Tuesday, February 12, 2013

ජගත් පරිසර විමසුම 160 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-06, පි. 11


Vidusara: http://www.vidusara.com/2013/02/06/feature1.html

විමසුම - නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව
ප්‍රමුඛ පුවත- උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ
පුවත් සැකෙවින් - නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්‌/ ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය/ බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව


අප්‍රිකා මහාද්වීපයේ වැඩි ම තෙල් නිෂ්පාදනයක්‌ සිදු කරන නයිජීරියාවේ තෙල් නිධි තරම් පරිසර හා සමාජ ක්‍රියාකාරිකයන් ගේ අවධානයට ලක්‌ වූ වෙනත් තෙල් නිධි සංචිතයක්‌ නොමැති තරම් ය. ඊට හේතුව නයිජර් ඩෙල්ටාවේ තෙල් නිධි කැණීමේ දී ඇති වන තෙල් කාන්දුවීම් හා ගෑස්‌ පිළිස්‌සීම නිසා එරට පරිසරයට හා ජන ජීවිතයට ඇති වී තිබෙන අහිතකර බලපෑමයි. මේ නිසා දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයේ ජලය හා පස තෙල් නිසා දූෂණයට ලක්‌ ව ඇති අතර එය කෘෂිකර්මයට, ධීවර කර්මාන්තයට හා වෙනත් ජීවනෝපාය මාර්ගවලට විවිධ ගැටලු රැසක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් ඔගොනිලන්තය නම් ප්‍රදේශයේ මේ පරිසර දූෂණය ඉතා උග්‍ර තත්ත්වයක පවතී.

මේ තත්ත්වය වළක්‌වාගෙන අදාළ ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ කලක්‌ ගත විය හැකි බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් ප්‍රකාශිත වාර්තාවකින් 2011 වර්ෂයේ දී පෙන්වා දෙන ලදී. එසේ ම ඒ සඳහා දැරිය යුතු වියදම ද අධික ය. මේ සම්බන්ධව අප මින් ඉහත දී ද මේ තීරුව ඔස්‌සේ සාකච්ඡාවට ලක්‌ කර ඇත. (බලන්න 'නයිජර් ඩෙල්ටාවේ තෙල් දූෂණය', ජගත් පරිසර විමසුම 84, 2011-08-10). මේ තත්ත්වය සඳහා වගකිවයුත්තේ තෙල් සමාගම් බවට එරට ජනතාව චෝදනා කරන අතර තෙල් සොරකම් කිරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා ද ඊට බලපා ඇති බව පෙන්වා දී තිබේ.

නෙදර්ලන්ත නඩුව හා තීන්දුව


නයිජීරියාවේ ක්‍රියාත්මක ප්‍රධානතම තෙල් සමාගම වන ෂෙල් සමාගමට එරෙහි ව, එහි මූලස්‌ථානය පිහිටා ඇති නෙදර්ලන්තයේ අධිකරණයක්‌ හමුවේ 2008 වර්ෂයේ දී නයිජීරියානුවන් පිරිසක්‌ විසින් නඩුවක්‌ ගොනු කරන ලදි. තෙල් දූෂණය නිසා අගතියට පත් නයිජීරියානු ගොවීන් සිව් දෙනකු හා ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධානයක්‌ වන මිහිතලයේ මිතුරෝ (Friends of the Earth) ආයතනය විසින් පවරන ලද මේ නඩුවේ තීන්දුව පසුගිය සතියේ ලබා දී ඇත.

මෙහි දී අධිකරණය තෙල් දූෂණ සිද්ධීන් පහෙන් හතරකින් ෂෙල් සමාගම නිදහස්‌ කර ඇත. මේ තීන්දුව විමසීමේ දී පෙනෙන්නේ මේ තෙල් කාන්දුවීම් සිදු ව ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා යෑයි අධිකරණය තීරණය කර ඇති බවකි. තීන්දුවට අනුව මවු සමාගම, වෙනත් රටක පිහිටි එහි අනුබද්ධ සමාගමක කටයුතු නිසා තුන්වැනි පාර්ශ්වයකට සිදු වන හානිවලට වගකිවයුතු නැති බවකි. මේ තීන්දුව ෂෙල් සමාගමේ ජයක්‌ ලෙස ඔවුන් සලකා ඇති බව මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

එහෙත් එය එසේ ම නොවේ. එක්‌ තෙල් දූෂණ සිදුවීමක්‌ සම්බන්ධ චෝදනාවක්‌ සඳහා ෂෙල් සමාගමේ නයිජීරියාවේ ක්‍රියාත්මක අනුබද්ධ සමාගමක්‌ මෙහි දී වැරැදිකරුවන් කර තිබේ. ඒ අනුව අදාළ සමාගමට එම ගොවියාට වන්දි ගෙවීමට නියෝග කර තිබේ. සමාගම තම වගකීම නො සලකා හැර ඇති නිසා ගොවියාට සිය ජීවනෝපාය අහිමි වීම සිදු ව ඇති බව අධිකරණය පෙන්වා දී තිබේ. මේ චෝදනාව පිළිබඳව විමසන විට පෙනෙන්නේ ගොවීන් හා පරිසරයේ යම් ජයග්‍රහණයක්‌ ද දැකිය හැකි බව ය. නයිජීරියානු ජනතාව, පරිසරවේදීන් හා ක්‍රියාකාරීන් එසේ සිතන බවත් පෙනේ. මෙතෙක්‌ වගකීමට කිසිත් නොමැති ව සිටි තෙල් දූෂණය හා සම්බන්ධ එක්‌ චෝදනාවකට හෝ සමාගමක්‌ වැරැදිකරුවන් කර තිබීම වැදගත් පූර්වාදර්ශයක්‌ විය හැකි ය. එය වැදගත් වන අනෙක්‌ කරුණ වන්නේ ෂෙල් සමාගමෙන් වෙනත් රටක දී සිදු වූ හානියක්‌ පිළිබඳව එහි මූලස්‌ථානය පිහිටි රටේ දී ගත් පළමු අධිකරණ ක්‍රියාමාර්ගය මෙය වන නිසා ය. එය නයිජීරියානුවන්ට පමණක්‌ නො ව අනෙක්‌ රටවලට ද ආදර්ශයකි. ෂෙල් සමාගමට එරෙහි තවත් මෙවැනි නඩුවක්‌ ලන්ඩනයේ විභාග වෙමින් තිබේ.

සාධාරණය සඳහා තව දුර යා යුතු ය


මේ නඩු තීන්දුවේ දී ප්‍රතික්‌ෂේප වූ චෝදනා පිළිබඳව අභියාචනයක්‌ යොමු කරන බව නයිජීරියානු ක්‍රියාකාරීහු පවසති. මේ අභියාචනය ජයග්‍රහණයක්‌ කරා ගෙන යැමට හැකියාවක්‌ තිබිය හැකි නමුත් සමාගම ද අභියාචනයක්‌ කරනු ඇති බැවින් මේ අධිකරණ ක්‍රියාමාර්ගය සමස්‌තයක්‌ ලෙස අවසන් ව නොමැති බව පෙනේ.

අපට පෙනෙන ආකාරයට උක්‌ත අධිකරණ තීන්දුව කිසියම් ආකාරයක ජයග්‍රහණයක්‌ බව සැබෑවකි. එහෙත් එය ලබාගෙන ඇත්තේ අරගලයකින් තොර ව නම් නො වේ. මේ විනාශයට එරෙහි ව නයිජීරියානුවන් තම ජීවිත අහිමි කරගනිමින් මහත් කැප වීමකින් කලක්‌ තිස්‌සේ අරගලයත් දියත් කළේ තෙල් සමාගම්වල සහායට පැමිණි ආණ්‌ඩුවේ බලය යොදාගෙන සිදු කරන ලද මර්දනයක්‌ හමුවේ ය. මෙවැනි ක්‍රියාකාරිකයකු වූ කෙන් සාරෝ විවා ඇතු`ඵ පිරිසක්‌ 1995 වර්ෂයේ දී මරා දැමීම මහත් ආන්දෝලනයකට හේතු විය. මෙය යම් කිසි ජයක්‌ වන්නේ නම් එය ඔවුන් විසින් සිදු කරන ලද කැප වීමේ යම් ප්‍රතිඵලයකි. මින් ගම්‍ය වන අනෙක්‌ කරුණ වන්නේ පරිසරයට හා ජන ජීවිතයට බලපෑම් ඇති නො වන ආකාරයෙන් කටයුතු කිරීමට කුමන ආකාරයක හෝ ව්‍යාපාරයකට වගකීමක්‌ ඇති බව ය. කෙසේ වෙතත් සාධාරණත්වය සඳහා තවත් දුර යා යුතු බව පෙනේ.

ප්‍රමුඛ පුවත
උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ

ලෝකයේ ඇති වන බොහෝ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව, උෂ්ණත්වය ඉහළ යැමත් සම`ග ඉහළ යමින් ඇති බව ජගත් මට්‌ටමේ වර්ෂාපතන දත්ත යොදාගනිමින් සිදු කරන ලද සමාලෝචනයකින් යළිත් තහවුරු වී තිබේ.

ලෝකයේ පිහිටා ඇති ඉහළ තත්ත්වයේ කාලගුණ මධ්‍යස්‌ථාන 8,326කින් වර්ෂාපතන හා උෂ්ණත්ව දත්ත යොදාගෙන ඇති මේ අධ්‍යයනයේ අරමුණ වූයේ ඒ දත්ත අතර සම්බන්ධයක්‌ තිබේ දැයි සෙවීම ය. මෙහි දී 1900 සිට 2009 දක්‌වා කාලයේ දී ආන්තික වර්ෂාපතන තත්ත්වවල දැකිය හැකි වූ ප්‍රවණතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මේ නිසා එය මෙතෙක්‌ කලක්‌ සිදු කරන ලද වඩාත් සම්පූර්ණ අධ්‍යයනයක්‌ සේ ද සැලකිය හැකි ය.

එහි දී අනාවරණය වන පරිදි, මේ කාලය ඇතුළත ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම සමස්‌ත ලෝකය පුරා ඉහළ ගොස්‌ ඇති අතර අවධානය යොමු කළ කාලගුණ මධ්‍යස්‌ථාන අතරින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක කිසියම් ආකාරයක වර්ධනයක්‌ දැකිය හැකි ය. මේ දත්ත අනුව පෙනෙන පරිදි වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1කින් ඉහළ යන විට ලෝකයේ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව 7%කින් පමණ ඉහළ යන බව පෙනේ. (මෙහි දී භාවිත කර ඇති විශ්ලේෂණ ක්‍රම දෙකේ දී වර්ෂාපතන තීව්‍රතාව වර්ධනය වන අගය 5.9% හා 7.7% ලෙස වාර්තා වී ඇත.) එය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ය.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම නිසා 21 වැනි සියවස ඇතුළත උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය හොත්, වර්ෂාපතන තීව්‍රතාවේ ඇති විය හැකි වෙනස්‌ වීම සැලකිය යුතු තරම් විය හැකි ය. ඉහළ යන ආන්තික වර්ෂාපතන තත්ත්වවල තීව්‍රතාවේ Rජු ප්‍රතිඵලය වන්නේ ජලගැලීම් හා නාය යැම් වැනි ආපදා වඩා සුලබ වීම ය. මෙවැනි ජලගැලීම්වලින් වැඩි බලපෑමක්‌ ඇති විය හැකි දියුණුවන රටවල ඊට මුහුණ දීම සඳහා පවත්නා සූදානම ද ප්‍රමාණවත් තරම් නො වේ. අනෙක්‌ අතට මෙහි පෙන්වා දී ඇති පරිදි කාලගුණ දත්ත පිළිබඳ වැඩි ම අඩුපාඩු පවතින්නේ ද සමකය ආසන්න රටවල ය. (මූලාශ්‍රයJournal of Climate, DOI: 10.1175/JCLI-D-12-00502.1)

පුවත් සැකෙවින්
නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්

විශාල නාගරික ප්‍රදේශයකින් බොහෝ ඈත පිහිටා ඇති ප්‍රදේශවල කාලගුණයට බලපෑම් කිරීමට අදාළ නගරයේ ජනනය වන තාපයට හැකියාව තිබේ. මානව ක්‍රියාකාරකම් වායුගෝලීය තත්ත්ව සඳහා බලපාන ආකාරය පිළිබඳව පෙන්වා දෙන මේ අධ්‍යයනය අනුව නාගරික ප්‍රදේශවල පිහිටි ගොඩනැ`ගිලිවලින්, වාහන හා වෙනත් ප්‍රභවවලින් ජනනය වන අප තාපය (waste heat) නිසා වායුගෝලීය ප්‍රවාහ පද්ධතිවල ඇති වන වෙනස්‌කම් මීට හේතු වේ. ඉන් විශාල ප්‍රදේශයක උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනස්‌කම් ඇති වීමට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම හා තවත් ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වී සිසිල් වීම ය.

නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු අර්ධගෝලයේ රටවල ජනනය වන මේ අතිරේක අප තාපය නිසා උතුරු ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රදේශ හා ආසියාවේ උතුරු ප්‍රදේශවල ශීත කාලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ ඉහළ යැමට ද මේ තත්ත්වය හේතු විය හැකි ය. අනෙක්‌ අතට මේ අප තාපය නිසා යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ පහළ බැසීමට ද ඉඩ තිබේ.

කෙසේ වෙතත් මේ අප තාපයෙන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයට බලපෑමක්‌ ඇති නො වේ. ඉන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස්‌ අංශක 0.01කට වැඩි වෙනසක්‌ ඇති නො කරයි. ඊට හේතුව වන්නේ මේ අප තාපය, ලෝකයේ ඉහළ අක්‌ෂාංශ සහිත ප්‍රදේශ හරහා ගමන් කරන තාපයෙන් 0.3%ක්‌ තරම් අඩු වන නිසා ය. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/nclimate1803)

ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය

දකුණු මුහුදේ තල්මහ දඩයම් චාරිකාවේ නියෑළී ඇති ජපාන තල්මහ දඩයම් කණ්‌ඩායමට අයත් යාත්‍රාවක්‌ තම රටේ අනන්‍ය ආර්ථික කලාපයට ඇතු`ඵ වීම ගැන ඔස්‌ට්‍රේලියානු රජය පසුගිය සතියේ දී සිය දැඩි විරෝධය පළ කළේ ය. තල්මහ දඩයමේ යෙදෙන නෞකා තම රටේ මුහුදු සීමාවට පිවිසීම පිළිබඳව තමන් එක`ග නො වන බව ඔවුන් මින් පෙර ද පවසා තිබේ. තල්මහ දඩයමට විරුද්ධ උද්ඝෝෂකයන් සිටි යාත්‍රාවත් හඹා යමින් උක්‌ත ජපාන යාත්‍රාව මෙසේ ඔස්‌ට්‍රේලියානු මුහුදු තීරයට පැමිණ ඇති බවක්‌ පෙනේ.

ජාත්‍යන්තර තල්මහ කොමිසම 1986 දී ඇති කරගත් තහනමේ ඇති අඩුපාඩුවක්‌ උපයෝගී කරගනිමින් 'විද්‍යාත්මක අවශ්‍යතා' නමින් ජපාන නෞකා මේ වාර්ෂික තල්මහ දඩයමේ යෙදී සිටියි. මේ පිළිබඳ විරෝධය දක්‌වන රටවල් අතර ඔස්‌ට්‍රේලියාවද වේ. දකුණු මුහුදේ සිදු කරනු ලබන මේ තල්මහ දඩයම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ඔස්‌ට්‍රේලියාව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක්‌ ද පවරා තිබේ.

බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

බ්‍රිතාන්‍යයේ වාසය කරන සුලබ විශාල (common larger) සලබ විශේෂ අතරින් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයකගේ ගහනවල සැලකිය යුතු ප්‍රමාණයක අඩු වීමක්‌ ගත වූ වසර හතළිහක කාලය ඇතුළත සිදු වී ඇති වාර්තාවක්‌ හෙළි කර තිබේ. ඒ අනුව 1968-2007 අතර කාලයේ දී මේ කාණ්‌ඩයට වැටෙන සලබයන් ගේ සුලබතාව 28%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. මෙය විවිධ සලබ විශේෂ අතර වෙනස්‌ වේ. එක්‌ විශේෂයක සුලබතාව 99%කින් පමණ අඩු වීමක්‌ පෙන්වීම මේ තත්ත්වයේ ඇති ගැටලු සහගත බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඇතැම් විශේෂවල සුලබතාවයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. වාසස්‌ථාන අහිමි වීම හා භූමියේ ඇති වන හායනය මේ අඩු වීම සඳහා හේතු වී ඇති කරුණු අතර විය හැකි බව ද යෝජනා කර තිබේ. සමනළයන් හා මීමැස්‌සන් වැනි මෙවැනි වෙනත් අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්‌ඩ අතර ද මෙවැනි ගහන අඩු වීමක්‌ දැකිය හැකි බව මේ වන විට වාර්තා වී ඇත. (මූලාශ්‍රයState of Britain’s Larger Moths 2013, http://butterfly-conservation.org/files/state-ofbritains-larger-moths-2013-report.pdf)

http://www.vidusara.com/2013/02/06/feature1.html

No comments:

Post a Comment