Saturday, August 31, 2019

ඇමසන් වනය ගිනි තැබුවේ එරට වැසියන්මද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.28, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2019/08/28/feature4.html




දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන ඇමසන් වනාන්තරයේ පසුගිය සති කිහිපයක කාලය තුළ ඇති වී තිබෙන මහා වන ගිනි අද වන විට ලෝකයේ ම අවධානය දිනාගැනීමට සමත් ව තිබෙයි. ප්‍රධාන වශයෙන් මේ ගිනි ඇති වී තිබෙන්නේ බ්‍රසීලයේ ය. එහෙත් බොලීවියාව හා තවත් රටවලට අයත් ඇමසන් වනාන්තර ප්‍රදේශ ද මේ ගින්නට ගොදුරු වී ඇත. මේ නිසා ඇති වූ දුමාරයෙන් බ්‍රසීලයේ ප්‍රධාන නගරයක්‌ වන සාඕ පවුලෝ නගරය දිවා කාලයේ දී අඳුරු වීම සිදු වූයේ පසුගිය සතියේ දී ය.

ලෝකයේ විශාලතම වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ කැළෑ ගිනි තබනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇති ව ය. එමෙන් ම කැණීම් කරන්නෝ ද වනාන්තර එළි පෙහෙළි කරන අතර ගිනි තැබීම්වලට දායක වෙති. විශේෂයෙන් වර්ෂයේ මැද භාගයේ දී එහි පවතින වියළි කාලගුණ තත්ත්වය මේ ගිනි උග්‍ර වීමට බලපායි. කෙසේ වෙතත් 2019 වර්ෂයේ සිදු වූ තරම් වන ගිනි තැබීම් වෙනත් වර්ෂවල නො පැවතීම විශේෂ තත්ත්වයකි.

මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව මේ වර්ෂයේ වාර්තා වී තිබෙන වන ගිනි ප්‍රමාණය 75,000ක්‌ පමණ වෙයි. 2018 වර්ෂයේ දී වාර්තා වූ වන ගිනි ගණන වූ 40,000ක ප්‍රමාණයට වඩා මේ අගය 85%කට වඩා අධික බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනී ගොස්‌ ඇත. ඒ අනුව ඇමසන් වනයේ වන ගිනිවල කැපී පෙනෙන වර්ධනයක්‌ මේ වර්ෂයේ දැකිය හැකි ය.

මේ තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමු කරගැනීමට සමත් ව තිබූ බව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්‌සේ පළ වූ පුවත්වලින් අපි දුටුවෙමු. පෙනෙන ලෙස එයට මූලික හේතුව වන්නේ සමාජ මාධ්‍ය ඔස්‌සේ ඊට ලැබුණු ප්‍රචාරයයි. එපමණක්‌ නො ව මෙරට ක්‍රියාකාරීන් පිරිසක්‌ ඇමසන් වනාන්තරය රැකගැනීමට බ්‍රසීල රජයට බල කරමින් මෙරට පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය අසල විරෝධතාවක්‌ සංවිධානය කරන්නට සූදානම් වූ බවක්‌ ද සමාජ මාධ්‍යවල දැකිය හැකි විය. එමෙන් ම එහි ප්‍රතිඵලයක්‌ ලෙසට මෙරට බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි මෑත සිට සංචාරකයන් අතර ආකර්ෂණයට ලක්‌ ව තිබෙන ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගින්නක්‌ ගැන ද සමාජ මාධ්‍යවල කතාවට ලක්‌ වී තිබිණි. අපේ රටේ පතන් බිම්වල වාර්ෂික ව ඇති වන වන ගිනි ගැන මින් පෙර එවැනි අවධානයක්‌ යොමු වූයේ කලාතුරකිනි.


ඇමසන් වනය හා ගින්නේ බලපෑම


ඇමසන් වනාන්තරය යනු වර්ග කිලෝ මීටර් මිලියන 6.7ක්‌ පමණ ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත වූ වනාන්තරයකි. එමෙන් ම අද වන විට ලෝකයේ වැඩි ම වන විනාශයක්‌ සිදු වන වනාන්තරය වන්නේ ද ඇමසන් වනාන්තරයයි. එයින් 20%ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට හෙළි පෙහෙළි කර තිබෙයි. එසේ ම ලෝකයේ ජෛව විවිධත්වයෙන් 10%කට පමණ වාසස්‌ථානය වන්නේ ද මේ ඇමසන් වනාන්තරයයි. එහි දැකිය හැකි ශාක අතරින් 75%ක්‌ පමණ ඇමසන් ප්‍රදේශයට පමණක්‌ සීමා වූ ඒවා ය. ඇමසන් ප්‍රදේශයේ ගලා යන ජල ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ජල ප්‍රමාණයෙන් 17%ත් 20%ත් අතර ප්‍රමාණයකි. ලෝකයේ ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 20%ක්‌ පමණ නිකුත් වන්නේ මේ වනාත්තරයේ තිබෙන ශාකවලින් බැවින් එය ලෝකයේ පෙනහළු ලෙස ඇතැම් විට හඳුන්වා දී තිබෙයි (මේ ජල ප්‍රමාණය හා ඔක්‌සිජන් පිළිබඳ සංඛ්‍යා ගැන මතභේද පවතී). අනෙක්‌ අතට මිලියන 34ක්‌ පමණ ජනතාවකට මේ භූමිය වාසස්‌ථාන වෙයි. ඒ මූලික වශයෙන් ගෝත්‍රික ජන කණ්‌ඩායම් ය. මේ වනාන්තරයේ සංචිත ව පවත්නා කාබන් ප්‍රමාණය ටොන් බිලියන 90ත් 140ත් අතර ප්‍රමාණයක්‌ පමණ බව ගණන් බලා ඇති අතර එය මිනිසුන් විසින් වසර 100ක්‌ වැනි කාලයක දී නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණයට සමාන වෙයි. ඉහත කරුණු අනුව ඇමසන් වනාන්තරයේ වැදගත්කම පැහැදිලි ය. එමෙන් ම එම වනයේ සිදු වන ගිනිගැනීම්වලින් එහි ජෛව විවිධත්වයට හා පාරිසරික සේවාවලට බරපතළ බලපෑමක්‌ විය හැකි බව නොරහසකි.

මේ විනාශය වළක්‌වා ලීම පිළිබඳ ව වැඩි වගකීමක්‌ තිබෙන්නේ අදාළ රටවල බලධාරීන්ට ය. ඉන් වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ බ්‍රසීලය තුළ නිසා එරට බලධාරීන් සතු වගකීම ඉහළ ය. බ්‍රසීල ජනාධිපතිවරයා මෑතක දී පවසා තිබූ කරුණක්‌ වූයේ මේ ගිනි තැබීම් පසුපස රාජ්‍ය නො වන සංවිධාන සිටිය හැකි බවට සැකයක්‌ ඇති බවයි. ඒ එවැනි සංවිධානවලට ලබා දෙනු ලබන අනුග්‍රහය සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙන නිසා ය. කෙසේ වෙතත් ඒ සඳහා සාධක තමන්ට නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේ ය.

පසුගිය කාලයේ දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පෙලඹවීම් මේ වන ගිනි ඉහළ යැම සඳහා දායක වූ බව බොහෝ පරිසර ක්‍රියාකාරීන්ගේ මතය විය. දැව හෙළන්නන් හා ගොවීන් විසින් වනාන්තරය හෙළි පෙහෙළි කිරීම දිරිමත් කිරීම සඳහා අන්ත දක්ෂsණාංශික අදහස්‌ දරන ඔහු කටයුතු කළ බව ඔවුන්ගේ අදහස වෙයි. මෙය ඇමසන් වනාන්තරයේ වන විනාශය වේගවත් කිරීම සඳහා දායක වූ බව ඔවුන්ගේ මතයයි. කෙසේ වෙතත් එරට රජය මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි. බ්‍රසීල ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළ පරිදි ඔහු ඇමසන් වනාන්තරයට ගරු කරයි, එමෙන්ම හා ආදරය කරයිෘ


පරිභෝජනවාදයත් හේතුවක්‌


කෙසේ වෙතත් ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි තැබීම් එරට වැසියන් ම සිදු කළ හුදෙකලා සිදුවීම් පමණක්‌ ද? ඒවා පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ ඇමසන් ප්‍රදේශය පිහිටා තිබෙන රටවල බලධාරීන්ට පමණ ද? එය ඔවුන්ගේ ප්‍රශ්නයක්‌ පමණ ද? මෙය එරට නීතිය ක්‍රියාත්මක කිරීමේ තිබෙන ගැටලුවල ප්‍රතිඵලයක්‌ පමණක්‌ ද? නො එසේ නම්, එයට වඩා ගැඹුරට යන හේතු මේ සඳහා පවතින්නේ ද යන්න පිළිබඳ යම් සාකච්ඡාවක්‌ ද අද වන විට ඇති වී තිබෙයි.

මේ ගිනි තැබීම් සිදු වන්නේ මූලික වශයෙන් කෘෂිකාර්මික කටයුතු නිසා ය. ඉහත සඳහන් කළ පරිදි කෘෂිකර්මය හා ගව පට්‌ටි පාලනය ඇමසන් වනාන්තරයේ වන විනාශයට ප්‍රධාන හේතුවකි. ලෝකයේ ශීත කළ ගව මස්‌ අපනයනය කරන රටවල් අතර අංක එකේ පසු වන්නේ බ්‍රසීලයයි. එය මුළු අපනයනවලින් 18.6%කි. එමෙන් ම සෝයා බෝංචි අපනයනය කරන රටවල් අතරින් මුල් තැන ගන්නා බ්‍රසීලය ලෝකයේ මුළු සෝයා අපනයනවලින් 56%කට හිමිකම් කියයි.

පාරිසරික කණ්‌ඩායම් පෙන්වා දී තිබෙන පරිදි බ්‍රසීලයේ කෘෂි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම නිසා වනාන්තර, පාලනයකින් තොර ව එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම සිදු වෙයි. දැව හා ඛනිජ සඳහා ඇති ඉල්ලුම ද මීට දායක වී තිබෙයි. මේවා වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන්නේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව වැනි දියුණු රටවල් ය. ඒ රටවල පවත්නා පරිභෝජනවාදී පිළිවෙත් නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

එබැවින් උක්‌ත තත්ත්වය පාලනය කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් යම් හැකියාවක්‌ හා වගකීමක්‌ තිබෙන බව පවසන පරිසර සංවිධාන මේ සඳහා පුද්ගලයන් ලෙස ජනතාවට කළ හැකි කරුණු කිහිපයක්‌ දක්‌වයි. ඒ අනුව පාරිභෝගිකයන් ලෙස තමන් පරිභෝජනය කරන නිෂ්පාදන නිපදවන ආකාරය විමසීම මඟින් මේ තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.


වෙනත් රටවලින් බලපෑමක්‌


මේ පිළිබඳ කළ හැකි දේ පරිසර කණ්‌ඩායම් හා පරිසර හිතවාදී මාධ්‍ය අවධානය යොමු කර තිබෙයි. නිදසුනක්‌ ලෙස ඒ ඒ පුද්ගලයන්ට කළ හැකි දේ ද යෝජනා කර තිබිණි. බ්‍රසීලයේ නිෂ්පාදිත ගව මස්‌ වැනි නිෂ්පාදන මිල දී ගැනීමේ දී එම නිෂ්පාදනය නිපදවීමේ දී වැසි වනාන්තරවලට බලපෑමක්‌ නොමැති වී බව පවසමින් Rainforest Alliance වැනි සංවිධාන මඟින් සහතික කර තිබෙන්නේ දැයි සලකා බලන ලෙස යෝජනා කර තිබිණි. එමෙන් ම බ්‍රසීලයෙන් සිදු කරන ආනයන සීමා කිරීම වෙනත් රටවලට ගත හැකි පියවරක්‌ බවට අදහස්‌ පළ වී තිබිණි. එමෙන් ම තනි තනි පාරිභෝගිකයන්ට ඒවා වර්ජනය කළ හැකි බව දක්‌වා ඇත. එමඟින් අදාළ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම අඩු කර, ඒ නිෂ්පාදන නිසා ඇමසන් වනාන්තරයට ඇති වී තිබෙන පීඩනය වළක්‌වා ලිය හැකි බව මේ කණ්‌ඩායම්වල අදහස වෙයි.

පසුගිය සතියේ ප්‍රංශයේ දී පැවැත්වූ G7 කණ්‌ඩායමේ රැස්‌වීමක න්‍යාය පත්‍රයට ඇමසන් වන ගිනි ද ඇතුළත් විය. එය ඇතැම් විට බ්‍රසීලය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් සමඟ යුරෝපා සංගමය ඇති කරගැනීමට යන වෙළෙඳ ගිවිසුමට ද බලපෑමක්‌ කළ හැකි බව ඇතැම් අංශ දක්‌වා තිබිණි. සමහර රටවල් ද ඒ ගැන අදහස්‌ පළ කර තිබිණි. මේ පිළිබඳ ව අදහස්‌ පළ කරමින් ෆින්ලන්තයේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ ෆින්ලන්තය හා යුරෝපා සංගමය, බ්‍රසීලයෙන් සිදු කරන ගව මස්‌ ආනයන කටයුතු සීමා කිරීම සඳහා ඇති අවස්‌ථා සොයා බැලිය යුතු බවයි. ප්‍රංශය හා අයර්ලන්තය ද මෙවැනි අදහස්‌ දරන රටවල් අතර වෙයි. එහෙත් මේ ලිපිය ලියන අවස්‌ථාව වන විට උක්‌ත රැස්‌වීමේ ගත් තීරණ ගැන දැනගැනීමට නො හැකි විය.

මෙවැනි පියවර එක්‌ රටක ප්‍රතිපත්තිවලට වෙනත් රටවල් කරන බලපෑමක්‌ ලෙස පෙනී යා හැකි වුවත් එය පරිසරය වෙනුවෙන් ම සිදු කරන්නකි. එවැන්නක්‌ සඳහා එම නිෂ්පාදන ආනයනය කරන රටවල දේශපාලන අධිකාරියට හා සමස්‌තයක්‌ ලෙස පාරිභෝගිකයන්ට අවශ්‍යතාවක්‌ පවතී ද යන්න ඉදිරියේ දී අපට දැකිය හැකි වනු ඇත (නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රසීලය සමඟ ඇති වෙළෙඳ ගිවිසුම් තවදුරටත් ශක්‌තිමත් කරන්නට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කළේ මේ වන ගිනි අතර ය). මෙය එක්‌තරා ආකාරයකට පරිභෝජනවාදය හා පරිසරය අතර තරගයක්‌ හෙවත් පරීක්ෂණයකි.

No comments:

Post a Comment