ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2019.09.11, පි. 11 සහ 20 (Vidusara)
Vidusara - Not available onlineනූතන මානවයාගේ මෙතෙක් දන්නා පැරණිතම පූර්වජයා ලෙස සැලකිය හැකි ආදිමානවයකුට අයත් හිස්කබලක් අප‍්‍රිකාවෙන් සොයාගැනීම පිළිබඳව පසුගිය මාසයේ වාර්තා විය. මෙය මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් හා දුර්ලභ සොයාගැනීමක් වනවා පමණක් නොව, එහි පැරණිකම පිළිබඳව සලකන විට ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන පොසිලයක් බවද පෙනෙයි.
අප‍්‍රිකා මහාද්වීපයේ ඉතියෝපියාවේ පිහිටා තිබෙන වොර්සානෝ-මිල් (Woranso-Mille) නම් ප‍්‍රදේශයේ වයඹ දිගින් පිහිටි ස්ථානයක කැනීම් අතරතුර 2016 වර්ෂයේදී එක් පර්යේෂකයෙකුට ප‍්‍රදේශවාසියෙකු විසින් ගෙනැවිත් දුන් ආදිමානවයකුට අයත් උඩු හනු අස්ථියකින් මෙම සොයාගැනීම පිළිබඳ කතාව ආරම්භ වෙයි. එම ලැබුණු ස්ථානය වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුව උඩු හනුව ලැබුණු තැන සිට මීටර් 3ක් පමණ ඔබ්බෙන් තිබී හිස්කබලක කොටස් ලැබී ඇත. මේ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර විශ්ලේෂණවලින් එහි වැදගත්කම හෙළි වී තිබෙයි.
පැරණිම ආදිමානව පොසිලය?
මෙම හිස්කබල Australopithecus anamensis විශේෂයට අයත් ආදිමානවයකුගේ බවට විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත්තේ මූලික වශයෙන් එහි රදනක දත, උඩුහනුව හා ශංඛක අස්ථිය (temporal bone) අස්ථියෙහි ව්‍යුහය හා වෙනත් ලක්ෂණ පදනම් කරගනිමිනි. එම හිස්කබලේ දින වකවානු අනුව එම ආදිමානවයා අදින් වසර මිලියන 3.8ක් පමණ කාලයකට පෙර ජීවත් වූ අයෙකි. රසායනික වශයෙන් එකිනෙකට සම්බන්ධිත ගිනි කඳු ස්තර (chemically correlated volcanic layers) හා පුරාචුම්බක ස්තරායනය (palaeomagnetic stratigraphy) හා දින නියම කර තිබෙන ගිනි කඳු අළුවලින් සැදුණු පාෂාණ (tuff) පිළිබඳ දත්ත අනුව මෙම කාලනිර්ණය සිදුකර ඇත.අදින් වසර මිලියන 4ත් 2ත් අතර කාලයේදී අප‍්‍රිකාවේ වාසය කළ මූලික ආදි මානව විශේෂය ලෙස සැලකෙන්නේ මෙම Australopithecus ගනයට අයත් ආදිමානවයන්ය. ඔවුන් අප මෙන්ම ඍජුව ගමන් කළ අතර එහෙත් මොළයේ ප‍්‍රමාණය නූතන මානවයාට වඩා කුඩා විය. Australopithecus ගනයට අයත් විශේෂ ගණනාවක් පිළිබඳ පොසිල සාධක කෙන්යාව හා ඉතියෝපියාව වැනි රටවලින් ලැබී තිබෙයි. ලෝක ප‍්‍රකට ආදිමානව පොසිලයක් වන ලූසී අයත් වන්නේ මෙම ගනයටම අයත් වන Australopithecus afarensis විශේෂයටය.
1995 වර්ෂයේදී මුලින්ම විස්තර කරන ලද, අප මාතෘකා කරගත් පොසිලය අයත් Australopithecus anamensis විශේෂය මෙතෙක් හෙළිදරව් වී තිබෙන වඩාත් පැරණිම ආදිමානව විශේෂයට අයත් පොසිලය වෙයි. ඔවුන් වාසය කර තිබෙන්නේ අදින් වසර මිලියන 4.2ත් 3.9ත් අතර කාලයේදී බව මෙතෙක් පිළිගැනිණි. මෙම ආදිමානව විශේෂය රුක්වාසී ජීවීතයෙන් ඉවත්ව දෙපා මත සංචරණය ආරම්භ කළ සමයේ විසූවන් බවටද විශ්වාස කරනු ලැබෙයි. එහෙත් ඔවුන්ගේ මුහුණ වානරයින්ගේ මෙන් නෙරා තිබීම, ශක්තිමත් හනු තිබීම, ප‍්‍රමාණයෙන් කුඩා මොළයක් තිබීම (එය නූතන මානවයකුගේ මොළය මෙන් හතරෙන් එකක් තරම්ය) වැනි ලක්ෂණ විශේෂයක් ගනියි.
එමෙන්ම මෙම විශේෂයට අයත් ආදිමානවයෙකුගේ මුහුණ කෙසේ වූයේද යන්න ගැන අදහසක් ලබාගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි. මෙම හිස්කබල යොදාගනිමින් මුහුණ ප‍්‍රතිනිර්මාණය කිරීමටද හැකියාව ලැබී තිබෙයි. පිරිමියෙකුට අයත් බව සිතිය හැකි වූ මෙම හිස්කකබල හිමි තැනැත්තා වියපත්ව මියගිය අයෙකි. එලෙස නිගමනය කිරීමට හේතුව වන්නේ දත් සැලකිය යුතු තරම් අධික ලෙස ගෙවී ගොස් තිබීමය.
පරිණාමය සඳහා වැදගත්කම
මෙම අනාවරණයත් සමඟ පරිණාමය පිළිබඳ මෙතෙක් පිළිගත් මතයකට යම් අභියෝගයක්ද එල්ල වී තිබෙයි.
සාමාන්‍යයෙන් පිළිගැනෙන පරිදි නූතන මානවයා අයත් වන අදින් වසර මිලියන 2.8කට පමණ පෙර කාලයකදී බිහි වූ බව සැලකෙන Homo ගනයේ මානවයින්ට පූර්වජයා වූයේ සුප‍්‍රකට ලූසී අයත් වන Australopithecus afarensis විශේෂයයි. එම විශේෂයේ පොසිල අතර වඩාත් මෑත ඒවා අදින් වසර මිලියන 3ක් පමණ කාලයකට අයත්ය. එය Homo ගනයේ මානවයින්ගේ සම්භවය හා ගැලපෙයි.
එහෙත් එම Australopithecus afarensis විශේෂයේ ආදිමානවයින්ගේ පූර්වජයා කවරෙක් වීද යන්න ගැන පොදු එකඟතාවයක් තිබුනේ නැත. එහෙත් මෙම ලිපියට මාතෘකා වූ පොසිලය අයත් Australopithecus anamensis විශේෂය Australopithecus afarensis විශේෂයේ පූර්වජයා බවට බොහෝ මානව විද්‍යාඥයින්ගේ මතය විය. එයට හේතුව වූයේ Australopithecus anamensis වඩා පැරණි වීමත් වඩා වානර ස්වරූපයත් ගැනීමත්ය. එසේ වූයේ නම් එම විශේෂ දෙක එකම කාලයක විසීමක් සිදුවිය නොහැකිය.
කෙසේ වෙතත් ඉතියෝපියාවෙන් මෙහි සඳහන් වන හිස්කබල සෙයාගැනීමත් සමඟ මේ පිළිබඳව යළිත් සිතා බැලීමට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. මෙම නව සොයාගැනීමට අනුව Australopithecus anamensis ආදිමානවයාගේ වානර ලක්ෂණ අඩුවීමට පටන් ගෙන තිබීම සැලකිය යුතු කරුණකි. එම විශේෂයේ රදනක දත් කුඩා වීමට පටන් ගෙන තිබෙයි. රදනක දත් විශාල වීම වඩා පැරණි ආදිමානව පොසිලවල දැකිය හැකි විය. එමෙන්ම හා කම්මුල් අස්ථි කැපී පෙනෙන්නට ගෙන තිබිණි.
එබැවින් දැන් මෙම හිස්කබල සෙයාගැනීමත් සමඟ මෙම විශේෂ දෙක අතර කලින් සිතුවාට වඩා වෙනස්කම් තිබෙන බව දැන් හෙළි වී ඇත. එම වෙනස්කම් මෙන්ම මෙම හිස්කබලෙහි දින නිර්ණය වන වසර මිලියන 3.8ක් යන්නට අනුව පෙනෙන්නේ එම විශේෂ දෙක අවම වශයෙන් වසර 100,000ක පමණ කාලයක් එකට ජීවත් වී ඇති බවයි. ඒ අනුව Australopithecus afarensis විශේෂයේ පූර්වජයා ලෙස Australopithecus anamensis සැලකිය හැකිද යන්න ගැටලූවක් වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වඩා තාර්කික පැහැදිලි කිරීමක් මෙම විද්‍යාඥයින් විසින්ම ඉදිරිපත් කර තිබෙයි. ඒ අනුව, Australopithecus anamensis විශේෂයේ ජීවීන් අතරින් වෙන්ව ගිය ගහනයක් Australopithecus afarensis බිහි වීමට හේතු වන්නට ඇත. අනෙක් කොටස තවදුරටත් Australopithecus anamensis ලෙස පැවත එන්නට ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට හැකියාව තිබෙන භූ විෂමතාවයක් එකල තිබූ බවට ඕනෑ තරම් සාධක පවතී. දැඩි බෑවුම් සහිත කඳු, ගිනි කඳු හා ලාවා ගලායෑම් නිසා එකම විශේෂයක ගහන කිහිපයක් එකිනෙකාගෙන් හුදකලා වීමට හා පරිණාමය වීමට ඕනෑ තරම් අවස්ථා තිබී ඇත. එම විශේෂ දෙක එකම කාලයක විසීම සිදුවිය හැක්කේ එවැනි තත්ත්වයක් තුළය.
මේ අයුරින් Homo ගහනයේ පූර්වජයා හැකි ආදිමානව විශේෂ දෙකක් එක් කලක විසූ බවට සාධක හමුවීම නිසා එයින් කුමන විශේෂයක් Homo ගනයේ පූර්වජයා වීද යන්න නිගමනය කිරීම තරමක දුෂ්කර එකක් කරයි. මෙය පරිණාමය වඩා සංකීර්ණ එකක් කරන බවද පෙනෙයි. එමෙන්ම මේ පිළිබඳව දැනට ඇති සාධක මගින් අවසන් නිගමනයකට පැමිණීමට අපහසුය.
කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. මෙම හිස්කබල නිසා Australopithecus anamensis යනු මේ වන විට අප දන්නා පැරණිතම ආදිමානව විශේෂය බවට දැන් සැකයක් නැති තරම්ය. එබැවින් මෙම සොයාගැනීම මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් සොයාගැනීමකි.
මූලාශ‍්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1513-8 හා 10.1038/s41586-019-1514-7
No comments:
Post a Comment