Sunday, January 1, 2023

මගේ දකුණේ සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


'දකුණ' යනු කවදත් කතාබහට ලක් වූ ප්‍රදේශයකි. අද දකුණ යනුවෙන් අදහස් වන්නේ වර්තමාන පළාත් බෙදීම්වල එක් පළාතකි. අද දකුණ යනු පුරාණ රෝහණයෙන් කොටසක් පමණි.

කොළඹ හා රටේ වෙනත් පැතිවල වාසය කරන සැලකිය යුතු පිරිසකට මෙන්ම මට ද දකුණේ සම්බන්ධයක් තිබේ. මගේ ඒ සම්බන්ධය දිස්ත්‍රික්ක තුනටම අදාළය. ඒ මෙසේය.

මම ගාල්ලේ උපන්නෙමි


මම උපන්නේ ගාල්ලේය. නිශ්චිතවම කිවහොත් ගාල්ලේ මහමෝදර පිහිටා ඇති රෝහලේය. ඒ කාලයේ ගාල්ලේ ප්‍රධාන රෝහල තිබුනේ මහමෝදරය. උප්පැන්න සහතිකයේ ද සඳහන් වෙයි.

මගේ තාත්තාගේ ගම වූයේ මාතර අකුරැස්සය. ඔහුගේ මහගෙදර පිහිටා ඇත්තේ අකුරැස්සේ, මාරගොඩ ගමේ පිහිටි උඩහේන නම් ඉඩමේය. විසුම්පෙරුම වාසගම දරන්නන් වැඩි වශයෙන් වාසය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය. අපේ මුත්තාගේ (සීයා) පියා ගාල්ලේ සිට අකුරැස්සට පැමිණ ඇති බවක් කතාවට කියනු අසා ඇත්තෙමි.

මම අදත් රටේ ආසම ප්‍රදේශය ගාල්ලය. ගාල්ලේ ගිය විට මට බොහෝ හුරු පුරුදු ගතියක් දැනෙයි. කෙටියෙන් කිවහොත් ගාල්ල මට ගෙදර සේ දැනේ. (මම කැමති දෙවැනි ප්‍රදේශය අනුරාධපුරයයි. තෙවැනි තැන හිමිවන්නේ නුගේගොඩටයි. ඒ හැර මන්නාරමට ද බොහෝ සේ ප්‍රිය කරමි.)

ගාලු ලන්දේසි කොටුව, අලුත් දොරටුව (ඡායාරූපය 2013)


හම්බන්තොට මුලින්ම ජීවත් වීමි


ගාල්ලේ උපන්න ද ඉතා ළදරු කාලයේ මුලින්ම මා ජීවත් වී ඇත්තේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ලට නුදුරු කදුරුපොකුණ ග්‍රාමයේය. ඒ, අම්මා ඒ ගමේ සේවය කළ නිසා අප එහි පදිංචි වී සිටි බැවිනි. 1972 නොවැම්බර් මස 24 දින නිකුත් කර ඇති ඇයගේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනය අංක 158, ඉහලගොඩ, කදුරුපොකුණ වේ.

කෙසේ වෙතත් කදුරුපොකුණේ ගෙවූ කාලය ගැන කිසිදු මතකයක් මට නැත. මට මාස තුනක් පමණ කාලයේ දී අපේ අම්මාට ලැබුණු රාජකාරි ස්ථාන මාරුවක් නිසා අප ඒ ගමෙන් නික්මුණු නිසාය. කිසිත් මතකයක් නොතිබූ ඒ ගමට මම ආපසු ගියේ වසර හතළිහකට පසු 2013 වර්ෂයේ දීය. ඒ 1967 සිට 1972 අග දක්වා කාලයක් තමන් සේවය කළ ඒ ගම බලන්නට අම්මා කැමති වූ නිසාය.

කදුරුපොකුණට යන පාර (ඡායාරූපය 2013)


මාතර ගෙවුණු කාලය


අම්මාගේත් තාත්තාගේත් රැකියාවේ ස්ථාන මාරු නිසා අපි ඉන්පසු වසර කීපයක් මාතර දිස්‌ත්‍රික්‌කයේ ගොඩගම හා හිත්තැටිය යන ගම්වල පදිංචි සිටියෙමු. බබ්බු සිඤ්ඤෝ හෝ බබුන් සිඤ්ඤෝ නම් කෙනෙකුට අයත් විශාල කුලී නිවසක අප හිත්තැටියේ දී පදිංචිව සිටි අතර, ඒ කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් වෙනම ලියන්නට තරම් මට මතකය. ඒ නිවස පිහිටා තිබුනේ මාතර-අකුරැස්ස පාර අයිනේ තිබූ හිත්තැටිය සමුපකාරය අසලින් මදක් ඇතුළට වන්නටය (දවල්ට මට බත් කැවීම සඳහා ඇතැම් දවසක ට්‍රයිසිකලයේ මා තබාගෙන මහ පාර අසලට ගොස් ආපසු තල්ලු කරගෙන ඒම අපේ නැන්දාට අපහසු නොවූයේ නිවසට පාරේ සිට ඇති දුර ඒ තරම් අඩු නිසාය!). මාතරට ආසන්න ගොඩගම ප්‍රදේශයේ පදිංචි වීමට සිතා තාත්තා පර්චස් විස්සක පමණ ඉඩමක් ද මිල දී ගෙන තිබිණි.

ඉන් පසුව 1978 ජනවාරියේ දී හෙවත් මට වයස අවුරුදු 5කුත් මාස කිහිපයක දී අපි කොළඹ ආවෙමු. ඒ මා අසනීපයෙන් සිටි නිසාය. මාසයක් පමණ කාලයක් මා රෝහලේ සිටි නිසාත්, කලක් ප්‍රතිකාර ගැනීමට ආ යුතු වූ නිසාත් නිවාඩු නැති වීමෙන් අම්මාත්, තාත්තාත් කොළඹට මාරු වීම් හදාගත්හ (ඒ දෙදෙනා 1960 දශකයේ මැද කොළඹ රාජකාරි කළ අයයි). අපි කොළඹ පදිංචි වීමු. කළුබෝවිල, රාජගිරිය, නුගේගොඩ ප්‍රදේශවල වසර 14ක කුලී නිවාස චාරිකාවකින් පසුව අවසානයේ දැන් සිටින ගමේ පදිංචි වීමු (තාත්තා ගොඩගමින් මිල දී ගෙන තිබූ ඉඩම 1989 දී රුපියල් තිස් දහසකට විකුණා දැමුවේ දැන් අප පදිංචි ඉඩම මිල දී ගැනීමටය).

ඒ මගේ දකුණේ සම්බන්ධයයි.

එහෙත් මම කිසිවිටක දකුණ රටේ අනෙක් පැතිවලට වඩා උසස් බව කියන්නේ නැත. එසේම දකුණේ අය අන් අයට වඩා උසස් සේ පවසන්නේ නැත. එසේම, අනෙක් පළාත් හෝ ප්‍රදේශවල අය පහත් සේ සලකන්නේ ද නැත අනෙක මගේ අම්මා ද, උඩරට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වූ තුන්කෝරළයේය.

එහෙත් මම මගේ දකුණේ සම්බන්ධය ගැන ආඩම්බර වෙමි.

2023.01.01

No comments:

Post a Comment