Tuesday, May 11, 2021

පිටකෝට්ටේ MOH කාර්යාලයට මල් මිටක්!




අද, එනම් 2021 මැයි මස 11 වන දා, Sinopharm වැක්සින් එක විද ගැනීමට මට අවස්ථාව ලැබිණි. ඒ මා පදිංචි ගම අයත් වන MOH හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන, බැද්දගානේ පිහිටා ඇති පිටකෝට්ටේ MOH කාර්යාලයෙදීයි.

මීට පෙර වතාවක් ද මේ ගමට එන්නත් ලබාදීමට සූදානම් තිබුණත් එය අවලංගු කරනු ලැබිණි. ඒ නිසා අද ලැබුණු අවස්ථාවේ පැය හතරක පමණ කාලයක් ගතකර එන්නත ලබාගැනීමට හැකි විය.

මේ සටහන තබන්නේ ඒ කාර්යයට සම්බන්ධ වූ සියලුම නිලධාරින්ට ස්තුති කිරීම සඳහායි. ඒ ඔවුන් සිය රාජකාරි කටයුත්ත ඉතාම සංවිධානාත්මකව හා ඉතාම වගකීමෙන් ඉටු කළ බැවිනි. 
  • ඔවුන් ඉතාම ආචාරශීලී අන්දමින් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබීම ඉතා අගනේය. පෝලිමේ අතරමග මීටරයේ පරතරය තබාගන්නට, ආකෘති පත්‍ර පිරවිය යුතු ආකාරය, එහි අඩුපාඩු නිවැරදි කිරීම, එන්නත ලබාගත් පසු කළ යුතු දේ ගැන උපදෙස් දීම ආදිය මේ උපදෙස් අතර විය. (මීටරයේ පරතරය නම් තබාගත්තෙ නෑ වගෙයි බැලූ බැල්මට පෙනුණෙ). කොටින්ම කීවොත් අත උඩ තියාගනෙ හෝ බිත්තියක තියාගෙන ආකෘති පත්‍රය පිර වූ අයට ඒකට සුදුසු තැන් ඇති බව පවා පෙන්වා දීමට තරම් මේ නිලධාරීන් කාරුණික වූ බව කිව යුතුයි.
  • අවශ්‍ය තැන්වල නිලධාරීන් සේවයේ යොදවා තිබිණි. ආකෘති පත්‍රය ලබා දීමට, එය පුරවා ලබා දී කාඩ් පත ගැනීමට යොමුකිරීම පවා මනාව සංවිධානය කර තිබිණි.
  • වැඩිම කාලයක් ගත වනුයේ කාඩ් පත ලිවීමට යන කාලය අඩු කිරීම සඳහා සැලකිය යුතු නිලධාරීන් පිරිසක් ඒ සඳහා වෙන් කර තිබිණි.
  • එතැනින් එන්නත විඳගැනීමට යොමු කිරීමත් එන්නත විදීමත් ඉතාම කාර්යක්ෂමව සිදුවිය. එන්නත විඳීමෙන් පසුව කළ නොකළ යුතු දේ ගැන උපදෙස් දීම ඉතාම පැහැදිලිව කණ්ඩායම් වශයෙන් ලබා දීීී නිලධාරිනියක්ට යොදවා තිබිණි.
  • යම් සංකූලතාවක් ඇති වේදැයි බලන්නය මිනිත්තු විස්සක් ගත කර එතැනින් පිටවීමට කීවත්, ඒ අතරත් ඇවිත් ආබාධ තියනවද කියලා විටින් විට මතක් කිරීමත් පැසසුම් කටයුත්තක් උනා.
සමස්තවක් විදියට ආකෘති පත්‍රය ලබාගැනීමේ සිට එන්නත විදගැනීම සඳහා ගතවූයේ පැය බාගයක් පමණ කාලයක්. ගමේ අයගේ හැසිරීමත් ඉතාම ඉහළ මට්ටමක තිබූ බව සඳහන් කළ යුතුයි.

තවත් කරුණක් කියන්න ඕන, මිත්‍රයෙක් කී දෙයක් නිසාම - මේ වතාව තනිකරම අපේ ගමට පමණක් සීමා කර තිබිණි. වෙනත් ගම්වල අය පැමිණීම වළක්වන්න ගත් පියවර මෙසේය. 
  • ඊයේ සවස/රාත්‍රියේ ගම පුරා ධාවනය වූ ත්‍රීවීල් එකකින් පැමිණ හෙට දින එන්නත් ලබා දෙන්නේ මේ ගමේ (ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක්) අයට පමණක් බව නිවේදනය කිරන ලදි.
  • උදේ 8.45ට වන විට මීටර් 300ක් පමණ වූ පෝලිමක් අසලට පැමිණි ත්‍රීවීල් එකකින් එන්නත දෙනු ලබන්නේ මේ ගමේ අයට පමණත් බව යළිත් දැනුම් දුන් බැවින් සෙසු ගම්වලින් පැමිණ අය හැරී ගියා.
  • පෝලිමේ යන විට තැන් තැන්වල සිටි නිලධාරිනුත් ඒ බව මතක් කළා. තැනක දෙකක ඒ ගම්වල නම් සඳහන් බෝඩ් ද තිබිණි. 
  • එන්නත විදගැනීම සඳහා වූ ආකෘති පත්‍රය දුන්නෙ ජාතික හැඳිනුම්පතෙන් පදිංචිය බලලයි.
  • NIC එකේ ඇති වෙනස් ලිපිනයක් ඇති, ඒත් මේ ගමේ පදිංචිය අය ඒ බව තහවුරු කරන්න තම නමට ලිපිනය ඇති බිල් අරන් ඇවිත් තිබුණත් ඒත් අදාළ ග්‍රාම නිලධාරී ලවා ඒ බව සහතික කරගන්න ඔවුන්උව යොමු කරනු ලැබිණි. ග්‍රාම නිලධාරීනීහු දෙදෙනාම අද දවසම සේවයේ සිටියෝය.
පැය තුන-හතරක්හ පෝලිමේ සිට අපි එන්නත ලබාගත්තත්, ඔවුන් පැය අටක්වත් එක දිගට සේවයේ සිටි බව සඳහන් කළ යුතුයි. ඇතැම් අය ආරක්ෂිත ඇඳුම් ඇදගෙන සිටි අයයි. මදක් විවේක ගත්තත් සමහරු වැඩිකාලයක් සිටගෙනම බව දැකිය හැකි විය. දන්නා තරමින් හෙටදින තවත් ගමක ජනතාවට ඔවුහු මේ සේවය සපයති.

ඉතින් මේ කාර්යයට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට ස්තුතියි! 🌹


පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරිනීන් දෙපළට, පොලීසියේ හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට ඒ ස්තුතිය හිමිවේ. (තවත් නොදන්න නිලධාරින් හිටියා නම් ඔවුන්ටත් ස්තුතියි).

සමාජ මාධ්‍යයේ මෙන්ම සෙසු ජනමාධ්‍යවල ද නිතරම විවේචනයට ලක් වූව ද, රාජ්‍ය සේවයේ උපරිම සේවයක් කරන නිලධාරීන් ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

ධනේෂ් විසුම්පෙරුම

2021.05.11

No comments:

Post a Comment