Wednesday, January 11, 2023

තවත් මහා වඳවීමක් අතීතයේ සිදු වී තිබේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2023.01.11, පි. 8 හා 15 (Vidusara)


ලෝකයේ විශාල භූගෝලීය ප්‍රදේශයක වාසය කළ ජීවී විශේෂ විශාල ප්‍රමාණයක්, සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළත වඳ වී ගිය අවස්ථා ‘මහා වඳවීම්’ (Mass extinction) යනුවෙන් හැඳින්වේ. ලෝක ඉතිහාසයේ මේ දක්වා සිදු වී ඇති මහා වඳවීම් පහක් මේ වන විට විද්‍යාත්මකව පිළිගැනේ (පහළ ඇති සටහන බලන්න).

එහෙත්, අතීතයේ පෘථිවියේ තවත් මහා වඳවීමක් සිදු වී ඇති බව පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ. අදින් වර්ෂ මිලියන 550කට පෙර සිදු වූ ඒ මහා වඳවීම අනෙක් මහා වඳවීම් සියල්ලටම පෙර සිදු වූවකි. එසේම ඒ සඳහා හේතු වී ඇත්තේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයේ සිදු වූ අඩුවීමකි.


ඊඩියාකරන් අවධියේ සිදුවීමක්


අදින් වර්ෂ මිලියන 635 සිට 538 අතර කාලයේ දී පැවති ඊඩියාකරන් අවධිය (Ediacaran Period) ලෙස භූවිද්‍යාත්මකව හැඳින්වෙන කාලය යනු ලෝකයේ සාගරවල ජීවය හොඳින් වර්ධනය වෙමින් තිබූ කාලයකි. මේ කාලයේ පෘථිවියේ සාගරවල ජීවත් වූ ජීවීන් අතර පිහාටු වැනි ශරීර ඇති පෙටලොනොමිඩ (Petalonamids) සතුන් ජීවත් වූයේ ජලයෙන් පෝෂක අවශෝෂණය කරගනිමිනි. හම්බෙල්ලන් වැනි Kimberella ගණයේ සතුන් ක්ෂුද්‍රජීවීන් මත යැපුණු අතර, ජෙලි ෆිෂ් හෙවත් ලොඩියන්ගේ පූර්වජයින් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ද මේ කාලයේ දීය.

මේ කාලයේ විසූ ජීවීන්ගේ පොසිල විවිධත්වයේ විශාල අඩු වීමක් වර්ෂ මිලියන 550කට පෙර දැකිය හැකි වූ අතර, කෙටි කාලයක් ඇතුළත මේ ජීවීන් අතරින් 80%ක් පමණ ප්‍රමාණයක් වඳ වී ගොස් ඇති බව අනාවරණය වී තිබිණි. මේ තත්ත්වය කලක් තිස්සේ දැන සිටිය ද එය මහා වඳවීමක් වූයේ ද යන්න පිළිබඳව කිසියම් සැකයක් තිබිණි. එසේ පොසිල හමු වීම විශාල ලෙස අඩු වීම සඳහා හේතු දෙකක් දක්වා ඇත. ඉන් එකක් වන්නේ සාගර ආත්‍රොපෝඩාවන් අතර සිටි මුල්කාලීන ට්‍රයිලෝබාටාවන් (Trilobites) ව්‍යාප්ත වීමෙන් ඊඩියාකරන් අවධියේ සතුන් සමඟ ඇති වූ තරගය නිසා ඊඩියාකරන් අවධියට අයත් සතුන් වඳ වී යාමය. අනෙක් තර්කය වන්නේ ඊඩියාකරන් අවධියේ සතුන්ගේ ශරීර ආරක්ෂා වීමට සුදුසු තත්ත්ව පැවතියේ මිලියන 550කට පෙර කාල සිමාව දක්වා පමණක්ය යන අදහසයි. මේ හේතු සත්‍ය නම් උක්ත සිදුවීම මහා වඳවීමක් නොවේ.


මහා වඳවීමක් බවට සාධක


කෙසේ වෙතත් මේ නව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත්තේ ඊඩියාකරන් අවධියේ සිදු වූ ජීවීන් වදවී යාම පෙර සඳහන් කරුණු නිසා සිදු වී නොමැති බවයි. එහි දී පර්යේෂකයන් විසින් ඊඩියාකරන් අවධියේ ජීවත් වී වඳ වී ගිය, වද වී නොගිය හා වඳ වීමේ සිදු වීමෙන් පසුව හොඳින් ව්‍යාප්ත වූ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඒ සඳහා ඒ යුගයේ පොසිල පිළිබඳ මෙතෙක් ප්‍රකාශිත පර්යේෂණ යොදාගනිමින් දත්ත සමුදායක් සකස් කර, ඒවා හමු වූ භුගෝලීය ප්‍රදේශය, දේහ ප්‍රමාණය, ආහාර ගන්නා ආකාරය අනුව කාණ්ඩ කර තිබේ. ඒ අනුව වර්ෂ මිලියන 550කට පෙර වාසය කළ සත්ත්ව ගණ 70ක් අතරින්, ඉන් වර්ෂ මිලියන 10කට පසුව කාලය වන විට ජීවත් වී ඇත්තේ ගණ 14ක් පමණක් බව අනාවරණය වී ඇත. එසේම ට්‍රයිලෝබයිටයන් වැනි සතුන් හා තරග කිරීමෙන් ඒ සතුන් වඳ වී ගිය බවට සාධක සේ සැලකිය හැකි ආකාරයේ ආහාර ගැනීමේ රටාවේ වෙනසක් හමු වී නොමැත. අනෙක් අතට පොසිල ආරක්ෂා වීම සඳහා බලපාන තත්ත්වවල වෙනසක් ද ඒ කාලයේ ඇති වූ බවක් හෙළි වී නොමැත.

මේ අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙසේ පොසිල අඩු වී යෑම මහා වඳ වීමක් විය හැකි බවත් ඒ සඳහා සෙසු මහා වඳවීම් මෙන්ම දේශගුණයේ ඇති වු වෙනස් වීමක් හේතු විය හැකි බවයි. එසේ සංකීර්ණ සත්ත්ව ගහන මිය යෑම සඳහා හේතුව ඔක්සිජන් සාන්ද්‍රණයේ කැපී පෙනෙන අඩු වීමක් විය හැකි බව අනුමාන කර ඇත. ඊට සාධක ලෙස සැකිය හැකි අපුරු කරුණක් ද අනාවරණය වී ඇත. එ නම්, ඒ වඳවීමෙන් ආරක්ෂා වූ ජීවීන් අතර ඇති සමානකමකි. ඒ සතුන්ගේ දේහ පරිමාවට සාපේක්ෂව දේහ පෘෂ්ටය ඉහළ වීම මේ සාධකයයි. මෙය අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඇති තත්ත්වයක් යටතේ ජීවත් වීම සඳහා සුදුසු හැඩගැසීමකි. එය සහ භූ-රසායනික සාධකවලින් අනාවරණය වන ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීමත් සමඟ ගත් විට ඊඩියාකරන් යුගය අවසානයේ සාගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඇති වූ මහා වඳවීමක් සිදු වූ බව ඔවුන්ගේ අදහසයි. මෙහි දී ඔක්සිජන් අඩු තත්ත්ව යටතේ ජීවත් වීමට ‌නොහැකි ජීවීන් වඳ වී ගොස් තිබේ.

මේ කාලයේ දී ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට හේතු වූ කරුණු තවමත් අපැහැදිලිය. ගිනිකඳු පිපිරීම්, භූ තැටි චලනයේ බලපෑම් මෙන්ම ග්‍රහකයක බලපෑම වැනි හේතු මේ අතර වේ. එමෙන්ම, සාගරයේ පෝෂක මට්ටම්වල වෙනස්කම් ද මීට හේතු විය හැකිය. කරුණු මෙන්ම මේවායෙන් කීපයක් ද ඊට හේතු විය හැකිය.

මහා වඳ වීම් ගණන කීයද?


උක්ත අධ්‍යයනයෙන් ඉදිරිපත් කරනු ලබන මහා වඳවීම පිළිගැනීමට ලක්වුවහොත් එය ලෝකයේ ඇති වී තිබෙන පළමුවන මහා වඳවීම වේ. එසේ නම් මේ වන විට ලෝකයේ මහා වඳවීම් හයක් සිදු වී ඇත. එවිට අද මිනිසුන්ගේ කටයුතු නිසා ඇතිවෙමින් ඇති බවට අනතුරු හඟවන්නේ හය වන නොව සත්වන මහා වඳවීමයි. එය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නකි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.2207475119 (මෙතැනින් පිවිසෙන්න)


සටහන - මහා වඳවීම් පහ

1. ඕඩොවීසියන්-සිලූරියන් මහා වඳවීම (Ordovician-Silurian extinction) - මෙය අදින් වර්ෂ මිලියන 443.8කට පමණ පෙර සිදු වූවකි. එහි දී සාගර ජීවී විශේෂ අතරින් 85%ක් පමණ වඳ වී ගොස් ඇත.

2. ඩෙවෝනියන් මහා වඳවීම (Devonian extinctions) - මෙය අදින් වර්ෂ මිලියන 407.6ත් 358.9ත් අතර කාලයේ දී සිදු වූ වඳවීම් ක්‍රියාවලියකි. එයින් වැඩිම බලපෑමකට ලක් වූයේ සාගර ජීවීන්ය. සතුන් අතරින් 70%-80% අතර ප්‍රමාණයක් වඳ වී ගොස් ඇත.

3. පර්මියානු මහා වඳවීම (Permian extinction) - ඇතැම්විට පර්මියානු-ට්‍රයාසික මහා වඳවීම ලෙස ද හැඳින්වෙන මෙය අදින් වර්ෂ මිලියන 265.1ත් 251.9ත් අතර කාලයේ දී පෙර සිදු වී ඇත. එහි දී ලෝකයේ විසූ මුළු ජීවීන් අතරින් 90%ක් පමණ වඳ වී ගිය අතර, ඊට සාගර ජීවීන් අතරින් 95%ක් ද, භෞමික ජීවීන් අතරින් 70%ක් පමණ අයත් විය. මෙතෙක් ඇති වූ බරපතළම මහා වදවීම සේ සැලකේ.

4. ට්‍රයාසික යුගය අවසානයේ සිදු වූ මහා වඳවීම (end-Triassic extinction) - ඇතැම්විට ට්‍රයාසික-ජුරාසික මහා වඳවීම (Triassic-Jurassic extinction) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 201.3කට පමණ පෙර සිදු වූවකි. එයින් සාගර හා භෞමික ජීවි විශේෂ 76%ක් පමණ වඳ වී ගියේය.

5. ක්‍රිටේසීය-තෘතියික මහා වඳවීම (Cretaceous-Tertiary) - ඇතැම්විට ක්‍රිටේසීය-පැලියොජීන මහා වඳවීම ( or Cretaceous-Paleogene) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 66කට පමණ පෙර සිදු වූවකි. එයින් පෘථිවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂ අතරින් 80%ක් ද ශා ක විශාල ප්‍රමාණයක් ද වඳ වී ගියේය. ඊට ඩයිනසෝරයන් ද ඇතුළත්ය.

No comments:

Post a Comment