Thursday, December 27, 2012

ජගත් පරිසර විමසුම 154 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-26, පි. 11
Not available online
(unedited writeup is reproduced below)

විමසුම - ගල් අඟුරු භාවිතයේ වර්ධනය හා එහි අනාගතය
ප්‍රමුඛ පුවත- මීමැසි ගහන අධ්‍යයනය සඳහා ක‍්‍රමවේදයක්
පුවත් සැකෙවින් - ඇන්ටාක්ටිකාවටත් ආක‍්‍රමණික ජීවීන්ගේ තර්ජනයක් / කොලරාඩෝ නදියේ ජල පහර සිදේ?/ අපේ නිවාස සංවර්ධනයෙන් පක්ෂීන් කබලෙන් ලිපට


විමසුම
ගල් අඟුරු භාවිතයේ වර්ධනය හා එහි අනාගතය

ගල් අඟුරු යනු ලෝකයේ බලශක්ති උත්පාදනය සඳහා යොදාගන්නා ප‍්‍රධානතම ඉන්ධනයකි. වර්තමාන ලෝක සංවර්ධනයේ ආරම්භය සේ සැලකෙන කාර්මික විප්ලවය සඳහාද දායක වූ ඉන්ධනයක් වන ගල් අඟුරු වර්තමානයේදී විදුලි උත්පාදනය සඳහා බොහෝ රටවල භාවිත වේ. කෙසේ වෙතත්, ගල් අඟුරු භාවිතයේදී නිකුත්වන වායු විමෝචන නිසා ඇති වන පරිසර දූෂණය නිසා ගල් අඟුරු භාවිතය අතිශයින් විවාදාපන්නය. විශේෂයෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව හරහා හරිතාගාර ආචරණයට දක්වන දායකත්වය මේ අතරින් කැපී පෙනේ.

පසුගියදා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකින් ගල් අඟුරු භාවිතයේ තත්ත්වය හා එහි අනාගත ප‍්‍රවණතා පිළිබඳ යම් අදහසක් ලබාගත හැකිය. මධ්‍ය කාලීන ගල් අඟුරු වෙළෙඳපොළ වාර්තාව (Medium-Term Coal Market Report 2012) නම් මෙය එ් පිළිබඳව වාර්ෂිකව නිකුත් කරනු ලබන වාර්තාවකි. මෑත කාලයේදී ගල් අඟුරු ඉල්ලූම, සැපයුම හා වෙළෙඳාම පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරනු ලබන එය 2017 වර්ෂය තෙක් ගල් අඟුරු භාවිතය පිළිබඳ පුරෝකථනද සපයයි.

ගල් අඟුරු භාවිතය ක‍්‍රමයෙන් ඉහළට

උක්ත වාර්තාවේ දැක්වෙන ආකාරයට ලෝකය පුරා ප‍්‍රාථමික බලශක්ති ප‍්‍රභවයක් ලෙස ගල් අඟුරු භාවිතය මෑත අනාගතයේදී වර්ධනය වන බව සඳහන් වේ. මේ වන විට ලෝක බලශක්ති භාවිතයේ ඇති වන වර්ධනයෙන් අඩක් පමණ ගල් අඟුරු මගින් සැපයේ. 2011 වර්ෂයේ ගල් අඟුරු භාවිතය 4.3%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ගල් අඟුරු භාවිතව පිළිබඳ ජගත් මට්ටමෙන් ප‍්‍රතිපත්තිමය වෙනස්කමක් සිදුනොවුනහොත්, ලෝකයේ බලශක්ති ප‍්‍රභව අතර මුල් තැන තවත් දශකයක් ඇතුළත ගල් අඟුරුවලට හිමි වනු ඇත. දැනට ලොව වැඩිම ප‍්‍රමාණයක් භාවිත වන ඉන්ධන ප‍්‍රභවය ඛනිජතෙල්ය. 2017 වර්ෂයේදී ලෝකයේ අදට වඩා ගල් අඟුරු ටොන් බිලියන 1.2ක් පමණ භාවිත වනු ඇති බව පෙන්වා දී තිබේ. ගල් අඟුරු සැපයුමේ ගැටලූ නොපැවතීම හා සුලභව තිබීම ඊට යම් පමණකින් හේතු වේ. මේ පුරෝකථන කර ඇත්තේ කාබන් තිරකිරීම වැනි වැඩසටහන් 2017 වන විට ආරම්භ වී නොමැති සේ සලකමිනි.

දියුණු හා දියුණු රටවල් අතර වෙනස

එසේම, මේ වාර්තාවේ දැක්වෙන ආකාරයට ගල් අඟුරු භාවිතය වැඩි වශයෙන් ඉහළ යන්නේ දියුණුවන රටවලය. විශේෂයෙන් වේගවත් කාර්මිකකරණයක් දැකිය හැකි රටවල් වන චීනය හා ඉන්දියාව වැනි රටවල් මේ අතර වේ. මේ ප‍්‍රමාණය කෙතරම්ද යත්, 2017 වර්ෂය වන විට ලෝකයේ වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය භාවිත කරන රට චීනය වන අතර, දෙවැනි තැන ඉන්දියාවට හිමිවනු ඇති බව පෙන්වාදී තිබේ. 2017 වර්ෂය වන විට චීනය ලෝකයේ ගල් අඟුරු භාවිතයෙන් අඩකටත් වඩා පරිභෝජනය කරනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මේ වන විට ලෝකයේ වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය ආනයනය කරන රට චීනය වේ. මෙතෙක් කල් ජපානය ඊට හිමිකම් දැරූ අතර චීනය ඉදිරියට පැමිණියේ පළමුවරටය. එරටේ නිපදවන ගල් අඟුරු ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ආනයනය කරනු ලැබේ. එසේම වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය අපනයනය කරන රට ලෙස ඉන්දුනීසියාව ඔස්ටේ‍්‍රලියාව ඉක්මවා ගොස් තිබේ.

ඇතැම් දියුණුවන රටවල ගල් අඟුරු භාවිතයේ වර්ධනය සඳහා හේතුවී ඇත්තේ වේගවත් සංවර්ධන වැඩසටහන්ය. මේ වර්ධනය වඩා පරිසර හිතකාමී කිරීම අවශ්‍ය බව පෙන්වා දී තිබේ. එහෙත් අදාළ රටවල සංවර්ධනය අඩාල කර නොගෙන ගල් අඟුරු වෙනුවට වෙනත් ඉන්ධන වර්ගයක් යොදාගැනීම අවශ්‍ය බව පෙන්වාදී ඇත.

අනෙක් අතට දියුණු රටවල ගල් අඟුරු පරිභෝජනය තරමක් අඩු වෙමින් තිබේ. ඉල්ලූම අඩුවී ඇති රටක් වන්නේ ඇමරිකාව දැක්විය හැකි වුවත් ඊට හේතුව වී ඇත්තේ ගෑස් සැපයුම ලාබදායකවීමය. ඉදිරි වසර කිහිපයේදීද ඇමරිකාවේ ගල් අඟුරු නිෂ්පාදනය මෙන්ම භාවිතයද අඩු වන බව පෙන්වාදී ඇත. මෑත කාලයේදී යුරෝපා මහාද්වීපයේගල් අඟුරු භාවිතය වර්ධනය වී ඇති අතර ඒ වර්ධනය තවත් කාලයක් පවතිනු ඇති බව අපේක්ෂා කෙරේ.

සමස්තයක් ලෙස මෙය යහපත් තත්ත්වයක් නොවේ. ලාභදායක ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතය ජනප‍්‍රිය වුයත්, එය හරිතාගාර ආචරණයට දායක වන්නකි. ගල් අඟුරු දහනයෙන් නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන තිර කිරීම පිළිබඳ අවධානයක් තිබුණද ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම අනුව එය තවමත් ප‍්‍රායෝගික නොවන බව පෙනේ. මේ නිසා ලෝකය වෙනත් පරිසර හිතකාමී ඉන්ධන වෙත යොමුවීම වැදගත් බව පැහැදිලිය. එහි යම් වගකීමක් දියුණුවන රටවලටද ඇති බව පෙනේ. (මූලාශ‍්‍රය: Medium-Term Coal Market Report 2012, www.iea.org/w/bookshop/add.aspx?id=436)


ප්‍රමුඛ පුවත
මීමැසි ගහන අධ්‍යයනය සඳහා ක‍්‍රමවේදයක්

මීමැසි ගහන අඩුවීම පිළිබඳ පුවත් හා පර්යේෂණ ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙමින් පවතී. එය මිනිසුන්ට වඩා වැදගත් වන්නේ මීපැණි සැපයීම අඩුවීමේ අවදානම නිසා නොව, මී මැස්සන් සිදුකරන වැදගත් පාරිසරික සේවාවක් වන පරාගණය නිසාය. මීමැසි ගහන අඩුවීමෙන් පරාගණය අඩු වීමෙන් ලෝක ආහාර සැපයුමට පවා යම් බලපෑමක් විය හැකිය. අනෙක් අතට එවැනි තත්ත්වයක් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය සඳහාද හානිකර වීමට ඉඩක් තිබේ. එහෙත් මේ පිළිබඳ අනතුරු හැඟවීමක් කළ හැකි අවස්ථාව කවරක්දැයි නිසි ලෙස හඳුනාගෙන නැත.

කෙසේ වෙතත් මීමැස්සන්ගේ ගහන අඩුවීම පිළිබඳ නිසිලෙස අධ්‍යයනය කර නොමැති බව පෙන්වා දෙන පර්යේෂණ වාර්තාවක් මේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යෝග්‍ය ක‍්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත. පසුගියදා පළ වූ උක්ත වාර්තාවට අනුව, මේ සඳහා ප‍්‍රමාණවත් තරම් දත්ත මෙතෙක් අප හමුවේ නොමැත. මේ නිසා සරළ හා ලාබදායක ක‍්‍රමවේදයක් යොදාගනිමින් මීමැස්සන් පිළිබඳව අධ්‍යයනය කළ හැකි ක‍්‍රමයක් යෝජනා කර ඇත. එ් අනුව ලෝකය පුරා ස්ථාන දෙසීයත් දෙසිය පණහත් පමණ ප‍්‍රමාණයක වසර පහක පමණ කාලයක් තිස්සේ මීමැස්සක් ගණනය කිරීම හා හඳුනාගැනීම මගින් අදාළ දත්ත ලබාගත හැකිය. මේ ප‍්‍රමාණය මීමැසි ගහනවල වාර්ෂිකව 2%ත් 5% අතර සුළු අඩුවීමක් පවා තිබේදැයි නිරීක්ෂණය කිරීමට ප‍්‍රමාණවත් වේ. මෙය මීමැසි ගහන අඩුවීම පිළිබඳව සාර්ථකව හා ඉක්මනින් දත්ත ලබාගත හැකි ක‍්‍රමයක් වේ.
 අදාළ වැඩසටහන සඳහා ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් වැය යනු ඇතැයිද මෙහිදී පෙන්වාදී තිබේ. මේ මුදල මීමැස්සන් මගින් සිදුවන පරාගණය නිසා ලැබෙන ඩොලර් බිලියන 200කට අධික වටිනා ආහාර භෝගවල වටිනාකම හා සංසන්දනය කරන විට ඉතා අඩු මුදලකි. ලෝක ආහාර සැපයුමෙන් 35%ක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රධාන වශයෙන් මීමැස්සන් හා අනෙක් පරාගණකාරකයින්ගෙන් පරාගණය වන භෝගවලින් සැපයේ. මේ නිසා අදාළ පර්යේෂක පිරිස මෙවැනි ජගත් මට්ටමේ අධ්‍යයනයක් ආරම්භ කිරීමේ ඇති වටිනාකම අවධාරණය කරති. මීමැසි පරාගණය ස්වාභාවික පරිසරයේ පැවැත්ම සඳහාද වැදගත් වන බව මෙහිදී අප අමතක නොකළ යුතු කරුණකි. (මූලාශ‍්‍රය: Conservation Biology, DOI: 10.1111/j.1523-1739.2012.01962.x)

පුවත් සැකෙවින්

ඇන්ටාක්ටිකාවටත් ආක‍්‍රමණික ජීවීන්ගේ තර්ජනයක්

ඇන්ටාක්ටිකාව ආක‍්‍රමණික ජීවීන්ගේ ව්‍යාප්තියට ලක්වීමේ අවදානම ගැන විද්‍යාඥයින් විසින් පෙන්වාදී තිබේ. මේ වන විටද එ් පරිසරයේ වෙනස්කම් ඇති කිරීමට සමත් ජීවී විශේෂ දැකිය හැකි බව බි‍්‍රතාන්‍ය පාරිසරික සංගමයේ වාර්ෂික සමුළුවේදී ඔවුන් අනාවරණය කර ඇත. නිදසුනක් ලෙස ගතහොත් මේ වන විට එහි දැකිය හැකි ෑරුඑපදචඑැර් පමරචයහස නම් හෝහපුටු විශේෂයක ක‍්‍රියාකාරිත්වය දක්වා තිබේ.
මේ නිසා අදාළ ප‍්‍රදේශයේ ස්වාභාවිකව දැකිය හැකි ජීවී විශේෂවලට යම් බලපෑමක් ඇති විය හැකිය.

මේ ආකාරයෙන් ආක‍්‍රමණික ජීවී විශේෂ ව්‍යාප්ත වීමට හේතුවී ඇති එක් කරුණක් වන්නේ දිනෙන් දින ඉහළ යන සංචාරකයින් ප‍්‍රමාණයයි. වසරකට තිස්දහසක පමණ සංචාරක පිරිසක් එහි පැමිණෙන අතර විද්‍යාඥයින් පන්දහසක් පමණද වාර්ෂිකව මේ මහාද්වීපයට පැමිණෙති. මේ පිරිස් මගින් හා ඔවුන් පැමිණෙන නැව් මගින් විවිධ ජීවී විශේෂ ඇන්ටාක්ටිකාවට පැමිණිය හැකිය. එ් හේතුවෙන් වසර මිලියන ගණනාවක් තිස්සේ හුදකලාව පැවැති ඇන්ටාක්ටිකාව අනාගතයේ දැඩි අවදානමකට මුහුණ පෑ හැකි බවට සලකුණු මතුව ඇති බව පෙනේ. මේ නිසා ඇතැම් ජීවී විශේෂ වඳවී යාමට පවා ඉඩ තිබේ.

කොලරාඩෝ නදියේ ජල පහර සිදේ?


ඇමරිකාවේ පිහිටා ඇති ප‍්‍රකට කොලරාඩෝ නදියේ ජල මට්ටම ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත සියයට දහයකින් පමණ අඩුවිය හැකි බව පෙන්වාදී තිබේ. මේ සඳහා බලපාන මූලික හේතුව වී ඇත්තේ දිගුකාලීන හා දරුණු නියඟ තත්ත්වයන්ය. සමස්තයක් ලෙස ඇමරිකාවේ නිරිතදිග ප‍්‍රදේශය ක‍්‍රමයෙන් ශුෂ්ක ස්වභාවයක් ගන්නා බව කලකට ඉහතදී පෙන්වාදී ඇති අතර හරිතාගාර වායු විමෝචන නිසා ඇතිවන උණුසුම් කාලගුණ තත්ත්වය හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් මීට බලපාන ප‍්‍රධාන හේතු අතර වේ. එසේම මේ ප‍්‍රදේශයේ වැඩිවන ජනගහනය හේතුවෙන් ඇතිවන සැලකිය යුතු පිරිසකට ජල හිඟයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ආකෘති භාවිතයෙන් කළ මේ අධ්‍යයනයෙන් පෙන්වාදී තිබේ.

කොලරාඩෝ නදියේ ජලයෙන් මිලියන 40ක පමණ පිරිසක් තම ජල අවශ්‍යතා සම්පූර්ණ කරගනිති. කෘෂිකාර්මික මෙන්ම ගෘහස්ත පරිභෝජනයද මේ අතර වේ. ලොස් ඇන්ජලීස් වැනි විශාල නගරද මේ ගංඟාවේ ජල ප‍්‍රවාහයෙන් ජලය ලබා ගනී. (මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/nclimate1787)

අපේ නිවාස සංවර්ධනයෙන් පක්ෂීන් කබලෙන් ලිපට

දේශගුණ වෙනස් වීම නිසා අවදානම් තත්ත්වයකය පත්වන පක්ෂීන් මානව නිවාස සංවර්ධනය හේතුවෙන් තවදුරටත් අවදානමට ලක්වන බව කැලිෆෝනියාවේ ජීවත්වන පක්ෂීන් පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

මේ වන විටත් දැකිය හැකි දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල වාසය කරන පක්ෂි විශේෂවල ව්‍යාප්තිය වෙනස්විය හැකි බව පෙන්වාදී තිබේ. මේ අතර ඇතැම් විශේෂවල ව්‍යාප්තවීමක් දැකිය හැකි අතර තවත් විශේෂවල ව්‍යාප්තිය හා ගහනය සීමාවීමටද ඉඩ තිබේ. එහෙත් මේ අද්‍යයනය මගින් පෙන්වා දෙන්නේ අනාගතයේ සිදුවන නිවාස ව්‍යාප්තිය නිසා මේ පක්ෂීන් තවදුරටත් අවදානමකට ලක්විය හැකි බවය. නිදසුනක් ලෙස ගතහොත්, දේශගුණ වෙනස් වීම නිසා ව්‍යාප්තවීමට ඉඩ ඇති පක්ෂීන්ගේ ව්‍යාප්තිය මේ ඉඩම් භාවිතයේ සිදුවන වෙනස් වීම නිසා අඩුවීමේ අවදානමක් තිබේ. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා බලපෑමට ලක්වන ප‍්‍රදේශයම අනාගත සංවර්ධන කටයුතු සඳහාද යොදාගනු ලැබුවහොත් එ් ප‍්‍රදේශවල වාසය කරන පක්ෂීන්ට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය.

සාමාන්‍යයෙන් ඉඩම් භාවිතය නිසා ඇතිවන බලපෑම ලෙස මෙතෙක් කලක් හඳුනාගෙන තිබුනේ වාසස්ථාන අහිමිවීම නිසා වනජීවීන්ට ඇතිවන බලපෑම පමණි. එහෙත් මේ අධ්‍යයනය අනුව එය වෙනස් ආකාරයකින්ද බලපාන බවත් පක්ෂීන් වැනි සාපේක්ෂව සාර්ථක ව්‍යාප්තියක් පෙන්වන ජීවී විශේෂ පවා බහුවිධ තර්ජනවලට ලක්ව ඇති බව මෙයින් පෙනේ. (මූලාශ‍්‍රය: Landscape Ecology, DOI: 10.1007/s10980-012-9825-1)


Not available online (unedited writeup is reproduced above)

No comments:

Post a Comment