Tuesday, April 2, 2013

ජගත් පරිසර විමසුම 161 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-13, පි. 11
Vidusara: http://www.vidusara.com/2013/02/13/feature2.html

විමසුම - දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අදහස්‌ වෙනස්‌ වන ආකාරය
ප්‍රමුඛ පුවත- සංරක්‌ෂණය සඳහා ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම
පුවත් සැකෙවින් - ගැබොන් දේශයේ අලි මරණ ඉහළට / චීනයේ වායු දූෂණය පාලනයට පියවර/ මහා බාධක පරය ආරක්‌ෂා කරන බව ඔස්‌ට්‍රේලියාව පවසයි


විමසුම
දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අදහස්‌ වෙනස්‌ වන ආකාරය

දේශගුණ වෙනස්‌ වීම හා එහි බරපතළ ස්‌වභාවය මේ විමසුම ඔස්‌සේ අප නිතර සාකච්ඡාවට ලක්‌ කර ඇති විෂයයකි. විශේෂයෙන් මේ ගැටලුව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක්‌ යොමු නො කිරීමේ ඇති අවදානම ලෝකයේ පරිසරය පිළිබඳ සංවේදී බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ ව ඇති කරුණකි. එහෙත් මේ අක්‍රිය බවට හා ප්‍රමාදයට හේතු වී ඇත්තේ මූලික වශයෙන් ලෝක දේශපාලන නායකත්වයට මේ පිළිබඳ තීරණ ගැනීමට ප්‍රමාණවත් අවශ්‍යතාවක්‌ නොමැති වීමයි. එසේ ම මේ අර්බුදය විසඳීමේ වැඩි වගකීම පිළිගැනීම සම්බන්ධව දියුණු රටවල් හා දියුණු වන රටවල් අතර ඇති මත ගැටුම ද මීට බලපෑමක්‌ කර ඇති බව පෙනේ.

ලෝක නායකත්වය දරන ආකල්පවල යම් වෙනසක්‌ ඇති කිරීමේ දී ජනතාව ගෙන් ඇති වන බලපෑම වැදගත් බව පුළුල් ලෙස පිළිගන්නා කරුණකි. සාමාන්‍ය ජනතාව හා සමාජයේ සෙසු කාණ්‌ඩවල පිරිස්‌ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දරන මතය තීරණය කිරීමට බලපාන සාධක පිළිබඳව මෑත දී කළ අධ්‍යයන කිහිපයක්‌ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට සිතුවේ මේ නිසා ය.

ජනමතය වෙනස්‌ කරන කාලගුණය

ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, ප්‍රාදේශීය වශයෙන් ඇති වන කාලගුණ වෙනස්‌ වීම් හමුවේ දේශගුණ වෙනස්‌ වීම යථාර්ථයක්‌ ද යන්න සම්බන්ධව ඇමෙරිකානුවන් දක්‌වන ආකල්පවල වෙනස්‌ වීම් ඇති වන බව පෙන්වා දී තිබේ. මෙවැනි වෙනස්‌වීම් සාමාන්‍ය ජනතාව ගේ ආකල්ප අතර මෙන්ම ජනමාධ්‍යවල ද දැකිය හැකි වීම විශේෂ කරුණකි.

මේ සඳහා යොදාගෙන ඇත්තේ 1990න් පසු කාලයේ පැවැති උෂ්ණත්ව වෙනස්‌වීම් පිළිබඳ වාර්තා, මේ කාලය ඇතුළත දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පවත්වන ලද ජනමත සමීක්‌ෂණ ප්‍රතිඵල හා ඒ ගැන එරට ප්‍රධාන පුවත්පත් කිහිපයක පළ වූ අදහස්‌ දැක්‌වීම් හා කතුවැකි ම`ගින් නිරූපිත කරුණු ය. අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ගත වූ වසර විස්‌සක පමණ කාලයක්‌ ඇතුළත මේ ප්‍රවණතාව දැකගත හැකි වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, අධික ශීත කාලගුණයක්‌ පවත්නා කාලවල දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කිරීමේ ස්‌වභාවය ඉහළ යන අතර උණුසුම් කාලවකවානුවල දී ලෝකය උණුසුම් වෙමින් ඇති බවට විශ්වාස කරන පිරිසේ ගණන ඉහළ යයි. එසේ ම දැඩි ශීත කාලයකින් අනතුරුව දේශගුණ සංශයවාදය බෙහෙවින් වර්ධනය විය හැකි ය.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ජනතාව දරන අදහස්‌වලට ඔවුන් ගේ දේශපාලන අදහස්‌, පෞද්ගලික දැක්‌ම ආදි කරුණු ද යම් බලපෑමක්‌ කළ හැකි වුවත්, ඉන් පෙර මාස 3-12 අතර කාලයේ පැවැති උෂ්ණත්ව විචල්‍යතා ඒ අදහස්‌වලට කැපී පෙනෙන බලපෑමක්‌ සිදු කරන බව පෙනේ. මෙය ඇමෙරිකානු ජනතාව ගේ ආකල්පවල දේශගුණ වෙනස්‌ වීම සැක කිරීම පිළිබඳ යම් පැහැදිලි කිරීමක්‌ ලබා දෙන බව පෙනේ. එසේ ම විද්‍යාත්මක සාධක පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ඇති විශ්වාසය ගැන ද මෙහි දී ගැටලු ඇති වේ. එසේ ම පොදු ජන ආකල්පය හැඩගැසීමේ ඇති අවශ්‍යතාව ද මෙහි දී පෙනේ. (මූලාශ්‍රයClimatic Change, DOI: 10.1007/s10584-012-0690-3)

වෘත්තිකයන් සිතන ආකාරය


මේ අතර ඇමෙරිකාවේ ම සිදු කරන ලද තවත් මෙවැනි අදහස්‌ විමසීමකින් ද අපූරු තොරතුරු කිහිපයක්‌ හෙළි වී තිබේ. ඉංජිනේරුවන් හා භූ විද්‍යාඥයන් දහසකට අධික පිරිසක්‌ සම්බන්ධ කරගත් ඒ අධ්‍යයනයේ දී සිදු කර ඇත්තේ ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දරන මතය පිළිබඳ විමසීමයි. එහි දී පෙනී ගොස්‌ තිබෙන්නේ ඒ අතරින් 99%ක්‌ තරම් පමණ අධික පිරිසක්‌ මේ වන විට කිසියම් දේශගුණ වෙනස්‌ වීමක්‌ ඇති වෙමින් පවත්නේ යෑයි පිළිගන්නා බව ය. එහෙත් ඊට බලපා ඇති කරුණු පිළිබඳව ඔවුන් අතර එතරම් එකඟතාවක්‌ තිබුණේ නැති තරම් ය. එයට හේතු වන්නේ ඔවුන් ගේ වෘත්තීයමය දැනුම හා දේශගුණ දැනුම අතර ඇති වෙනස්‌කම් හා ගැටුම් විය හැකි ය.

කෙසේ වෙතත්, දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම පිළිබඳ ඇති සාක්‌ෂි හමුවේ කිසියම් වෙනසක්‌ සිදු කිරීම සඳහා පියවර ගැනීමේ ඇති වැදගත්කම ඔවුන් පොදුවේ පිළිගන්නා බව පැහැදිලි ය. බීජය කවරක්‌ වුවත් එහි ප්‍රතිඵලය සැමට අත්විඳින්නට ලැබී තිබීම මේ සඳහා හේතු වී ඇති බවක්‌ පෙනේ. (මූලාශ්‍රයOrganizationStudies, DOI: 10.1177/0170840612463317)

ජනමතය හැඩගැසීම

මේ අනුව ජනතාව ගේ ආකල්ප හැඩගැසීම කිසියම් ආකාරයට අභියෝගයක්‌ බව පෙනේ. විද්‍යාත්මක සාධක තිබිය දී පවා වඩා අඩු වැදගත්කමක්‌ ඇති කරුණු හේතුවෙන් ජනතා ආකල්පවල විශාල වෙනස්‌ වීමක්‌ ඇති වීමට ඉඩ තිබීම මීට හේතුවයි. එසේ ම පසුගිය දා ඇමෙරිකාවේ සිදු කළ එක්‌ ජනමත සමීක්‌ෂණයකින් පෙන්වා දී තිබුණේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ගන්නා පියවර අතරින් බදු පැනවීමට වඩා විමෝචන අඩු කිරීමට නීති රීති පැනවීමට ඇමෙරිකානුවන් කැමැති බවයි. එසේ ම දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සැලකිල්ල මෑත කාලයේ තිබූ ඉහළ ම අවධානය හිමි කරගෙන තිබේ.

කෙසේ වෙතත් විවිධ අවශ්‍යතා හමුවේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන පිරිසේ ප්‍රමාණය අධික වන බැවින්, ජගත් මට්‌ටමේ හෝ වේ වා ජාතික මට්‌ටමේ හෝ වේ වා වඩා බලපෑමක්‌ කළ හැකි වෙනසක්‌ ඇති කිරීමට අවශ්‍ය කරන ජනතා ව්‍යාපාරයක්‌ සඳහා වඩා විද්‍යාත්මක පදනමක්‌ මත කටයුතු කිරීමේ අවශ්‍යතාව මේ අනුව පැහැදිලි ය.
ප්‍රමුඛ පුවත
සංරක්‌ෂණය සඳහා ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම

ඉන්දුනීසියාවේ පිහිටා ඇති කරිමුන්ජාවා (Karimunjawa) සාගර ජාතික වනෝද්‍යානයේ ක්‍රියාත්මක කළ එක්‌තරා වැඩසටහනක්‌ තුළින් ජෛවවිවිධත්වය හා සංවර්ධනය අතර තුලිතතාවක්‌ පවත්වාගැනීම සඳහා සහ-කළමනාකරණය වැදගත් ආකෘතියක්‌ වන බව හෙළි වී තිබේ. සාමාන්‍යයෙන් සාගර ජෛවවිවිධත්වය මත තම ජීවනෝපාය සඳහා මුළුමනිනන් ම යෑපුණු මේ පිරිස ගේ සමාජ යහ පැවැත්ම ඉහළ නංවාගැනීමට හැකියාව ලැබී ඇත.

මේ සාගර ජාතික වනෝද්‍යානයට මුහුදු ප්‍රදේශ මෙන්ම කඩොලාන සහිත දූපත් රාශියකින් සමන්විත දූපත් රැසක්‌ ද අයත් වූ අතර එහි විසූ ජනගහනය නව දහසක්‌ පමණ තරම් විය. මේ පරිසර පද්ධතිය එරට සාගර ජෛවවිවිධත්වය සම්බන්ධව ඉතා වැදගත් ප්‍රදේශයක්‌ ලෙස හඳුනාගන්නා ලද අතර ඒ වන විටත්, අධික ලෙස මසුන් ඇල්ලීම නිසා මේ පරිසර පද්ධතියේ කොරල්පර හා මත්ස්‍ය ජෛව ස්‌කන්ධය දැඩි හායනයට මුහුණ පා තිබිණි. එය සංරක්‌ෂණය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස ය.

වසර පහක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කරන ලද මේ සහ-කළමනාකරණ ආකෘතියේ දී අදාළ වනෝද්‍යානයේ පාලනය සඳහා ප්‍රජාව ගේ සහභාගිත්වය වැඩි වශයෙන් ලබාගෙන තිබේ. එසේ ම මේ කාර්යයේ දී ජනතාවට විකල්ප ආදායම් මාර්ග සැලසීම කෙරේ ද වැඩි අවධානයක්‌ දක්‌වා තිබේ. නිදසුනක්‌ ලෙස පරිසර සංචරණය සඳහා සහ වෙනත් ව්‍යාපාරික අවස්‌ථා සලසා දීමෙන් අධික ලෙස මසුන් ඇල්ලීමෙන් පරිසර පද්ධතියට සිදු වූ පීඩනය අඩු කිරීමට හැකියාව ලැබී ඇත. එසේ ම තිරසර නො වන ධීවර පිළිවෙත් මුලිනුපුටා දැමීමට ද පියවර ගෙන තිබේ.

මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස පාරිසරික වශයෙන් හා සමාජ ආර්ථික වශයෙන් ද වැදගත් ප්‍රතිඵල කිහිපයක්‌ ලැබී ඇති බව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, තිරසර නො වන ලෙස සිදු වූ ධීවර කර්මාන්තය නිසා හානියට ලක්‌ ව තිබුණු පර ආශ්‍රිත මත්ස්‍ය ගහනවල ජෛව ස්‌කන්ධය යථා තත්ත්වයට පැමිණ තිබේ. ඊට බලපා ඇත්තේ මසුන් ඇල්ලීම සීමා කරමින් කලාපනය කිරීම් ය. එසේ ම මේ වැඩසටහනෙන් ලැබුණු අනෙක්‌ වැදගත් ප්‍රතිදානය සේ සඳහන් වන්නේ ප්‍රජාව ගේ සමාජ ආර්ථික තත්ත්වය වර්ධනය වීමයි. එසේ ම මේ ජනතාව ගේ දේශපාලනික බලයේ වර්ධනයක්‌ ද ඇති වී තිබේ. මේ අනුව සහ-කළමනාකරණය වැදගත් සංරක්‌ෂණ මෙවලමක්‌ සේ යොදාගත හැකි බව ද පෙනේ. (මූලාශ්‍රයMarine Policy, DOI:
10.1016/j.marpol.2012.12.022)

පුවත් සැකෙවින්
ගැබොන් දේශයේ අලි මරණ ඉහළට

අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති රටක්‌ වන ගැබොන් දේශයේ පසුගිය දශකයකට ආසන්න කාලයක්‌ ඇතුළත අලින් විශාල ප්‍රමාණයක්‌ මරා දමා ඇති බව පසුගිය සතියේ වාර්තා විය. 2004 වර්ෂයෙන් පසුව ගෙවී ගිය කාලයේ දී එරට එක්‌ ජාතික වනෝද්‍යානයක පමණක්‌ අලින් 11,000කට අධික ප්‍රමාණයක්‌ මරා දමා ඇති බව රජයේ වාර්තාවල සඳහන් විය.

අප්‍රිකාවේ වාසය කරන අලි විශේෂ අතරින් කුඩා විශේෂය වන වනාන්තර අලින් ගෙන් අඩක්‌ පමණ වාසය කරන්නේ ඝන වනාන්තරවලින් වැසුණු රටක්‌ වන ගැබොන්හි ය. ඇත් දළ සඳහා ඇති අධික ඉල්ලුම මේ අලින් මරාදැමීමට හේතු වී ඇත. මේ වනාන්තර අලි විශේෂයේ ඇතුන් ගේ දළ වඩාත් සෘජු වීම, ශක්‌තිමත් වීම හා රෝස පැහැ ගැනීම නිසා ඇත් දළ ලබා ගැනීමේ දී මේ අලින් ගේ දළ සඳහා ඇති ඉල්ලුම ඉහළ ය.

චීනයේ වායු දූෂණය පාලනයට පියවර

මේ වන විට දැවෙන ප්‍රශ්නයක්‌ බවට පත් ව ඇති වායු දූෂණය පාලනය කිරීම සඳහා රටපුරා බෙදාහරිනු කරනු ලබන ඉන්ධනවල ප්‍රමිතිය පිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා වූ කාලසටහනක්‌ චීන රජය නිකුත් කර තිබේ. එහෙත් වසර හතරක්‌ පමණ යන තුරු මේ ප්‍රමිති අනිවාර්ය නො වීම මෙහි ඇති අඩුපාඩුවක්‌ සේ සැලකේ.

වාහන හා කර්මාන්තශාලාවලින් නිකුත් වන වායු විමෝචන නිසා, චීනයේ දැකිය හැකි වායු දූෂණය ලෝකයේ වඩාත් බරපතළ තත්ත්වයේ පරිසර දූෂණයක්‌ ලෙස සැලකේ. එය එරට ජනතාව ගේ ද දැඩි අවධානයට ලක්‌ ව ඇති කරුණකි. එරට නාගරික ප්‍රදේශවල මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයේ පවතී. පසුගිය සති කිහිපයක කාලයේ දී එරට ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉතා දූෂිත තත්ත්වයකට පැමිණ තිබුණේ එතෙක්‌ කලක්‌ මේ තත්ත්වය පාලනය සඳහා අනුගමනය කළ සියලු පියවර ප්‍රශ්න කරමිනි.

මහා බාධක පරය ආරක්‌ෂා කරන බව ඔස්‌ට්‍රේලියාව පවසයි


ඔස්‌ට්‍රේලියාව මහා බාධක පරය ආරක්‌ෂා කිරීමට පසුගිය දා ප්‍රතිඥා ලබා දී තිබේ. ඒ අනුව පරයට හානි වන ආකාරයෙන් නාවික කටයුතු හා වෙනත් නව සංවර්ධන කටයුතු සිදු නො කරන බව එරට බලධාරීන් පවසා ඇත.

මේ වර්ෂයේ පෙබරවාරි මස පළමුවැනි දාට පෙර පරය ආරක්‌ෂා කිරීමට යම් පියවරක්‌ නො ගන්නේ නම්, එය අනතුරේ ඇති ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමට ඉඩ ඇති බව යුනෙස්‌කෝ (UNESCO) සංවිධානය පසුගිය වර්ෂයේ දී දැනුම් දී තිබිණි. මහාබාධක පරය වැනි සුවිශේෂ පරිසර පද්ධතියක ආරක්‌ෂිත බව ඒ ආකාරයෙන් අඩු වීම ඒ ආශ්‍රිතව සිදු වන සංචාරක කර්මාන්තයට හා පොදුවේ රටේ ගරුත්වයට එතරම් යෝග්‍ය නො වේ.

ලෝකයේ විශාලතම කොරල්පරයක්‌ සේ සැලකෙන මේ කිලෝමීටර් 2000ක්‌ පමණ දිගු මහා බාධක පරය විවිධ හේතු නිසා තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ අතර දේශගුණ වෙනස්‌ වීම හා ජෛවීය සංරචකවල වෙනස්‌වීම් නිසා මේ පරය හායනයට ලක්‌ වීමේ අවදානමක්‌ පවතී. එහි මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ වර්තමානයේ කොරල් අහිමි වන වේගය අනුව 2022 වන විට කොරල් ආවරණය අඩකින් පමණ අඩු වීමට ඉඩ ඇති බවයි.

http://www.vidusara.com/2013/02/13/feature2.html

No comments:

Post a Comment