය ඝන මීටරයට මයික්‍රෝග්‍රෑම් 173.035ක්‌ බව වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් ඉහළ වායු දූෂණයක්‌ ඇති කත්මන්දු නගරයේ වාතයේ මේ අගය 109.82ක්‌ වන අතර, ලුම්බිණියට නුදුරින් පිහිටා ඇති චිත්වාන් නගරයේ මේ අගය 113.32ක්‌ පමණ වීම නිසා ලුම්බිණියේ වායු දූෂණය ඉහළ බව පැහැදිලි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආරක්‌ෂිත යහපත් තත්ත්වයක්‌ යටතේ PM 2.5 කාණ්‌ඩයේ වායු දූෂක පැවතිය හැක්‌කේ ඝන මීටරයට මයික්‍රෝගෑම් 25කට අඩුවෙනි (පැය 24ක සාමාන්‍යය). එසේ ම නේපාලයේ පිළිගත් ප්‍රමිතිය අනුව එය 40ක්‌ පමණ විය යුතු ය. මේ අනුව ලුම්බිණියේ PM 2.5 අගය සැලකිය යුතු තරම් ඉහළ බව පැහැදිලි ය.

වායු දූෂණය ගැන අවධානය


ලුම්බිණිය අවට ප්‍රදේශයේ වායු දූෂණය සම්බන්ධව කලක පටන් අවධානය යොමු වී තිබිණි. ලෝක සංරක්‌ෂණය සංගමයේ නේපාල කාර්යාලය හා යුනෙස්‌කෝ සංවිධානය මගින් 2012 වර්ෂයේ දී පමණ ලුම්බිණිය අවට ප්‍රදේශයේ කාර්මික සංවර්ධනය නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධව අධ්‍යයනයක්‌ සිදු කර තිබේ. එහි දී හෙළි වූ පරිදි එම ප්‍රදේශයේ විවිධ කර්මාන්තශාලා 57ක්‌ පමණ පිහිටා ඇති බව හඳුනාගන්නා ලද අතර, එහි දී මහා පරිමාණ කර්මාන්තශාලා 15ක්‌ පමණ ද හඳුනාගෙන තිබේ. මේ අතරින් කර්මාන්ත ශාලා 11ක්‌ ම සිමෙන්ති කර්මාන්තශාලා වේ.

එම සිමෙන්ති කම්හල්වල නිෂ්පාදන ප්‍රමාණය අනුව දිනකට කාබන් මොනොක්‌සයිඩ්, කාබන් ඩයොක්‌සයිඩ්, සල්µර් ඩයොක්‌සයිඩ් වැනි වායු විමෝචන මෙටි්‍රක්‌ ටොන් 912.6ක්‌ පමණ සිදු වන බව ද එහි දී පෙන්වා දී ඇත. මේ කාබන් විමෝචනය කරන කර්මාන්ත ව්‍යාප්ත වීම විවිධ ආකාරයෙන් හානිකර විය හැකි බව එහි අනතුරු හගවා තිබිණි.

කෙසේ වෙතත් ලුම්බිණි ප්‍රදේශයේ වායු දූෂණයට බලපාන එක ම හේතුව ප්‍රදේශයේ නිපදවෙන වායු දූෂක පමණක්‌ නො වන බව ද පෙන්වා දී ඇත. ඒ අනුව දූෂිත වාතය එම ප්‍රදේශයේ සිර වීම හා දේශ සීමා මායිම් හරහා වායු දූෂක බහුල ඉන්දු-ගංගා තැනිතලා ප්‍රදේශයේ සිට පැමිණෙන වායු දූෂක ද මේ තත්ත්වයට හේතු වන බව නිවර්තන කාලගුණවිද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය (IITM) හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්‌ ව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. ශීත ඍතුවේ දී මේ තත්ත්වය ඇති වීම සඳහා උෂ්ණත්ව ප්‍රතිලෝම ක්‍රියාවලියක්‌ (temperature inversion) සිදු වීම හේතු වේ. එහි දී ඉහළින් පිහිටා ඇති උණුසුම් වායු ස්‌තරයක්‌ නිසා මේ ප්‍රදේශයේ පහළ සිට ඉහළට වාතය සංවහනය වීම වළකින අතර ඒ නිසා වායු දූෂක සිර වීමක්‌ සිදු වේ.

මේ හේතු නිසා අධික වායු දූෂණයක්‌ ඇති වන්නේ ප්‍රදේශයේ ශීත ඍතුව පවත්නා කාලයේ දී ය. වසරේ අනෙක්‌ කාලයේ දී ඇති වන වායු දූෂණය සඳහා හේතු වන්නේ අදාළ ප්‍රදේශයෙන් ම නිකුත් වන වායු දූෂක බව ද එහි දක්‌වා ඇත. 2013 වර්ෂයේ දී සිදු කර ඇති ඉහත අධ්‍යයනය අනුව ශීත ඍතුව ඇතුළත ලුම්බිණිය හා ඒ අවට ප්‍රදේශයේ වායු දූෂණය දැඩි ලෙස ඉහළ යයි. මෙහි දී වාර්තා වූ ආකාරයට PM 2.5 ප්‍රමාණයට වඩා අඩු සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 270 තරම් ප්‍රමාණයකට ඉහළ නගියි. එසේ ම වඩා විශාල PM 10 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 350 පමණ ප්‍රමාණයට ළගා වී ඇත. එය නේපාලයේ ජාතික ප්‍රමිති මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය ද විශාල ලෙස ඉක්‌මවා යැමකි.

අධ්‍යයන තවදුරටත්


මේ අතර ලුම්බිණියේ වායු දූෂණය සම්බන්ධව 2016 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවක අවධානය යොමු කරන ලද්දේ අප්‍රේල් සිට ජුනි දක්‌වා වන පූර්ව මෝසම් සමයේ දී එම ප්‍රදේශයේ වාතයේ ඇතුළත් විවිධ වායු දූෂක ගැන ය. එය සිදු කරන ලද්දේ 2013 දී ය. ඒ අනුව අංශුමය ද්‍රව්‍ය, කළු කාබන් අංශු (black carbon), කාබන් මොනොක්‌සයිඩ් හා ඕසෝන් පිළිබඳව එහි දී අධ්‍යයනය කර තිබේ. එය වායු දූෂණය නිරීක්‌ෂණය කිරීමේ වඩා පුළුල් ව්‍යDපෘතියක අංගයක්‌ සේ ක්‍රියාත්මක වූවකි. එහි දී හෙළි වූ ප්‍රකාශිත දත්ත අනුව පෙනෙන්නේ අදාළ පර්යේෂණයට ලක්‌ කරන ලද වායු දූෂක හතරේ ම අගයයන් සැලකිය යුතු තරම් ඉහළ මට්‌ටමක වූ බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත් PM10 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍යවල පැයක සාමාන්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 10.5ත් 604.0ත් අතර අගයක්‌ ගත් අතර, PM2.5 ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 6.1ත් 272.2ත් අතර අගයක්‌ ගෙන ඇත. එසේ ම කළු කාබන් අංශු ප්‍රමාණයේ සාන්ද්‍රණය ඝන මීටරයට මයික්‍රෝගෑම් 0.3ත් 30.0ත් අතර අගයක පැවතී තිබේ. කාබන් මොනොක්‌සයිඩ් සාන්ද්‍රණය පරිමාව අනුව බිලියනයකට කොටස්‌ (ppbv) 125.0 හා 1430.0 අතර ප්‍රමාණයක්‌ ගෙන ඇත. ඕසෝන් සාන්ද්‍රණය පරිමාව අනුව බිලියනයකට කොටස්‌ 1.0 හා 118.1 අතර ප්‍රමාණයක පැවතී තිබේ.

උක්‌ත පර්යේෂණයට සම්බන්ධ වූ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ ප්‍රමාණ සමාන වන්නේ දකුණු ආසියාවේ බරපතළ තත්ත්වයේ වායු දූෂණයක්‌ ඇති ස්‌ථානවලට ය. එසේ ම PM2.5 හා PM10 කාණ්‌ඩවල අංශුමය ද්‍රව්‍යවල පැය 24ක කාලයක සාමාන්‍ය අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත මට්‌ටම ඉක්‌මවා යැම නිතර දැකිය හැකි වී ඇත. එනම් නිදර්ශක ලබාගත් කාලයෙන් පිළිවෙළින් 94%ක්‌ හා 85%ක්‌ පමණ අවස්‌ථාවල දී අදාළ අගය ඉක්‌මවා අහිතකර මට්‌ටමට පැමිණ තිබේ. එසේ ම මේ සියලු වායු දූෂකවල සාන්ද්‍රණය දිනයේ උදෑසන හා සන්ධ්‍යා කාලවල දී ඉහළ මට්‌ටමකට පැමිණීම ද නිරීක්‌ෂණය වී ඇත.

මේ අධ්‍යයන සමයේ දී පැවැති වායු දූෂණ තත්ත්වය සඳහා බලපෑ හේතු හඳුනාගැනීමට ද මේ පර්යේෂකයන් උත්සාහ ගෙන ඇත. ඔවුන්ට අනුව ඒ සඳහා කෘෂි අපද්‍රව්‍ය දහනය කිරීම, ප්‍රදේශයේ ඇති වූ වනාන්තර ගිනි මෙන්ම ලුම්බිණි ප්‍රදේශයට පිටතින් වායු දූෂක ප්‍රවාහනය සඳහා බලපෑ කාලගුණ තත්ත්වය ද හේතු වී ඇත. ෆොසිල ඉන්ධන දහනය ද මීට සැලකිය යුතු තරම් බලපා තිබේ. පර්යේෂකයන් පවසන පරිදි කළු කාබන් ප්‍රමාණයෙන් අඩකට පමණ දායක වී ඇත්තේ ෆොසිල ඉන්ධන දහනය කිරීමයි. එසේ ම කාබන් මොනොක්‌සයිඩ් අතරින් වැඩි ප්‍රමාණයක්‌ පැමිණ ඇත්තේ ගංගා නදී නිම්නයේ සිට ය.

වායු දූෂණයේ බලපෑම්


මේ කරුණු අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළ ම මේ වායු දූෂණ තත්ත්වය ලුම්බිණියෙන් වාර්තා වන බවයි. වායු දූෂණය නිසා එහි ඇති පුරාවස්‌තුවලට මෙන්ම මිනිසුන්ට ද බලපෑම් ඇති විය හැකි ය. විශේෂයෙන් වායු දූෂණය නිසා විවිධ පුරාවස්‌තුවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාධක ද වාර්තා වී ඇත. මෙතෙක්‌ සිදු කර ඇති අධ්‍යයනයවලට අනුව අශෝක කුලුනේ විවිධ ද්‍රව්‍ය සියුම් කුඩු සේ තැන්පත් වීම දැකිය හැකි ය. මෙසේ තැන්පත් වී ඇත්තේ වායුගෝලයේ ඇති ජිප්සම් ලුණු, කැල්සයිට්‌, ඩොලමයිට්‌ හා මැග්නසයිට්‌ සිහින් කුඩු බව හෙළි වී තිබිණි. මේවා සිමෙන්ති කර්මාන්තයෙන් විමෝචනය වන අපද්‍රව්‍ය වේ. අනෙක්‌ අතට එහි ඇති සල්ෆර් ඩයොක්‌සයිඩ් වැනි වායු නිසා ඇති විය හැකි ආම්ලික වැසි හේතුවෙන් පුරාවස්‌තුවලට හානි සිදු විය හැකි ය.

මේ අතර ලුම්බිණියේ පවත්නා වායු දූෂණය එම ප්‍රදේශයේ වැසියන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයන් ගේ සෞඛ්‍ය තත්ත්වය සඳහා ද බලපෑමක්‌ ඇති කළ හැකි ය. ලුම්බිණිය නැරඹීමට හා වන්දනා කිරීමට යන පිරිස්‌ වෙතින් ද මේ වන විට වායු දූෂණය නිසා ඇති වන බලපෑම් වාර්තා වී ඇති බව සඳහන් වේ. විශේෂයෙන් ඇදුම වැනි තත්ත්ව ඇති වීම් හා ඒ නිසා ඇතැම් පිරිස්‌වලට ඔවුන් ලුම්බිණියේ ගත කරන කාලය කෙටි කිරීම සඳහා ද හේතු වූ අවස්‌ථා ඇති බව පසුගිය දා BBC පුවත් ඔස්‌සේ වාර්තා විය. එසේ ම අදාළ ප්‍රදේශවාසීන් අතර පෙනහළු රෝග ඉහළ ගොස්‌ ඇති බව ද ප්‍රදේශවාසීන් පවසා තිබිණි.

ලුම්බිණියේ ගැටලුව දීර්ඝකාලීන විසඳුමක්‌ සෙවිය යුතු කරුණක්‌ බව පැහැදිලි ය. මේ වන විට නේපාල රජය ඒ ගැන යම් යම් පියවර ගෙන තිබේ. වායු දූෂක නිරීක්‌ෂක මධ්‍යස්‌ථාන මගින් වායු දූෂණය නිරීක්‌ෂණය කිරීම වැනි පියවර මේ අතර වේ. එරට රජයේ නිලධාරියකු මේ සම්බන්ධව පසුගිය දා BBC පුවත් සේවයට පවසා තිබුණේ එම වායු දූෂකවල ප්‍රභව සොයාගැනීමට අපේක්‌ෂා කරන බවයි. ලුම්බිණි ආරක්‌ෂිත කලාපය (Lumbini Protected Zone) නමින් නම් කර ඇති ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කර ඇති නමුත් ඊට තදාසන්න ව ඇති ප්‍රදේශයේ කර්මාන්ත ව්‍යාප්ත වෙමින් ඇති බව සඳහන් ය. එසේ ම ඇතැම් කර්මාන්ත පිහිටා ඇත්තේ මේ ආරක්‌ෂිත කලාපය ඇතුළත ය. මේවා අදාළ ප්‍රදේශයට මෙන්ම එරටට වැදගත් කර්මාන්ත වන බැවින් ඒවායින් වන වායු දූෂණය පාලනය පහසු නො වනු ඇත. අනෙක්‌ අතට ගංගා නිම්නයේ සිට පැමිණෙන වායු දූෂකවලින් ඇති වන බලපෑම පාලනය ද වැදගත් ය. මේ අනුව ලුම්බිණියේ වායු දූෂණය පාලනය දීර්ඝකාලීන කටයුත්තක්‌ බව පෙනෙන්නට තිබේ.

http://www.vidusara.com/2017/05/24/feature2.html

No comments:

Post a Comment