Monday, December 10, 2012

මිනිසුන් හා කලුකුම් පක්‌ෂීන් ගේ විචිත්‍රවත් කතාව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-05, පි. 05
Vidusara: http://www.vidusara.com/2012/12/05/feature2.html




කලුකුමන් පිළිබඳව අපේ රටේ වැසියන් වැඩි පිරිසක්‌ යම් පමණකින් හෝ අසා ඇති බවට සැකයක්‌ නැත. අපේ රටේ කලුකුම් පක්‌ෂීන් ඇති කිරීම එතරම් ජනප්‍රිය බව දැකිය නොහැකි වුවත්, මිනිසුන් විසින් ආහාර පිණිස ඇති කරනු ලබන පක්‌ෂීන් අතර විශේෂ තැනක්‌ කලුකුමන්ට හිමි වේ.

විශේෂයෙන් ඇමෙරිකානු මහාද්වීපයේ මේ පක්‌ෂීන් ඇති කිරීම බෙහෙවින් ප්‍රචලිත ය. ඇතැම් සංස්‌කෘතික අවස්‌ථාවලට අදාළ ආහාර වේලක අත්‍යවශ්‍ය අංගයක්‌ වන්නේ මේ කලුකුමන් ය. එක්‌ තුති පිදීමේ උත්සවයක දී ඇමෙරිකාවේ කලුකුම් පක්‌ෂීන් මිලියන 45ක්‌ පමණ ආහාරයට ගන්නා බව සඳහන් වේ. මේ නිසා මිනිස්‌ ආහාරය සඳහා යොදාගන්නා පක්‌ෂීන් අතරින් දෙවැනි වැඩි ම දායකත්වය සපයන්නේ කලුකුමන් ම`ගිනි.

මේ පක්‌ෂීන් ගෘහාශ්‍රිතකරණය හා මිනිසුන් අතර ඇති සම්බන්ධය එක්‌තරා ආකාරයක විචිත්‍රවත් කතාවකි. එසේ ම එය මිනිසුන් ස්‌වාභාවික පරිසරයේ සිදු කරන වෙනස්‌කම් හා ඒවායේ බලපෑම් පිළිබඳ වැදගත් වාර්තාවක්‌ සේ ද සැලකිය හැකි ය.

කලුකුමන් අයත් වන්නේ Meleagridinae නම් කුලයට ය. Meleagris නම් ගණයට අයත් පක්‌ෂි විශේෂ දෙකක්‌ ස්‌වාභාවිකව වාසය කරති. ඒ Meleagris gallopavo හා Meleagris ocellata ය. මේ විශේෂ දෙකේ ම නිජබිම වන්නේ ඇමෙරිකානු මහාද්වීපයයි.

වර්තමානයේ ඇති කරනු ලබන කලුකුමන් පැවත එන්නේ දකුණු මෙක්‌සිකානු කලුකුමා ලෙස පොදුවේ හඳුන්වන Meleagris gallopavo gallopavo නම් උප විශේෂයෙනි. ඒ විශේෂයේ තවත් උප විශේෂ පහක්‌ දැකගත හැකි ය. ඔවුන් එකිනෙකා ගෙන් වෙනස්‌ වන්නේ වර්ණ රටාව, වාසස්‌ථාන හා හැසිරීම් රටා ආදියෙනි.

Meleagris gallopavo gallopavo උප විශේෂය යොදාගනිමින් කලුකුමන් මුලින් ම ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ දකුණු-මධ්‍යම මෙක්‌සිකෝවේ බව හා ඒ ව්‍යවහාර වර්ෂ පූර්ව 800 පමණ කාලයේ දී විය හැකි බවත් මේ වන විට පිළිගැනේ. ඒ ඇස්‌ටෙක්‌වරුන්ට පෙර සිටි ජන කොටසක්‌ විසිනි. කෙසේ වෙතත් මේ පක්‌ෂීන් වෙනත් ප්‍රදේශවල වෙනත් කාලවකවානුවල දී ද නැවතත් ගෘහාශ්‍රිතකරණය කළ බවට සාධක තිබේ.

නිදසුනක්‌ ලෙස ගත හොත් ව්‍යාවහාර වර්ෂ පූර්ව 200 දී පමණ කාලයේ දී යළිත් ගෘහාශ්‍රිතකරණය කර තිබේ. මේ පක්‌ෂීන් ගේ අස්‌ථිවලින් ලබාගත් DNA අධ්‍යයනයෙන් සිදු කරන ලද පර්යේෂණයකට අනුව ඒ වර්තමාන නිරිතදිග ඇමෙරිකානු ප්‍රදේශවල දී පියුබ්ලෝන් (Puebloan) හෙවත් අනසාසිවරුන් (Anasazi) නමින් හැඳින්වෙන ජන කොටසක්‌ විසිනි. මෙහි දී ඔවුන් ගෘහාශ්‍රිතකරණය කරන ලද කලුකුම් ගහනයක්‌ පවත්වාගෙන ගියා පමණක්‌ නො ව වනගත ගහනවලින් අල්ලාගත් කලුකුම් පක්‌ෂීන් ද ඊට එක්‌ කරගෙන තිබේ. වසර දහසක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ මේ ආකාරයෙන් පවත්වාගෙන ආ දෙවැනි ගෘහාශ්‍රිතකරණය කරන ලද ගහනය පසුව වඳ වී ගොස්‌ තිබේ. (Proceedings of National Academy of Sciences, DOI:10.1073/pnas.0909724107)

එකිනෙකට වෙනස්‌ ස්‌ථාන දෙකක එකිනෙකින් ස්‌වාධීනව සතුන් මෙන්ම ශාක ද ගෘහාශ්‍රිතකරණය කිරීම් දෙකක්‌ හෙවත් ද්විත්ව ගෘහාශ්‍රිතකරණයක්‌ සිදු වූ අවස්‌ථා තවත් දැකගත හැකි ය. ඌරන්, බැටළුවන් ආදි සතුන් මෙන්ම පොල් වැනි ශාක ද ද්විත්ව ගෘහාශ්‍රිතකරණය කිරීම් දැකිය හැකි ය. (පොල් ශාකයේ ද්විත්ව ගෘහාශ්‍රිතකරණය පිළිබඳව 2011-08-24 දින විදුසර බලන්න)

මුලින් ම කලුකුමන් ගෘහාශ්‍රිතකරණය කිරීමේ අරමුණ මේ පක්‌ෂීන් ගෙන් පිහාටු ලබා ගැනීම බව විශ්වාස කරනු ලැබේ. ඇමෙරිකාවේ විසූ ස්‌වදේශිකයන් පක්‌ෂි පිහාටු ඔවුන් ගේ ආගමික හා වෙනත් උත්සව අවස්‌ථා සඳහා යොදාගත් අතර පොරෝන තැනීම සඳහා ද යොදාගත් බවට සාධක තිබේ. කෙසේ වෙතත් පසු කලක මේ පක්‌ෂීන් මස්‌ පිණිස ඇති කිරීම සිදු වී තිබේ. එසේ ම මේ පක්‌ෂීන් ගේ අස්‌ථි කොටස්‌ ද ආගමික කාර්ය සඳහා යොදාගෙන ඇත.

කලුකුමන් යුරෝපයට පැමිණීම

මේ අනුව කලුකුම් පක්‌ෂීන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ යුරෝපීයයන් ඇමෙරිකාව සොයාගැනීමට පළමුව ය. ඇමෙරිකා මහාද්වීපය සොයාගත් පසුව ස්‌පාඤ්ඤ ජාතිකයින් විසින් මෙක්‌සිකෝවේ සිට මේ පක්‌ෂීන් යුරෝපයට හඳුන්වා දෙන ලද්දේ 16 වැනි සියවස මුල් කාලයේ දී පමණ බව විශ්වාස කරනු ලැබේ. ආහාරයක්‌ ලෙස ජනප්‍රිය වීම නිසා කලූකුම් පක්‌ෂීන් ඇති කිරීම යුරෝපය පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. මේ වේගය ගණන් බලා ඇති පරිදි වසරකට කිලෝමීටර් 40-50 අතර වේ. වාර්තාවලට අනුව ඒ සියවස මැදභාගය වන විට යුරෝපයේ බොහෝ ප්‍රදේශවල මේ පක්‌ෂීන් ඇති කිරීම දැකිය හැකි විය. එංගලන්තයට මේ පක්‌ෂීන් හඳුන්වා දෙන ලද්දේ 1550 දී පමණ බව පැවසේ.

මේ පක්‌ෂීන්ට ටර්කි යන නාමය ලැබීම එංගලන්තය හා සම්බන්ධ වන රසවත් කතාවකි. ඒ සඳහා අවස්‌ථා දෙකක දී සිදු වී ඇති වැරැදි දෙකක්‌ හේතු වී ඇති බවක්‌ පෙනේ.

16 වැනි සියවස පමණ වන විට ඉංග්‍රීසි බසින් ටර්කි (Turkey) හා ටර්කි කුකුළා (Turkey fowl) ලෙස හඳුන්වන ලද්දේ වර්තමානයේ ගිනි කුකුළන් (Guinea fowl) ලෙස හඳුන්වන පක්‌ෂි විශේෂයයි. (මේ පක්‌ෂි විශේෂ ගණනාවක්‌ ඇති අතර ඔවුන් අයත් වන්නේ Numididae කුලයට ය). ගිනි කුකුළන් අප්‍රිකාව නිජබිම් කරගත්ත ද මධ්‍යම යුරෝපය වෙතට ඔවුන් පැමිණියේ තුර්කිය හරහා වන බැවින් ඔවුන් සඳහා ටර්කි හා ටර්කි කුකුළන් යන නම් යොදාගෙන තිබේ. ඇමෙරිකානු මහාද්වීපයේ සිට යුරෝපයට කලුකුමන් හඳුන්වා දුන් පසුව යුරෝපීයයන් සිතුවේ ඔවුන් අප්‍රිකාවෙන් හඳුන්වා දුන් ගිනි කුකුළන් විශේෂයක්‌ බව ය. ඒ නිසා කලුකුමන්ට ටර්කි යන නාමය ආදේශ විය. (ඇත්ත වශයෙන් ම ගිනි කුකුළන් හා කලුකුමන් අතර පැහැදිලි වෙනස්‌කම් පවතී). තුර්කිය හා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ඇමෙරිකානු පක්‌ෂියකු සඳහා මේ නම පොදු සම්මුතියක්‌ බවට පත් ව තිබේ. අනෙකක්‌ තබා මේ පක්‌ෂීන් ගේ විද්‍යාත්මක ගණය වන Meleagris යන්නෙහි ග්‍රීක අරුත වන්නේ ද ගිනි කුකුළන් යන්න ය.

යුරෝපයෙන් යළිත් ඇමෙරිකාවට

ඉන් අනතුරුව යුරෝපයේ දී මේ කලුකුම් පක්‌ෂීන් සියවස්‌ දෙකක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ අභිජනනය කර ඇත. ඒ අනුව විවිධ ගෘහාශ්‍රිත කලුකුම් ප්‍රභේද රාශියක්‌ වර්ධනය කර තිබේ. ඉන් අනතුරුව ඉංග්‍රීසි ජාතිකයන් විසින් යුරෝපයේ අභිජනනය කරන ලද කලුකුමන් ආපසු උතුරු ඇමෙරිකාවේ නැෙ`ගනහිර ප්‍රදේශයේ අත්ලාන්තික්‌ වෙරළබඩ ප්‍රදේශවලට හඳුන්වා දී තිබේ. ඒ 17 හා 18 වැනි සියවසේ දී පමණ ය. මේ ආකාරයෙන් නැවත හඳුන්වා දුන් කලුකුම් ප්‍රභේද සමහරක්‌ අද ආහාරයට ගන්නා කලුකුම් පක්‌ෂි ගහනවල පූර්වජයන් බව පෙනේ. මේ සඳහා බලපෑ තවත් හේතුවක්‌ වන්නේ ප්‍රාදේශීය වශයෙන් සිදු කරන ලද කලුකුම් පක්‌ෂීන් ඇති කිරීම ශීඝ්‍රයෙන් අඩු වී යැම ය. මේ සඳහා රෝග ව්‍යාප්ත වීම, යුරෝපීයයන් හා ඇති වූ ගැටුම් හා වෙනත් සත්ත්ව විශේෂ ඇති කිරීමට යොමු වීම වැනි කරුණු හේතු වෙයි.

යුරෝපයේ සිට කලුකුම් පක්‌ෂීන් ඇමෙරිකාවට පමණක්‌ නො ව වෙනත් රටවලට ද හඳුන්වා දී තිබේ. ඇතැම් විට මේ පක්‌ෂීන් ඇමෙරිකාවේ සිට වෙනත් රටවලට සෘජු ව හඳුන්වා දී ඇති බව ද විශ්වාස කරනු ලැබේ. අතීතයේ පැවැති වෙළෙඳ මාර්ග රටාව මේ සඳහා හේතු විය

කලුකුමන් දැන් බෙහෙවින් වෙනස්‌ වෙලා

මේ අතර පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර්තමානයේ ගෘහාශ්‍රිත කර ඇති කලුකුමන් සහ ඔවුන්ට ආරම්භය ලබා දුන් දකුණු මෙක්‌සිකානු කලුකුමන් අතර පැහැදිලි ප්‍රවේණික වෙනස්‌කම් ඇති බව ය. මේ සඳහා ඔවුන් දැනට ඇති කරන වාණිජමය පක්‌ෂි පරම්පරා හතක ගේ ප්‍රවේණික ද්‍රව්‍ය හා 1899 වර්ෂයේ දී ලබාගත් දකුණු මෙක්‌සිකානු වල් කලුකුමන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය සංසන්දනය කර ඇත. මේ පැරැණි සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ ස්‌මිත්සෝනියන් ආයතනයේ ජාතික ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නිදර්ශකවලිනි.

මෙහි දී හෙළි වී ඇති පරිදි ගෘහාශ්‍රිත කලුකුමන් අතර දැකිය හැකි ප්‍රවේණික විවිධත්වය, වල් කලුකුමන්ට වඩා බෙහෙවින් අඩු ය. එපමණක්‌ නො ව එය කුකුළන් හා ඌරන් වැනි අනෙක්‌ ඇතිකරනු ලබන සත්ත්ව විශේෂවල දැකිය හැකි විවිධත්වයට ද වඩා අඩු ය. මෙසේ සිදු වී ඇත්තේ යම් යම් ලක්‌ෂණ (ශරීර ප්‍රමාණය හා ඇතැම් මාංශ පේශි වර්ධනය) සඳහා තෝරාගනිමින් සිදු කරන ලද අභිජනන ක්‍රියාවලියයි. එසේ ම මේ සඳහා යොදාගත් වාණිජ කලුකුම් පරම්පරා හතට ම ඇත්තේ එක ම ආරම්භයක්‌ බව ද පෙනී ගොස්‌ ඇත. මේ කරුණු ඓතිහාසික වාර්තාවලින් හෙළි වන තොරතුරු සනාථ කරයි. (BMCGenomics, DOI: 10.1186/1471-2164-13-391)

මේ අඩු විවිධත්වය සඳහා බලපා ඇත්තේ ශතවර්ෂ කිහිපයක්‌ තිස්‌සේ සිදු කරන ලද ගෘහාශ්‍රිතකරණය බව පැහැදිලි ය. මිනිසුන් විසින් සිදු කරනු ලබන සතුන් ගෘහාශ්‍රිතකරණයේ සංකීර්ණත්වය මේ අනුව පෙනේ. ඒ සඳහා සංකීර්ණ හේතු බලපායි. විශේෂයෙන් අදාළ ජීවී විශේෂය කෙතරම් තීව්‍ර ලෙස ගෘහාශ්‍රිතකරණය කරන්නේ ද යන්න හා ඒ සඳහා මානව මැදිහත් වීම කෙතරම් ද යන්න මේ සඳහා සාධකයක්‌ වේ. මානව ඉතිහාසය පුරා සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම මිනිසුන් ගේ ප්‍රගමනයට බෙහෙවින් වැදගත් විය. ඔවුන් හා පරිසරය අතර ඇති සම්බන්ධයට මෙන්ම ඔවුන් ගේ තාක්‌ෂණික හා සමාජ දියුණුව සඳහා ද එය හේතු විය.

http://www.vidusara.com/2012/12/05/feature2.html

No comments:

Post a Comment