Monday, May 8, 2017

අන්තර්ජාතික වෙළෙඳාමෙන් ඇති වන දේශසීමා ඉක්‌මවූ සෞඛ්‍ය ගැටලු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.05.2017, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2017/05/03/feature2.html




ලෝකයේ බොහෝ රටවල භාවිත කරන භාණ්‌ඩ අතර දියුණු වන රටවල්වල නිපදවන ලද විවිධ භාණ්‌ඩ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් ජංගම දුරකථන, සෙල්ලම් බඩු, ඇඳුම් ආදි විවිධ පාරිභෝගික භාණ්‌ඩ දැක්‌විය හැකි ය. මෙවැනි නිෂ්පාදන නිපදවන රටවල් අතර චීනය, අග්නිදිග ආසියානු රටවල් හා ඉන්දියාව වැනි රටවල් ඉදිරියෙන් සිටියි. එවැනි අපනයන අදාළ රටවල ආර්ථිකයේ වැදගත් තැනක්‌ ගනියි. (අනෙකක්‌ තබා ලෝකයේ බොහෝ රටවල ජාතික ධජ නිෂ්පාදනය කරන්නේ ද චීන සමාගම් ය). විශේෂයෙන් බටහිර යුරෝපය හා ඇමෙරිකාව වැනි දියුණු රටවල මෙවැනි භාණ්‌ඩ සඳහා ඉහළ ඉල්ලුමක්‌ තිබේ. මේ නිෂ්පාදනවල ඇති විශේෂත්වය වන්නේ ඒවායේ පාරිභෝගිකයන් සිටින රටවල නිපදවනු ලබන සමාන නිෂ්පාදනවලට වඩා මේ ආනයනික නිෂ්පාදන ලාභදායක වීම ය. ඒ නිසා පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමට මේ නිෂ්පාදනවලට හැකි ව ඇත.

කෙසේ වෙතත්, බටහිර දියුණු රටවල පරිහරණය සඳහා නිපදවනු ලබන භාණ්‌ඩ ආදිය නිෂ්පාදනය කිරීමේ දී නිකුත් වන වායු විමෝචන හේතුවෙන් ඒවා නිෂ්පාදනය කරනු ලබන රටවල ජනතාවට ඇති වන බලපෑම මෙතෙක්‌ අඩු අවධානයකට ලක්‌ වූවකි. මේ සම්බන්ධව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. එම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ එවැනි භාණ්‌ඩ නිෂ්පාදනය කිරීම නිසා ඇති වන වායු දූෂණය හේතුවෙන් ඒවා නිෂ්පාදනය කරන රටවල සැලකිය යුතු පිරිසක ගේ සෞඛ්‍යයට බලපෑමක්‌ ඇති වන බවයි.

එසේ ම ලෝකයේ එක්‌ කලාපයකින් නිකුත් වන විමෝචන මගින් තවත් කලාපයක ඇති වන මරණ ප්‍රමාණය ගැන ද මෙහි දී ගණනය කර තිබේ. මිනිසුන් තනාගෙන ඇති දේශසීමා වායු දූෂණයට අදාළ නො වන බව මේ අනුව පැහැදිලි ය. ඒ අනුව වායු දූෂණය ගෝලීය ගැටලුවකි.

අධ්‍යයන ක්‍රමවේදය


වායු දූෂණය සම්බන්ධව වැදගත් වන දූෂකයක්‌ ලෙස අංශුමය ද්‍රව්‍ය (particulate matter) හැඳින්විය හැකි ය. මේ නිසා ඇති වන මරණ ප්‍රමාණය එළිමහන් වායු දූෂණය (outdoor air pollution) නිසා ඇති වන මරණ ප්‍රමාණයෙන් 90%ක්‌ පමණ සඳහා හේතු වන බව පැවසේ. ඒ හෘද රෝග, ආඝාතය, පෙනහළු පිළිකා හා ඇදුම වැනි තත්ත්ව ඇති වීම හේතුවෙනි.

මේ අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ අංශුමය ද්‍රව්‍ය අතරින් සියුම් අංශුමය ද්‍රව්‍ය හෙවත් මයික්‍රෝ මීටර 2.5ට වඩා අඩු අංශුමය ද්‍රව්‍ය (PM2.5) මගින් ඇති වන වායු දූෂණය පිළිබඳ ව ය. විදුලි බලාගාර, කර්මාන්ත ශාලා, ගුවන් යානා හා නාවික ගමනාගමනය නිසා ඇති වන වායු දූෂණය පිළිබඳව මෙහි දී සලකා ඇත. ලෝකයේ කලාප 13ක පිහිටා ඇති රටවලින් මේ සඳහා දත්ත ලබාගැනීමට මේ පර්යේෂකයන් කටයුතු කර ඇත.

මෙහි දී වායු දූෂණ දත්ත, විමෝචන මිනුම් හා ගෝලීය වායු ධාරා ආකෘති යන දත්තවල එකතුවක්‌ මගින් වායු දූෂණය ඇති වීම හා එය ගමන් කර අවසන් වූ ස්‌ථානය සම්බන්ධව 2007 වර්ෂයේ දී පැවැති තත්ත්වය ගණනය කර තිබේ. එසේ ම ගෝලීය වෙළෙඳ විශ්ලේෂණ ව්‍යාපෘතිය (Global Trade Analysis Project) නම් ව්‍යාපෘතියක දත්ත මගින් තනාගත් ආර්ථික ආකෘතියක්‌ යොදාගනිමින් වායු දූෂණය හා පාරිභෝගික භාණ්‌ඩ සඳහා පාරිභෝගිකයන් අතර ඇති ඉල්ලුම හා වායු දූෂණය අතර යම් සම්බන්ධයක්‌ තිබේ ද යන්න සෙවීම සිදු කර ඇත.

අපනයන භාණ්‌ඩ නිසා සිදු වන මරණ


මේ අධ්‍යයනයේ දී අනාවරණය වී ඇති පරිදි, 2007 වර්ෂයේ දී PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා ලෝකය පුරා මිලියන 3.45ක පමණ ජනතාවක්‌ අකාලයේ මිය ගොස්‌ ඇත. ලෝකයේ එක්‌ කලාපයක පරිභෝජනය සඳහා තවත් කලාපයක නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ හා සේවාවලින් නිකුත් ව ඇති විමෝචන හේතුවෙන් අදාළ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය කරන කලාපයේ ඇති වී තිබෙන මරණ ගණන 762,400ක්‌ බව එහි දී ගණන් බලා ඇත. මෙය මුළු මරණ ප්‍රමාණයෙන් 22%ක්‌ සඳහා සම්බන්ධයක්‌ දක්‌වන වන බව මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

එවැනි මරණ සඳහා භූගෝලීය ප්‍රදේශ මගින් ද නිදසුන් දක්‌වා ඇත. චීනයේ සිදු වන අකල් මරණ අතරින් 108,600ක්‌ පමණ ප්‍රමාණයක්‌ සම්බන්ධ වන්නේ බටහිර යුරෝපයේ හා ඇමෙරිකාව යන කලාපවල පරිභෝජනය කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩවලට ය.

උක්‌ත පර්යේෂකයන් සඳහන් කරන පරිදි ලාභදායක යෑයි සිතා දියුණු රටවල පාරිභෝගිකයන් මිල දී ගන්නා භාණ්‌ඩවල මිල අඩු වීමට හේතුවක්‌ වී ඇත්තේ අදාළ නිෂ්පාදන රටවල ඇති වායු දූෂණය සම්බන්ධ නීති රීති ප්‍රබල නො වීම නම්, දියුණු රටවල පාරිභෝගිකයන් ගේ ඉතිරිය ඇති වන්නේ වෙනත් රටක අහිමි වන ජීවිතවලිනි.

මේ අනුව සිය අපනයන හා සම්බන්ධ වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වන්නේ චීනයේ ය. ඒ අනුව චීනයේ වායු දූෂණයෙන් සිදු වන මරණ අතරින් 11%ක්‌ තරම් ප්‍රමාණයක්‌ එරටින් සෙසු රටවලට අපනයනය කරන භාණ්‌ඩ හා සම්බන්ධ වේ. චීනයෙන් වැඩි ම අපනයන ප්‍රමාණයක්‌ සිදු වන්නේ බටහිර යුරෝපයට හා ඇමෙරිකාව යන කලාපවලට ය.

අනෙක්‌ අතට තම කලාපයේ පරිභෝජනය කරන භාණ්‌ඩ නිසා සෙසු රටවල මරණ වැඩි ම ප්‍රමාණයක්‌ ඇති වීමට සම්බන්ධ වන කලාප වන්නේ බටහිර යුරෝපය, ඇමෙරිකාව හා දකුණු කොරියාව හා ජපානය ඇතුළත් සෙසු ආසියාව නම් කලාපයයි.

වායු දූෂක වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමෙන් සිදු වන මරණ


මීට පෙර අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝකයේ එක්‌ ප්‍රදේශයක සිට දූෂිත වාතය බොහෝ දුරක පිහිටා ඇති වෙනත් ප්‍රදේශ කරා ගමන් කළ හැකි ය. මේ තත්ත්වය ඇති වන්නේ ගෝලීය වායු ධාරා මගිනි. උක්‌ත අධ්‍යයනයේ දී පර්යේෂකයන් ගේ අවධානයට මේ කරුණ ද ලක්‌ විය. ඒ අනුව එක්‌ ප්‍රදේශයක ඇති වන වායු දූෂණය වෙනත් කලාපයක්‌ කරා පැතිර යැමෙන් එසේ ඈත පිහිටා ඇති කලාපයේ ඇති වන සෞඛ්‍ය බලපෑම ඔවුන් ගේ සැලකිල්ලට ලක්‌ විය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත්, ලෝකයේ PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා සිදු වන අකල් මරණ අතරින් 12%ක්‌ හෙවත් 411,100ක්‌ පමණ ප්‍රමාණයක්‌ සඳහා හේතු වන්නේ එම මරණ සිදු වන කලාපවලින් පිටත පිහිටි කලාපවලින් නිකුත් වන වායු දූෂක ය.

නිදසුනක්‌ ලෙස ගත හොත් චීනයෙන් නිකුත් කරනු ලබන PM2.5 කාණ්‌ඩයේ වායු දූෂක නිසා ලෝකයේ වෙනත් කලාපවල ඇති වන අකල් මරණ ප්‍රමාණය 64,800ක්‌ ලෙස ගණන් බලා ඇත. මෙයට යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වන මරණ ද ඇතුළත් වේ. එහෙත් මේ ප්‍රමාණය, ඉහත සඳහන් කළ පරිදි බටහිර යුරෝපයේ හා ඇමෙරිකාවේ පරිභෝජනය සඳහා භාණ්‌ඩ නිෂ්පාදනයේ දී චීනයේ ඇති වන වායු දූෂණයෙන් එරට තුළ සිදු වන මරණ ප්‍රමාණයට වඩා අඩු බව පැහැදිලි ය.

කළ හැක්‌කේ කුමක්‌ ද?


මෙහි දී අවධානය යොමු විය යුතු තවත් කරුණක්‌ වන්නේ බටහිර දියුණු රටවල පරිභෝජන රටාව ද මේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරන බවයි. අධි පරිහරණය මේ රටවල දැකිය හැක්‌කකි. නිදසුනක්‌ ලෙස මේ වන විට ජංගම දුරකථනයක්‌ සාමාන්‍යයෙන් මාස හයකට පමණ වරක්‌ මාරු කිරීම සිදු වේ. එසේ භාණ්‌ඩ පරිහරණ අවශ්‍යතාව හා මිල පමණක්‌ සලකන අදාළ පාරිභෝගිකයන් අතරින් බහුතරයක්‌ ඒවා නිෂ්පාදනය කරන රටේ ජනතාව ගේ සෞඛ්‍යය හෝ පරිසරය සම්බන්ධව තැකීමක්‌ කරනු ඇතැයි සිතීම අපහසු ය. තම පරිභෝජනය ලෝකයේ වෙනත් පෙදෙසක වෙසෙන මිනිසුන් ගේ සෞඛ්‍යය සඳහා බලපාන බව පැවසීමෙන් මේ පාරිභෝගිකයන් ගේ ආකල්පවල වෙනසක්‌ ඇති කළ හැකි ද යන්න මෙහි දී ඇති වන පැනයයි. අවාසනාවකට මෙන් ලෝකයේ සෙසු රටවල් ද මේ වන විට පිවිසෙමින් සිටින්නේ එවැනි ම පරිභෝජන රටාවකට ය.

අනෙක්‌ අතට මේ භාණ්‌ඩ නිපදවන රටවල ආර්ථිකය තුළ මෙවැනි ලාබ භාණ්‌ඩ හා සේවා අපනයනය කිරීම වැදගත් තැනක්‌ ගනියි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත අදාළ රටවල පරිසර දූෂණ නීති රීති දැඩි කිරීමට ඒ රටවල් කෙතරම් උනන්දුවක්‌ දක්‌වනු ඇති ද යන්න ද සැක සහිත ය. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට පරිසර දූෂණය පාලනය කරන තාක්‌ෂණය දියුණු කිරීමට එම රටවල් කටයුතු කිරීම ඒ කලාපවල මෙන්ම ලෝකයේ සෙසු ප්‍රදේශවල මානව සෞඛ්‍යය සඳහා යහපතක්‌ වන්නකි.

අන්තර්ජාතික වෙළෙඳාම ගෝලීයකරණය වීම නිසා මේ ආකාරයෙන් නිෂ්පාදනවල පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ තත්ත්වය ඇති වී තිබේ. එහි බලපෑම ලෝකය මේ වන විට අත්දකිමින් සිටියි. එය සෞඛ්‍යය මෙන්ම පරිසරය හා සම්බන්ධව ද බලපෑමක්‌ ඇති කරන්නකි. මේ අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් ඒ ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී පවසා ඇත්තේ මේ ගැන අන්තර්ජාතික මට්‌ටමින් කටයුතු කිරීම වැදගත් වන බවයි. වායු දූෂණය ප්‍රාදේශීය එකක්‌ නො ව අන්තර්ජාතික වශයෙන් බලපෑමක්‌ ඇති එකක්‌ ලෙස පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් බව ඔවුන් ගේ අදහසයි.

මූලාශ්‍රය: Nature, DOI:10.1038/nature21712

http://www.vidusara.com/2017/05/03/feature2.html

No comments:

Post a Comment