Wednesday, May 30, 2018

දේශගුණ සාකච්ඡාවල අනාගතය කෙබඳු වේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/16/feature4.html




පසුගිය සතියේ (2018 මැයි මස මුලදී), ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා වාරය එතරම් සාර්ථක වූවක්‌ නො වන බව වාර්තා වෙයි. පසුගිය වර්ෂයේ දී පැවැති දේශගුණ සමුළුවේ දී එකඟ වූ ආකාරයට පැරිස්‌ දේශගුණ ගිවිසුම පිළිබඳ ව රීති පොත (rule book) ලෙස පොදුවේ හඳුන්වනු ලබන ලේඛනය සකස්‌ කිරීම මේ වර්ෂයේ අවසානය වන විට සිදු කළ යුතු ව තිබේ. මෙය 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ව ඇති පැරිස්‌ ගිවිසුම හා සම්බන්ධ පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීමට අවශ්‍ය රීති හා ක්‍රියාවලි පැහැදිලි කරන ලේඛනයක්‌ වනු ඇත.

එහෙත් මේ හා සම්බන්ධ ඇතැම් කරුණු පිළිබඳ ව එකඟතා ඇති නො වීම මේ සාකච්ඡා වාරයේ දී ද දැකිය හැකි වූ කරුණ විය. පැරිස්‌ දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ව ඇති වෙනස්‌කම් විසඳාගැනීමට රටවල් අපොහොසත් වීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇති වී තිබෙයි. ඒ අනුව බොන් සාකච්ඡා වටය අවසන් වූයේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ තායිලන්තයේ බැංකොක්‌ නගරයේ දී තවත් අතිරේක සාකච්ඡා වටයක්‌ පවත්වා මේ පිළිබඳ යම් ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමේ අපේක්‌ෂාවෙනි. එමඟින් වර්ෂය අවසානයේ දී පෝලන්තයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුවේ දී අමාත්‍ය මට්‌ටමින් සාකච්ඡා කිරීමට හැකි කිසියම් වූ ලේඛනයක්‌ සකස්‌ කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බවක්‌ පෙනෙයි.

මේ සාකච්ඡා වටය ද ඉදිරියට යැම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ සාමාන්‍යයෙන් ඇති වන ප්‍රධාන ගැටලු දෙක ම බව පෙනෙයි. එනම් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ගැටලුව හා දේශගුණ අරමුදල් සම්පාදනය පිළිබඳ ගැටලුවයි. මේ පිළිබඳව දියුණු හා දියුණු වන රටවලට එකඟ වීමට නොහැකි වීම මෙසේ සාකච්ඡා තීරණ ගැනීමෙන් තොර ව අවසන් වීමට බලපා ඇති මූලික හේතුව වී ඇත. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ සාකච්ඡා වාරයේ ප්‍රගතිය ඉතා අඩු බව විචාරකයන්ගේ අදහසයි.

දේශගුණ අරමුදල් සම්පාදනය


දේශගුණ වෙනස්‌ වීමෙන් ආපදාවට පත් වන දියුණු වන රටවලට සහාය වීම සඳහා අරමුදලක්‌ සැපයීම, එකඟතා ඇති කරගැනීමට නොහැකි වූ එක්‌ අංශයකි. එයට මූලික හේතුව වූයේ 2020 වර්ෂය වන විට අපේක්‌ෂා කරන ඩොලර් බිලියන 100ක අරමුදල ලබා දෙන බවට තවමත් තහවුරු නො වීම ය. එක්‌ නිල අධ්‍යයනයකට අනුව 2014 වන විට ඩොලර් බිලියන 62ක මුදලක්‌ ලැබෙන බවට පොරොන්දු වී තිබෙයි. එහෙත් දියුණු වන රටවලට මෙයින් කොපමණ මුදලක්‌ කවර කලක දී ලැබෙන්නේ ද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය වූ බව පෙනෙයි.

බොන් සාකච්ඡා වාරය ආරම්භයේ දී පමණ ඔක්‌ස්‌ෆෑම් ආයතනය මඟින් නිකුත් කරන ලද දේශගුණ මූල්‍ය ඡායා වාර්තාව (Climate Finance Shadow Report 2018 : Assessing Progress Towards the 100bn Commitment) නම් වාර්තාවකට අනුව 2015-16 කාලය වන විට ද ලැබී ඇති පොරොන්දු අනුව ලැබෙන්නට අවස්‌ථාව ඇත්තේ ඩොලර් බිලියන 48ක්‌ පමණ මුදලක්‌ පමණකි. එය පොරොන්දු වී ඇති මුදලින් අඩක්‌ පමණ ප්‍රමාණයකි. 2020 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක්‌ පමණක්‌ වන තත්ත්වයක්‌ ඇතුළත මෙය ප්‍රමාණවත් නො වන බව පැහැදිලි ය. මේ අතරින් ද දේශගුණ අරමුදල් ලෙස සැලකිය හැක්‌කේ ඩොලර් බිලියන 16-21 අතර ප්‍රමාණයක්‌ පමණක්‌ බව ද සඳහන් වෙයි. සෙසු මුදල් ආධාර යටතේ එයි.

එසේ ම මෙහි දී දියුණු වන රටවල් මේ ඩොලර් බිලියන 100ක මුදල පිළිබඳ ව වැඩි පැහැදිලිතාවක්‌ අපේක්‌ෂා කළ බව පෙනෙයි. මේ ආකාරයෙන් මුදල් ලැබීම පමා වීම වැදගත් වන්නේ එය දේශගුණ වෙනස්‌ වීම හා සමඟ බලපෑමට ලක්‌ වන ආර්ථික අතින් ශක්‌තිමත් නො වන රටවලට බලපාන නිසා ය. මෙය වැදගත් ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීමෙන් බරපතළ බලපෑමකට ලක්‌ වන දූපත් රාජ්‍ය මේ තත්ත්වයෙන් වඩාත් පීඩා විඳින රටවල් අතර වෙයි.

හරිතාගාර වායු සීමා කිරීම


හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ කරුණ මේ සාකච්ඡා වාරයේ දී අවධානයට ලක්‌ වූ අනෙක්‌ කරුණ වෙයි. විශේෂයෙන් දියුණු හා දියුණු වන රටවල් සියල්ල ම මේ සම්බන්ධ ව යම් කැප වීමක්‌ සිදු කළ යුතු ව ඇති බව දැනට ඇති පිළිගැනීම ය. ඒ සඳහා ස්‌වෙච්ඡාවෙන් ඇති කරගත් ඉලක්‌ක මේ වන විට ඒ ඒ රටවල් විසින් ලබා දෙනු ලැබ තිබේ. කෙසේ වෙතත් මේ ප්‍රමාණය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම ආරක්‌ෂsත යෑයි පිළිගන්නා සෙල්සියස්‌ අංශක දෙකේ මට්‌ටමට සීමා කිරීමට ප්‍රමාණවත් නො විය හැකි බව මේ වන විට පෙන්වා දී ඇත.

දියුණු වන රටවල හරිතාගාර වායු විමෝචන සම්බන්ධ ව වැඩි විනිවිදභාවයක්‌ තිබීම දියුණු රටවල් අපේක්‌ෂා කරන බව ද පෙනෙයි. එමඟින් අදාළ විමෝචන තහවුරු කරගත හැකි ක්‍රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කරගෙන ඇත. පැරිස්‌ සම්මුතිය අනුව පොරොන්දු වී ඇති විමෝචන සීමා කිරීම් සැබැවින් ම සිදු වීමට නම්, එවැනි නීති තිබිය යුතු බව දියුණු රටවල අදහස බව පෙනෙයි.

චීනය ඇතුළු ව තවත් දියුණු වන රටවල් කිහිපයක්‌ මේ වේගයෙන් අඩු සාකච්ඡා මාලාව නිසා 2015ට පෙර තිබූ තත්ත්වයට ආපසු යැමට පවා යෝජනා කළ බවක්‌ සඳහන් වේ. ඒ දියුණු රටවල් පමණක්‌ කාබන් විමෝචන සීමා කළ යුතු තත්ත්වයක්‌ පිළිබඳ යෝජනාවකට ය. කෙසේ වෙතත් වාසනාවකට මෙන් බොහෝ දියුණු වන රටවල් මේ සඳහා එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ ඇතැම් අංශ පිළිබඳ ව නැවතත් සාකච්ඡාවට ගැනීම පමණකි.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ වර්ෂය අවසානයේ පැවැත්වෙන වාර්ෂික දේශගුණ සමුළුවට පෙර කිසියම් දැනෙන මට්‌ටමේ ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමට නම් තවත් බොහෝ දුර යා යුතු බව දේශගුණ සාකච්ඡාවලට සම්බන්ධ වූ අයගේ අදහස වෙයි. ඒ සඳහා වේගවත් ව කටයුතු කිරීම වැදගත් බව ද අවධාරණය කර ඇත.

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ දී පෝලන්තයේ කතෝවිස්‌ නගරයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුව 2015 වර්ෂයේ දී පැරිස්‌ ගිවිසුම සම්මත කිරීමෙන් පසු ව පවත්වනු ලබන වඩාත් තීරණාත්මක වූ දේශගුණ සමුළුව විය හැකි බව ඇතැමුන් පෙන්වා දී තිබෙයි.

දේශගුණ සාකච්ඡා ඒ ආකාරයෙන් ඇදී යද්දී මෑත කාලයේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ඇති වූ වෙනස්‌කම් ද සලකා බැලීම වැදගත් ය.

ඇමෙරිකාවේ දේශගුණ විරෝධී කටයුතු තවදුරටත්


ඇමෙරිකාවේ ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් NASA ආයතනයේ හරිතාගාර වායු නිරීක්‌ෂණය පිළිබඳ ව ක්‍රියාත්මක වූ පද්ධතියක්‌ සඳහා අරමුදල් ලබා දීම නවතා දැමීමට ජනාධිපති ට්‍රම්ප් ගේ පාලනය තීරණය කර ඇති බව වාර්තා වූයේ ද පසුගිය සතියේ දී ය. ඒ අනුව කාබන් නිරීක්‌ෂණ පද්ධතිය (Carbon Monitoring System) නමින් හඳුන්වනු ලබන, වාර්ෂික ව ඩොලර් මිලියනයක්‌ පමණ මුදලක්‌ වැය කරමින් ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු ප්‍රවාහය නිරීක්‌ෂණය කරනු ලබන ව්‍යාපෘතියේ කටයුතු නවතා දැමීමට නියමිත ය. මේ වන විට පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වන බවට ප්‍රකාශයට පත් කර ඇති ඇමෙරිකාවේ මේ තීරණය එතරම් පුදුමයක්‌ ද නො වේ.

මෙමඟින් ඇති විය හැකි බලපෑම පිළිබඳ ව Science සඟරාව අදහස්‌ පළ කර ඇත. ඒ අනුව ඒ ඒ රටවල ජාතික මට්‌ටමේ වායු විමෝචන සීමා කිරීම් මැනීම සඳහා ඇති හැකියාව අඩාළ විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය මැනීම වැදගත් ය. එය අතීතයේ සිට ම අභියෝගයක්‌ වූ කරුණකි. මේ සඳහා විවිධ රටවල් තම රටවල විමෝචන ලෙස ඉදිරිපත් කරන්නේ භාවිත කරන ඉන්ධන ප්‍රමාණය මත පදනම් වූ ගණනය කිරීමකි. මෙය එතරම් සාර්ථක නො වන අතර, එමඟින් අදාළ රටවලට වංචා කිරීමට ද හැකියාවක්‌ ඇති බව සැලකෙයි.

මේ නිසා චන්ද්‍රිකා හා ගුවන්යානා හෝ භාවිත කරමින් හරිතාගාර වායු විමෝචන මැනීම සඳහා වඩා නිවැරැදි ක්‍රම සකස්‌ කිරීම සඳහා ප්‍රයත්න ගෙන තිබේ. ඒ අතරින් NASA ආයතනයේ පෙර කී ක්‍රමවේදය වඩාත් දියුණු හා නිවැරැදි ක්‍රමයක්‌ සේ පිළිගනු ලැබෙන්නකි. මේ දත්ත යොදාගනිමින් දියුණු රටවල් විසින් දියුණු වන රටවල් අතරින් ඇතැම් රටවල, එනම් වේගයෙන් දියුණු වන ආර්ථිකයක්‌ සහිත රටවල විමෝචන වේගයෙන් ඉහළ ගොස්‌ ඇති බව පෙන්වා දෙනු ලැබ තිබෙයි.

මේ අරමුදල් සැපයීම අහෝසි වීම නිසා කාර්යක්‌ෂම මෙන් ම විනිවිදභාවයෙන් යුක්‌ත හරිතාගාර වායු විමෝචන නිරීක්‌ෂණ පද්ධතියක්‌ ලෝකයට අහිමි විය හැකි ය. මෙය පැරිස්‌ ගිවිසුමේ ප්‍රතිඵලවලට බලපෑමක්‌ ඇති කළ හැක්‌කක්‌ විය හැකි බව පෙන්වා දී ඇත. ඒ, හරිතාගාර වායු ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම හා නිවැරැදි ව ගණනය කිරීම පැරිස්‌ ගිවිසුමේ සාර්ථකත්වයට වැදගත් වන නිසා ය. මෙහි දිගුකාලීන බලපෑම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌ ව ඇති කරුණකි. විශේෂයෙන් සැලකිලිමත් විද්‍යාඥයන්ගේ සංගමය (Union of Concerned Scientists) නම් සක්‍රිය ව කටයුතු කරන පිළිගත් කණ්‌ඩායම මේ සම්බන්ධ ව සිය අප්‍රසාදය පළ කර තිබිණි.

මේ අනුව ඉදිරියේ දී කාබන් විමෝචන ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම පිළිබඳ වගකීම ද යුරෝපය වෙත පැවරෙනු ඇති බව සිතිය හැකි ය. මේ වන විට ද යුරෝපය සතු ව ඔවුන් ගේ ම වූ කාබන් නිරීක්‌ෂණය කරන චන්ද්‍රිකාවක්‌ ඇති අතර ඉදිරියේ දී තවත් චන්ද්‍රිකා දියත් වනු ඇත. විද්‍යාත්මක දැනුමේ මෙන් ම දේශගුණ සටනේ නායකත්වය ද යුරෝපය වෙත යොමු වෙමින් තිබෙයි.

No comments:

Post a Comment