Tuesday, December 25, 2012

ජගත් පරිසර විමසුම 153 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-19, පි. 20 
http://www.vidusara.com/2012/12/19/feature5.html

විමසුම - දෝහා දේශගුණ සමුළුවෙන් සාර්ථක ප‍්‍රතිඵලයක්?

ප්‍රමුඛ පුවත- ක්‌ෂීරපායින් ගෙන් හතරෙන් එකක්‌ අවදානමේ ‌/
පුවත් සැකෙවින් - දේශගුණ ඇගයීම් වාර්තාවේ කෙටුම්පතක්‌ පිට වෙලා/ ලොව විශාලතම මෝර අභයභූමිය‌/ ෆුකුෂිමා අනතුරට සමාගමේ අඩුපාඩුත් හේතු වී තිබේ



දිනෙන් දින වර්ධනය වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම

නීති විරෝධී ආකාරයෙන් ජාත්‍යන්තරව සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම බොහෝ ආදායමක්‌ ලැබිය හැකි ව්‍යාපාරයකි. ලෝකයේ නීති විරෝධී වෙළෙඳාම් අතරින් සිව්වැනි තැනට පැමිණෙන මේ ව්‍යාපාරයට වඩා ඉදිරියෙන් සිටින්නේ මත්ද්‍රව්‍ය, ව්‍යාජ නිෂ්පාදන හා මුදල් නිපදවීම හා මිනිසුන් නීති විරෝධී ලෙස සංක්‍රමණය කිරීම පමණි. පාලනයකින් තොර ව සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම නිසා ගැටලු රැසක්‌ ඇති වී තිබේ. ඇතැම් ජිවී විශේෂ වඳ වීමේ තර්ජනයකට ලක්‌ වීමට හා පාරිසරික වශයෙන් විවිධ ගැටලු ඇති කිරීමට ද මේ තත්ත්වය හේතු වේ.

සොබාදහම සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදල (WWF) විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, පසුගිය දශකයක පමණ කාලයේ දී වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම විශාල ලෙස ඉහළ ගොස්‌ ඇත. මේ වන විට මේ වෙළෙඳාමේ වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 19ක්‌ පමණ වේ. විවිධ රාජ්‍ය 110ක්‌ පමණ ප්‍රමාණයක බලධාරීන් මේ හා සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධාන නියෝජිතයන් සමග කළ සාකච්ඡා මත පදනම් ව සකස්‌ කර ඇති උක්‌ත වාර්තාවට අනුව මේ නිසා ලෝකයේ රාජ්‍යවල ජාතික ආරක්‌ෂාවට ද තර්ජන ඇති වී තිබේ. එසේ ම ඒ රටවල සමාජ හා ආර්ථික සංවර්ධනයට ද මේ තත්ත්වය හානිකර ලෙස බලපෑ හැකි ය. අනෙක්‌ අතට, මේ නිසා ජගත් මට්‌ටමේ සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු ද ඇති වීමට අවස්‌ථාවක්‌ පවතී.

වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ නව ප්‍රවණතා


වනජිවී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස වෙළෙඳාම් කිරීම මෑත කාලයේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස්‌ ඇත. ඇත් දළ, රයිනෝ අං හා ව්‍යාඝ්‍ර ශරීර කොටස්‌ සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා මේ සතුන් වැඩි වශයෙන් අවදානමකට ලක්‌ ව ඇත. බෝන් µ්‍රS පදනම ප්‍රකාශ කරන ආකාරයට ලෝකයේ වාර්ෂිකව මරාදමනු ලබන ඇතුන් ප්‍රමාණය තිස්‌ දහසක්‌ පමණ විය හැකි ය. මීට හේතු වී ඇත්තේ ප්‍රධාන වශයෙන් චීනයේ ඇති අධික ඉල්ලුම ය. 2011 වර්ෂය ලෝකයේ වැඩි ම අලි ඇතුන් පිරිසක්‌ දඩයම් කරන ලද වර්ෂය සේ සැලකෙන අතර, මේ වර්ෂයේ අප්‍රිකා මහාද්වීපයේ දී මිනිසුන් විසින් මරා දමන ලද අලි ඇතුන් ප්‍රමාණය, පළමුවරට ස්‌වාභාවිකව සිදු වන අලි මරණ ප්‍රමාණය ඉක්‌මවා ගොස්‌ තිබේ.

සන්නද්ධ ත්‍රස්‌ත කණ්‌ඩායම් ඊට පිවිසීම ඉහළ ගොස්‌ තිබීම මේ වාර්තාවේ දැක්‌වෙන ආකාරයට වනජීවී ද්‍රව්‍ය ජාවාරමේ නූතන ප්‍රවණතාවක්‌ වේ. මේ කණ්‌ඩායම් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ඒවා අතර මේ ජාවාරමෙන් ලබාගන්නා ආදායම් යොදාගනු ලබන්නේ ඔවුන් යෙදී සිටින සිවිල් අරගල සඳහා බව පෙනේ. බොහෝ ත්‍රස්‌ත කණ්‌ඩායම් මෙවැනි නීති විරෝධී ව්‍යාපාර තම ආදායම් මාර්ග සේ භාවිත කිරීම කලක පටන් දැකිය හැකි ය.

මේ තත්ත්වය වඩාත් බරපතළ වී ඇත්තේ අප්‍රිකානු රටවලය. ඇතැම් විට මේ සන්නද්ධ කණ්‌ඩායම් වෙනත් රටවලට පැමිණ සතුන් මරා ඇත්දළ වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සිදුකරන අවස්‌ථාද වාර්තා වී තිබේ. නිදසුනක්‌ ලෙස, මේ වර්ෂයේ මුල් කාලයේදී චැඩ් හා සුඩාන කැරලිකරුවන් කැමරූන් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට පිවිස ඇතුන් 450ක්‌ පමණ මරාදමා ඇත් දළ රැගෙන ගොස්‌ ඇත. වෙනත් රටවලින් ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත.

එසේම මෑත කාලයේදී මේ වෙළෙඳාම වර්ධනය වීම සඳහා බලපා ඇති වැදගත් සාධක දෙකක්‌ද උක්‌ත වාර්තාවෙන් හ`දුනාගෙන තිබේ. ඉන් පළමුවැන්න සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහිව නීතිය ප්‍රමාණවත් තරමින් ක්‍රියාත්මක වීමේ ඇති ගැටලුය. අනෙක්‌ කරුණ වන්නේ අන්තර්ජාලය හරහා නීති විරෝධී වනජීවී ද්‍රව්‍ය ලබාගැනීමට ඇති වී තිබෙන පහසුවයි.

නීතිය ක්‍රියාත්මක කිරීම


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රියාවලියේදී යම් යම් ගැටලූ පවතී. විශේෂයෙන් සිවිල් අර්බුද ඇති ප්‍රදේශවල මේ වෙළෙඳාමට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ගැටලූවකි. අදාළ ප්‍රදේශවල සාමාන්‍ය නීතිරීති පවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි. එසේම මෙතෙක්‌ ක්‍රියාත්මකව ඇති සංරක්‌ෂණ කටයුතුවලට ද මින් ගැටලූ ඇති විය හැකිය.

මෙවැනි තත්ත්වයක්‌ හමුවේ මේ අමානුෂික වෙළෙඳාම පාලනය කිරීම සඳහා වඩා ප්‍රබල ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වයක්‌ අවශ්‍ය කරන බව උක්‌ත වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මෙහිදී අදාළ රටවල බලධාරීන් දැඩිව නීතිය ක්‍රියාක්‌මක කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කර ඇත. මෙය අදාළ නීති විරෝධී වෙළෙඳාම පාලනය කිරීම සඳහා මෙන්ම වනජීවී සංරක්‌ෂණය සඳහා ද එකසේ උපකාරී වන ක්‍රියාදාමයක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. (මූලාශ්‍රය Fighting illicit wildlife trafficking, http://awsassets.panda.org/downloads/wwffightingillicitwildlifetrafficking_lr.p)

ක්‌ෂීරපායින් ගෙන් හතරෙන් එකක්‌ අවදානමේ
ලෝකයේ ජීවත්වන ක්‌ෂීරපායි සත්ත්ව විශේෂ අතරින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක්‌ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ව ඇති බව වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති සත්ත්ව විශේෂ පිළිබඳ රතු ලයිස්‌තුව පෙන්වා දෙයි. මේ ඇගැයීමට අනුව ලෝකයේ ජීවත්වන ක්‌ෂීරපායී විශේෂ 5,487ක්‌ අතරින් 1,141ක්‌ පමණ ප්‍රමාණයක්‌ වඳවීමේ තර්ජනයකට ලක්‌ව තිබේ. මේ අතරින් විශේෂ 188ක්‌ දැඩි අන්තරායක (Critically Endangered) කාණ්‌ඩයටද, විශේෂ 450ක්‌ අන්තරායක (Endangered) කාණ්‌ඩයට ද අයත් වේ. එසේම තවත් විශේෂ 836ක්‌ පමණ තතු හීන කාණ්‌ඩයට ඇතුළත් කර ඇති නිසා සැබැවින්ම වඳවීමේ අවදානමක්‌ ඇති විශේෂ ගණන මීට වඩා ඉහළ විය හැකිය.

මේ අනුව පෙනෙන්නේ නුදුරු අනාගතයේදී අප ද අයත් වන ක්‌ෂීරපායී වර්ගයට අයත් විශේෂ රැසක්‌ වඳ වී යා හැකි බව ය. 1500 වර්ෂයෙන් පසු මේ දක්‌වා ගත වී තිබෙන කාලය ඇතුළත ක්‌ෂීරපායි විශේෂ 76ක්‌ මිහිතලයෙන් තුරන් ව ගොස්‌ ඇත. මේ වඳ වීම් සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ ද මිනිසුන් ගේ ක්‍රියාකාරීත්වයයි. කෙසේ වෙතත් සංරක්‌ෂණ උත්සාහයේ සාර්ථකත්වය ද මේ ඇගැයීමෙන් පෙනේ. ඒ අනුව, වර්තමානයේ තර්ජනයට ලක්‌ ව ඇති ක්‌ෂීරපායි සත්ත්ව විශේෂ අතරින් සියයට 5ක්‌ පමණ ප්‍රමාණයක ගහන යළිත් වර්ධනය වෙමින් තිබේ. (මූලාශ්‍රය www.redlist.org)

මේ අතර භෞමිකව වාසය කරන ක්‌ෂීරපායින් අතරින් සැලකිය යුතු විශේෂ ප්‍රමාණයක්‌ අනාගතයේ දී ඇති විය හැකි ආන්තික දේශගුණ තත්ත්ව නිසා තර්ජනයට ලක්‌ විය හැකි බව මෑත දී ප්‍රකාශයට පත් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත. මෙහි දී නිය`ගය හා කුණාටු වැනි ආපදාවලින් බලපෑමට ලක්‌ විය හැකි විශේෂ පිළිබඳව කරුණු සලකා බලා ඇති අතර ඊට අදාළ ආපදා පිළිබඳ දත්ත හා භෞමික ක්‌ෂීරපායී සත්ත්ව විශේෂවල ව්‍යාප්තිය භාවිත කර කිසියම් ආපදා සිතියමක්‌ සකස්‌ කර තිබේ. ඇගැයීමට ලක්‌ කළ විශේෂ අතරින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක ගේ වාසභූමියෙන් 25%ක්‌ පමණ නිය`ගය හා කුණාටු හෝ මේ ආපදා දෙකට ම ලක්‌ විය හැකි බව මෙහි දී හෙළි වී ඇත. දේශගුණ වෙනස්‌ වීම හා ආන්තික කාලගුණ තත්ත්ව නිසා බලපෑමට ලක්‌ විය හැකි විශේෂ ගණන අදට වඩා ඉහළ විය හැකි බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය ConservationLetters, DOI: 10.1111/j.1755-263X.2012.00306.x)

පුවත් සැකෙවින්

දේශගුණ ඇගයීම් වාර්තාවේ කෙටුම්පතක්‌ පිට වෙලා

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) මගින් මේ වන විට සකස්‌ කරමින් ඇති දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පස්‌වැනි ඇගැයීම් වාර්තාවේ කෙටුම්පතක්‌ අනවසරයෙන් අන්තර්ජාලයට නිකුත් කිරීම පසුගිය දා අවධානයට ලක්‌ විය. මෙහි දී වාර්තා පෙළේ පළමුවැනි වාර්තාව වන විද්‍යාත්මක පසුබිම පිළිබඳ වාර්තාවේ කෙටුම්පතේ පරිච්ඡේද භාගත කළ හැකි ලෙස අදාළ වෙබ් ලිපින වෙබ් අඩවියක පළ කොට තිබේ. මෙය සිදු කරනු ලැබ ඇත්තේ ඇමෙරිකානු දේශගුණ සංශයවාදියකු විසිනි. මේ කෙටුම්පත ලෝපුරා විද්‍යාඥයන් විසින් විමර්ශනයට ලක්‌ කරනු ලබන නමුත් එහි අන්තර්ගතය හෙළි කිරීම ඔවුන්ට සිදු නො කරනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. පසුව මේ වෙබ් අඩවියට පිවිසීමට නො හැකි වුවත්, ඒ වෙබ් ලිපින භාවිත කරමින් වාර්තා කෙටුම්පත කියෑවීමට හා භාගත කරගැනීමට හැකි ලෙස වෙනත් වෙබ් අඩවි විසින් උපුටා දක්‌වනු ලැබ තිබේ. මේ බොහොමයක්‌ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරනු ලබන වෙබ් අඩවි හා ප්‍රකාශන වේ. ඒ සමග මුල් වෙබ් අඩවියේ විශේෂයෙන් උපුටා දක්‌වා ඇති කරුණක්‌ මත දක්‌වා ඇති අදහස්‌ අනුව ලබන වර්ෂයේ දී පළ වීමට නියමිත අදාළ වාර්තාවේ සාධාරණත්වය ප්‍රශ්න කිරීමේ අභිලාෂයෙන් මෙය සිදු කර ඇති බවක්‌ පෙනේ.

මේ සිදුවීම නිසා වාර්තාවේ ඉදිරි සංස්‌කරණ කටයුතුවලට කිසියම් බලපෑමක්‌ ඇති විය හැකි බව මේ පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරන මණ්‌ඩලය පවසා ඇත. විශේෂයෙන් මේ වර්තාවේ කොටස්‌ ඉදිරියේ දී බෙහෙවින් සංශෝධනයට ලක්‌විය හැකි ය. මේ වාර්තාව ලෝක දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පළ වන වඩාත් විමර්ශනයට ලක්‌ වූ වාර්තාව සේ සැලකේ.

ලොව විශාලතම මෝර අභයභූමිය

පැසිෆික්‌ සාගරයේ පිහිටි කුක්‌ දූපත් රාජ්‍යය ලෝකයේ මෙතෙක්‌ ප්‍රකාශිත විශාලතම මෝර අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ වර්ග කිලෝමීටර් මිලියන 1.9ක කින් යුක්‌ත ප්‍රදේශයක්‌ අභය භූමියක්‌ ලෙස නම් කිරීමෙනි. මේ සමග, ලෝකයේ මෝරුන් සඳහා අභයභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්‌ත සාගර ප්‍රදේශය වර්ග කිලෝමීටර් මිලියන 6.7ක්‌ පමණ වේ. මේ ප්‍රදේශවල මෝරුන් ඇල්ලීම, මෝරුන් ගේ නිෂ්පාදන කිසිවක්‌ අලෙවි කිරීම හෝ ළ`ග තබා ගැනීම වැනි කටයුතු තහනම් වේ.

ධීවර කර්මාන්තයේ දී මෝරුන් අධික ලෙස මරාදැමීම නිසා මෝර විශේෂ අතරින් තුනෙන් එකක්‌ පමණ රතු ලේඛනයට ඇතුළත් ව ඇත. මේ නිසා සාගරයේ සමස්‌ත පරිසර පද්ධතියට ම යම් යම් පාරිසරික බලපෑම් ඇති විය හැකි බව පෙන්වා දී ඇත. මේ නිසා සංරක්‌ෂණ ක්‍රියාකාරකමක්‌ ලෙස මෝර අභයභූමි වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ෆුකුෂිමා අනතුරට සමාගමේ අඩුපාඩුත් හේතු වී තිබේ

ජපානයේ පිහිටා ඇති ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පසුගිය වර්ෂයේ ඇති වූ විකිරණ කාන්දුව සඳහා එහි ආරක්‌ෂාව පිළිබඳව පැවැති ගැටලු හා අයහපත් ක්‍රියාකාරකම් ද බලපා ඇති බව එය පාලනය කළ ටෝකියෝ විදුලි බල සමාගම පිළිගෙන තිබේ. භූමිකම්පාවකින් පසු ඇති වූ සුනාමියක්‌ නිසා හටගත් මේ විකිරණ කාන්දුව, චර්නොබිල් බලාගාරයේ සිදු වූ අනතුරින් පසු ලෝකයේ ඇති වූ විශාලතම විකිරණ කාන්දුවට හේතු විය.

මේ අනතුර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එරට පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටුවක්‌ මගින් සමාගමට එරෙහි ව නගන ලද චෝදනාවල එන කරුණු කිහිපයක්‌ සමාගම පිළිගෙන ඇති බව පෙනේ. මීට මාස දෙකකට පමණ පෙර අදාළ සමාගම අනතුර වළක්‌වා ගත හැකි ව තිබූ බව පිළිගත්තේ ය. දියුණු රටක්‌ වන ජපානය වැනි රටක වුවත් මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමට ඉඩක්‌ තිබීම න්‍යෂ්ටික බලය පිළිබඳ අවධානය යොමු කරන දියුණු වන රටවල් ද අවධානයට ලක්‌ කළ යුතු බව පෙනේ.

http://www.vidusara.com/2012/12/19/feature5.html

No comments:

Post a Comment