Thursday, October 31, 2019

ලෝකය තවදුරටත් හරිතවත් නොවේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2019.09.18, පි. 11 (Vidusara)

Vidusara - Not available online


ලෝකය පුරා සැලකිය යුතු ප‍්‍රදේශයක ශාක වර්ධනය අඩුවෙමින් පවතී. එනම්, ලෝකයේ හරිතවත් බව තවදුරටත් ඉහළ යන්නේ නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය තවදුරටත් හරිතවත් වීම අදින් වසර විස්සකට පමණ පෙර කාලයකදී නැවතී තිබෙයි. ඉහතින් සරලව සඳහන් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී Science Advances සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් හෙළි දරව් වී තිබෙන කරුණුය.

වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති ඇතුළු හරිතවත් බවට හේතුවන ශාක වැස්මෙන් යුක්ත බොහෝ පරිසර පද්ධති සේවා සපයයි. ජෛව විවිධත්වය සඳහා වාසස්ථාන සැලසීම, ඔක්සිජන් සැපයීම, ආහාර නිෂ්පාදනය කරන ප‍්‍රාථමික නිෂ්පාදකයා ලෙස, සෞන්දර්යාත්මක බව යනාදි විවිධ ප‍්‍රයෝජනවලට අමතරව, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද මෙම පරිසර පද්ධති වැදගත් වෙයි. එම පරිසර පද්ධති සේවා අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම හරිතවත් පරිසර පද්ධතිවල පැවැත්ම හා වර්ධනය අත්‍යවශ්‍යය.

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී චන්ද්‍රිකා ඡුායාරූප යොදාගනිමින් ලෝකයේ හරිතවත් බව වෙනස් වූ ආකරය පිළිබඳව කරුණු විමසා තිබෙයි. 1982 සිට 1998 වර්ෂය දක්වා වූ කාලයේදී ලෝකය පුරා වෘක්ෂලතා ආවරණයේ වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් ලෝකය පුරාම පාහේ දැකිය හැකි වී ඇත. එහෙත් අදින් වසර විස්සකට පමණ පෙර එම තත්ත්වය හදිසියේම වාගේ නැවතී ඇත. එතැන් සිට ලෝකයේ වෘක්ෂලතා දැකිය හැකි භූ දර්ශනවලින් 59%ක් පමණ ප‍්‍රමාණයක දැකිය හැකි වූයේ දුඹුරු පැහැවීමේ ප‍්‍රවණතාවයකි හෙවත් එය ශාක වර්ධනයේ අඩුවීමකි.

මෙම තත්ත්වය අධ්‍ය්‍යනය සඳහා ඔවුන් ශාකවල රුක්වලලූ යොදාගනිමින්ද ශාක වර්ධනය පිළිබඳ මිණුම් කටයුතු සිදුකර ඇත. එහිදී පෙනීගොස් තිබෙන ආකාරයට, 1998 වර්ෂයෙන් පසුව ගෙවුණු කාලයේදී ලෝකයේ අධ්‍යයනය කළ ස්ථාන 171ක් අතරින් 100ක පමණ ශාකවල රුක්වලලූවල පළලෙහි සාමාන්‍යය අඩු වී තිබෙයි. ඒ 1998ට පෙර එවැනි අඩුවීමක් දැකිය හැකි වී නැත. මෙයින්ද ශාක වර්ධනයර අඩුවීමක් සිදු වී තිබෙන බව තහවුරු වී ඇත.

මෙමගින් පැවසෙන්නේ ලෝකයේ සෑම ප‍්‍රදේශයකම පාහේ දැකිය හැකි හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව නොවෙයි. නිදසුනක් ලෙස අධික ශීතල ස්වභාවය අඩු වී යාමත් සමඟ ආක්ටික් ප‍්‍රදේශය හරිතවත් වෙමින් පවතී. එවැනි තවත් හරිතවත් බව වර්ධනය වෙමින් පවත්නා වෙනත් කලාපද ලෝකයේ පවතී. එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ලෝකයේ දැකිය හැකි හරිතවත් ප‍්‍රදේශවලින් අඩකට අධික ගණනක හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව හෙවත් ශාක වර්ධනය අඩු වෙමින් ඇති බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලෝකයේ වෘක්ෂලතා ආවරණයෙහි ගෝලීය අඩුවීම සිදු වී ඇති බව වාර්තාගත කරන පළමු අධ්‍යයනය මෙය නොවෙයි. 2010 වර්ෂයේදී Science සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව ලෝකයේ භෞමික පරිසරයෙහි ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය (net primary production) 1982 සිට 1999 දක්වා කාලයේදී වර්ධනය වී ඇත. එහෙත් 2000-2009 අතර කාලයේදී මෙම අගය අඩු වී තිබෙයි. ඒ සඳහා බලපා ඇත්තේ ලෝකයේ දකුණු අර්ධගෝලයේ පැවති වියළි කාලගුණ තත්ත්වයයි. මෙම ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය මගින් ශාකවල ජෛව ස්කන්ධය ලෙස තැන්පත් වන වායුගෝලීය කාබන් ප‍්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.1192666)

බලපාන හේතුව


ශාක වර්ධනය මෙසේ අඩු වී යෑම සඳහා හේතු වී තිබෙන බවට මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙන කරුණු මෙහිදී වැදගත් වෙයි. ඒ අනුව, වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය හෙවත් තෙතමනය අඩු වීම මෙම තත්ත්වය සඳහා හේතු වී තිබෙයි. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ දේශගුණ වෙනස් වීම නිසාය.

මෙම තත්ත්වය වාෂ්ප පීඩන ඌනතාවය (vapor pressure deficit) ලෙසින් හඳුන්වනු ලබන අගය හා සම්බන්ධ විය හැකි බව දේශගුණ වාර්තා අනුව පැහැදිලි කර තිබෙයි. මෙමගින් අදහස් වන්නේ වායුගෝලයේ උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවත්නා විට ඇති කරනු ලබන පීඩනය හා ඇත්ත වශයෙන්ම වායුගෝලයේ පවත්නා පීඩනය වෙනසයි. වායුගෝලයේ සත්‍ය වශයෙන්ම පවත්නා ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වන විට මෙම ඌනතාවය ඉහළ යයි. මෙම ඌනතාවය ඉහළ නම් එය වායුගෝලීය නියඟයක් (atmospheric drought) ලෙස හඳුන්වනු ලැබෙයි. එවැනි අවස්ථාවකදී ශාක පත‍්‍රවල වායු හුවමාරුව සිදුකරන පූටිකා විවර වැසී යන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රභාසංස්ලේෂණ වේගය අඩු වෙයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශාකවල වර්ධනය අඩු වීමය.

මෙම අධ්‍යයනය සඳහා ජගත් මට්ටමේ දේශගුණ දත්ත කට්ටල හතරක් පමණ සම්බන්ධ කරගෙන තිබෙයි. එහිදී හෙළි ව තිබෙන්නේ ලෝකයේ වෘක්ෂලතා ආවරණය දැකිය හැකි ප‍්‍රදේශ අතරින් 53%ක පමණ වාෂ්ප පීඩන ඌනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් 1990 දශකයෙන් පසුව දැකිය හැකි බවයි. එනම් වියළි වීමේ ස්වභාවයකි. පෙර සඳහන් කරන ලද 2010 අධ්‍යයනෙය්දී ද මෙම හරිතවත් බව නැවතීම හෝ අඩු වීම සඳහා හේතුව ලෙස වියළි ස්වභාවයක් පැවතීම හෙවත් ජලය හා සම්බන්ධ කරුණක් විය හැකි බව යෝජනා කර තිබිණි.

මෙසේ වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වීමට බලපාන සාධක කිහිපයක් දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ ඒවාය. නිදසුනක් ලෙස සාගරය හරහා හමා එන සුළගේ වේගය අඩු වී තිබෙන අතර එහි ප‍්‍රතිඵලය වන්නේ ජලවාෂ්ප ගොඩබිම් ප‍්‍රදේශය හරහා ගමන් කිරීම අඩු වීමයි. මේ අනුව ශාක ආවරණය සහිත ප‍්‍රදේශවලට ලැබෙන ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වෙයි. එමෙන්ම මෙම පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, ඉහළ යන උෂ්ණත්වය නිසාද යම් බලපෑමක් සිදුවෙයි. කිසියම් උෂ්ණත්වයකදී වායුගෝලයට රදවා ගැත හැකි උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවතී. එහෙත් භූමියේ උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයට රදවා ගත හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යයි. එවිට මෙහි සඳහන් වන වාෂ්ප පීඩන උෳනතාවය ද ඉහළ යයි.

මෙම තත්ත්වය අද වන විට බෙහෙවින් අඩු වී තිබෙන දේශගුණ සංශයවාදීන්ගේ තර්ක තවදුරටත් අසරණ කරන්නකි. දේශගුණ වෙනස් වීම, මිහිතලය උණුසුම් වීම නිදා ඇති වන බලපෑම් සැහැල්ලූ කිරීමට ඔවුන් දක්වන එක් තර්කයක් වන්නේ කාබන් ඩයොක්සයිඞ් වායුව ඉහළ ප‍්‍රමාණවලින් ඇති විට ශාක වර්ධනය වේගවත් වනු ඇති බවයි. මේ තත්ත්වය ලෝකයේ ආහාර සැපයුම සඳහා සුභවාදීව බලපාන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මෙම පර්යෛෂණයෙන් පෙනෙන්නේ එවැන්නක් සිදුනොවන බවයි.

මෙයට හේතුව විද්‍යාඥයන් විසින් පැහැදිලි කර තිබෙන්නකි. ඉහළ යන කාබන් ඩයොකසයිඞ් වායු සාන්ද්‍රණය, ශාකවලට ඵලදායී ලෙස බලපාන බව සත්‍යයකි. ඒ ශාකවල ආහාර නිෂ්පාදනය හෙවත් අස්වැන්න ඉහළ නැංවීම සඳහාය. එහෙත් එම සාධනීය බලපෑම දැකිය හැක්කේ කාබන් ඩයොක්සයිඞ් වායුව යම් සාන්ද්‍රණයක් දක්වා ඉහළ යනතෙක් පමණි. ශාකවල ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා බලපාන සාධක අතර කාබන් ඩයොක්සයිඞ් යනු එක් සාධකයක් පමණකි. ඉහළ යන උෂ්ණත්වය, වෙනස්වන කාලගුණ තත්ත්ව, ජල සුලභතාවයේ ඇති වන වෙනස්කම් මෙහිදී බලපාන සෙසු සාධක අතර වෙයි.

එබැවින් බොහෝ පර්යේෂකයන් පෙන්වා දී තිබෙන පරිදි සමස්තයක් ලෙස ගත් විට ලෝකයේ වෘක්ෂලතා අතරින් වැඩි ප‍්‍රමාණයකට දේශගුණ වෙනස් වීම නිෂේධනීය ලෙස බලපානු ඇති බව මෙම අධ්‍යයනයෙන්ද යළිත් පැහැදිලි කර ඇත. මීට කෘෂි භෝගද ඇතුළත් වෙයි. මෙම අධ්‍යයනය මගින් පෙනෙන්නේ මෙම තත්ත්වය අද වන විටද සිදුවෙමින් පවත්නා බවයි.


අනාගතයට අභියෝගයක්?


දේශගුණ ආකෘතිවලින් පෙන්වා දී තිබෙන පරිදි ලෝකය උණුසුම් වන විට ඉහත සඳහන් වාෂ්ප පීඩන ඌනතාවය දිගින් දිගටම වර්ධනය විය හැකිය. විශේෂයෙන් එළැඹෙන දශකවලදීද මෙම වායුගෝලීය නියඟය තවදුරටත් වර්ධනය වනු ඇත. පෙන්වා දී තිබෙන පරිදි එම තත්ත්වය මෙම ශතවර්ෂය අවසන් වන තුරුම පාහේ පැවතිය හැකිය. ඒ අනුව, එය ශාකවල වර්ධනය සඳහා සැලකිය යුතු නිශේධනීය බලපෑමක් ඇති කළ හැකිය.

මෙහි තිබෙන තවත් වැදගත්කමක් වන්නේ දේශගුණ වෙනස් වීම ශාකවල වර්ධනයට බලපාන අතර අඩුවෙමින් යන ශාක වර්ධන වේගය දේශගුණ වෙනස් වීමේ වේගයට බලපෑ හැකි වීමයි. වනාත්තර හා වෙනත් භූදර්ශනවල පවත්නා ශාක යනු වායුගෝලයෙන් කාබන් ඉවත් කර සංචිත කළ හැකි පද්ධතිය. එබැවින් ඒවා දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා වැදගත් වන්නකි. එහෙත් ශාක වර්ධනය අඩු වීම යනු, කාබන් සංචිත කිරීම අඩුවීමකි. මෙය දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව පැහැදිලි අභියෝගයක් වනු ඇත.

මෑතකදී ප‍්‍රකාශයට පත් එක් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ හෙක්ටයාර බිලියන 0.9ක ප‍්‍රමාණයක වනාන්තර වගා කළ හැකි නම්, මිනිසුන් විසින් නිපදවූ මුළු හරිතාගාර වායු ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ ඉවත් කිරීමට හැකි බවයි (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.aax0848). එහෙත් ලෝකයේ ශාක වර්ධනයේ ගැටලූවක් සිදුවන්නේ නම් දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් සිදුකරන වන වගාවල ඵලදායී බව අඩු වනු ඇති බව පැහැදිලිය.

එබැවින් වායුගෝලයේ තෙතමනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු සාධකයක් බව පැහැදිලිය.

මූලාශ‍්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aax1396

No comments:

Post a Comment