Monday, January 20, 2014

යෝජිත බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත කා වෙනුවෙන් ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, Vidusara, 2014-01-15

http://www.vidusara.com/2014/01/15/feature4.html

බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත නමින් රජය විසින් ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති නව පනතක්‌ පිළිබඳ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවකට ඉදිරිපත් කර තිබේ. මේ යෝජිත පනත 2003 වර්ෂයේ දී සම්මත කරන ලද බීජ පනත පරිචිäන්න කරමින් ඉදිරිපත් කර ඇති පනතකි.

යෝජිත පනතේ ඇති බරපතළ ගැටලු රැසක්‌ පිළිබඳව මේ වන විට කිසියම් සාකච්ඡාවක්‌ ඇති වී ඇත. මේ පනතේ ඇති ප්‍රතිපාදන සම්බන්ධව ගොවීන්, ගොවි සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් වෙතින් විරෝධතා එල්ල වන බවක්‌ දැකිය හැකි ය. රජයට සම්බන්ධ දේශපාලන පක්‌ෂ දෙකක්‌ වන ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ පවා මේ පනත සම්බන්ධ ව ස්‌වකීය විරෝධය ද පළ කර තිබිණි.

මීට දශකයකට පමණ ඉහත දී හඳුන්වා දෙන ලද 2003 අංක 22 දරන බීජ පනත ඉදිරිපත් කරන ලද්දේ එවකට පැවැති රජය අනුගමනය කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ය. මේ වැඩසටහන මෙන්ම ඒ පනතේ අරමුණු පිළිබඳව ද බරපතළ විවේචන පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් අදාළ පනතේ අරමුණ වූයේ ඒ වන විට බොහෝ දුරට රජය සතු ව පැවැති බීජ වෙළෙඳපොළ විවෘත කරගැනීම බව පෙනේ. මේ කාලය තුළ අදාළ පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ නැතත් බීජ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සමාගම්වලින් ගෙන්වන බීජවලට හැකියාව ලැබී ඇත. වැඩි අස්‌වනු අපේක්‌ෂාවෙන් මේ බීජ යොදාගැනීමට මෙරට ගොවීන් අතරින් බහුතරය පෙලඹුණු බව රහසක්‌ නො වේ. (අපේ ගොවීන් ලෝක වාර්තාවක්‌ තබන්නට තරම් අධික ප්‍රමාණවලින් කෘෂි රසායන යොදාගන්නේ ද මේ වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමේ අරමුණින් ම ය).

2003 පනත වෙනුවට ඉදිරිපත් ව ඇති නව පනතේ අරමුණු සේ දක්‌වා ඇත්තේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම හා නියාමනය කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන් ගේ අයිතිවාසිsකම් ආරක්‌ෂා කිරීම හා හසුරුවන්නන් ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම හා අයිතිවාසිsකම් ආරක්‌ෂා කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තයේ සංවර්ධනය, කෘෂිකර්මාන්තයට වැදගත් වන්නා වූ දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍යවල ජාන සම්පත් සුරක්‌ෂිත කිරීම හා සංරක්‌ෂණය යන කරුණු ය.

කෙසේ වෙතත්, පනත පිළිබඳව අවධානයෙන් විමසා බලන විට ඒ පනතෙන් මතු වන, ආන්දෝලනයට ලක්‌ ව ඇති ගැටලු කිහිපයක්‌ හා ඒවායේ බලපෑම් ද හඳුනාගත හැකි වේ.

බීජ පනතේ ගැටලූ


මේ පනතේ ඇති ප්‍රතිපාදන නිසා ගොවීන් සතු බීජ පිළිබඳ අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බව පැහැදිලි ය. මෙහි අවසාන අරමුණ හෝ ප්‍රතිඵලය බීජ වෙළෙඳපොළ පිළිබඳ අයිතිය සමාගම්වලට ලබා දීම බව පෙනේ. මේ යෝජිත පනත මගින් ගොවීන්ට තමන් ගේ ම බීජ නිෂ්පාදනය කිරීමට හා ව්‍යාප්ත කිරීමට ඇති අයිතිය අහිමි වීමේ අවදානමක්‌ තිබීම මෙහි එක්‌ ගැටලුවකි. මෙයින් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ දේශීය බීජ ප්‍රභේද වගා කිරීම සිදු කරන සුළු පරිමාණ ගොවීන් ය.

නිදසුනක්‌ ලෙස යෝජිත පනතේ 23 වැනි වගන්තිය යටතේ දක්‌වා ඇති පනත අදාළ කර නො ගැනීම සම්බන්ධ වගන්තිය අනුව, ''යම් තැනැත්තකු විසින් වවනු ලැබූ හා තමා ගේ පරිශ්‍රය තුළ දී ඔහු විසින් වාණිජමය අරමුණකින් තොර ව වෙනත් පුද්ගලයකු හට වැපිරීමේ හෝ රෝපණය කිරීමේ කාර්යය සඳහා සාම්ප්‍රදායික පිළිවෙත් අනුව හුවමාරු කරන හෝ ගනුදෙනු කරන හෝ එම තැනැත්තාට සෘජු ව භාර දෙනුq ලබන යම් වර්ගයකට හෝ ප්‍රභේදයකට අයත් බීජ හෝ රෝපණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන අදාළ නො වන්නේ ය.'' 2003 පනත අනුව බීජ විකිණීමට හැකියාවක්‌ තිබූ අතර යෝජිත පනතට අනුව හුදෙක්‌ නොමිලේ මිස වෙනත් ආකාරයකින් බීජ ලබා දීමට අවස්‌ථාව නොමැති බව පෙනේ. දේශීය වී ප්‍රභේද හා වෙනත් බීජ අලෙවි කිරීම මෙන්ම 1(1 1/2 ලබාදීමේ පොරොන්දුව යටතේ ලබාදීමද සිදු වේ. නව පනතින් දේශීය බීජ ගොවීන්ට බීජ පිළිබඳව හා බීජ ව්‍යාප්ත කිරීම සඳහා ඇති අයිතියට යම් බලපෑමක්‌ සිදු කරන බවක්‌ පෙනේ. එය වගාව සඳහා සුළු පරිමාණයෙන් බීජ නිෂ්පාදනය කරන ගොවීන්ට එල්ල කරන පහරකි. එසේ ම දේශීය බීජ ආරක්‌ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන සංවිධානවල පැවැත්ම ද මේ අනුව අවදානමකට ලක්‌ ව ඇති බවක්‌ පෙනේ.

මේ පනතේ 10 (2) වගන්තිය අනුව ජාතික බීජ හා රෝපණ ද්‍රව්‍ය උපදේශක සභාවේ කාර්යයක්‌ වන්නේ පෞද්ගලික අංශයේ බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රාජ්‍ය අංශයේ නියෝජ්‍යායතන සමඟ සම්බන්ධීකරණයක්‌ ඇති කිරීම හා බීජ හා රෝපණ ද්‍රව්‍යවලට අදාළ ගැටලු පිළිබඳව සලකා බැලීම බව දක්‌වා තිබේ. හුදෙක්‌ ලාබය අරමුණු කරගත් පෞද්ගලික අංශයට 'බීජ කර්මාන්තය' සංවර්ධනය සඳහා බාර දීම අපේ ජන ජීවිතයේ පදනම වන ගොවිතැනේ අනාගතයට කෙසේ බලපානු ඇත් ද යන්න මෙන්ම මෙවැනි සහායක්‌ ලබා දීමේ අවශ්‍යතාව ද ගැටලුවකි. මෙය දේශීය බීජ ප්‍රභේදවලට පමණක්‌ නො ව රාජ්‍ය අංශය ම`ගින් නිෂ්පාදනය කරන බීජ ප්‍රභේදවලට ද ආහාර සුරක්‌ෂිතතාවට ද බලපානු ඇත.

බීජ පිළිබඳ ප්‍රමිතිය පිළිබඳව ගත් විට ප්‍රමිතියට අනුගත නොමැති යෑයි තහනම් කළ බීජ තොගයක්‌ දින නියමයකින් තොර ව රඳවා තබාගැනීමට බලධාරීන්ට හැකියාව ලබා දීමට නියමිත ය. මෙය බීජ විශාල ලෙස නිපදවීම සිදු නො කරන සුළු පරිමාණ බීජ නිෂ්පාදකයන්ට තදින් බලපාන කරුණක්‌ වනු ඇත.

යෝජිත පනතේ එහි 18 වැනි වගන්තිය යටතේ එන පරිදි දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් ආරක්‌ෂා කිරීම ද කිසියම් ආකාරයකින් ආන්දෝලනාත්මක කරුණකි. ඒ අනුව පරිබාහිර සංරක්‌ෂණයේ අයිතිය හා වගකීම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා සතු වේ. අදාළ ජාන සම්පත් හුවමාරු පවා ඔහු ගේ ලිත අවසරය නෙමැතිව කළ නොහැකි වේ.

මේ නව බීජ පනතේ එන එක්‌ කරුණක්‌ වන බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරන්නවුන්ට ලබා දෙන දඬුවම් ද ආන්දෝලනාත්මක ය. කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ගේ අනුමැතියෙන් තොර ව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළ`ග තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම වැනි කටයුතු තහනම් වෙයි. ඒ වැරැදි සඳහා බරපතළ දඬුවම් ලබා දිය හැකි ය. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට, රුපියල් 50,000ක්‌ දක්‌වා දඩ නියම කිරීමට පමණක්‌ නො ව මාස 6ක උපරිමයක්‌ වූ සිර දඬුවම් ලබා දීමට පවා බලය හිමි වෙයි. එසේ ම බීජ ප්‍රවාහනය කරන වාහනය පවා රාජසන්තක කිරීමට බලය හිමි වෙයි.

මේ පනතේ කාර්යයන් සඳහා පත් කරනු ලබන තාක්‌ෂණ හා උපදේශක කමිටුවට නියෝජිතයන් පත් කිරීම සම්බන්ධව ද ගැටලු පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ කමිටුවට බීජ හා රෝපණ ද්‍රව්‍ය හසුරුවන්නන් හෝ භාවිත කරන්නන් නියෝජනය කිරීම පිණිස නියෝජිතයන් පත් කිරීමට බලය ඇත්තේ ද කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයාට ය. ඒ නියෝජිතයන් ද බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාත්මක ශික්‌ෂණයක්‌ සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු විය යුතු බව ද පනතේ සඳහන් වේ. අනෙක්‌ අතට මේ සාමාජිකයන් පවා කිසිදු හේතුවක්‌ නො දක්‌වා කමිටුවෙන් ඉවත් කිරීමට බලය අමාත්‍යවරයාට තිබේ. ඒ අනුව මේ පත් වූවන් නියෝජනය කරන්නේ කවුරුන් ද යන්න හා ඔවුන් සතු නිදහස පිළිබඳව ද ගැටලු ඇති බව පෙනේ.

මේ පනත රටේ බීජ සුරක්‌ෂිතතාවට මෙන්ම ආහාර සුරක්‌ෂිතතාව සඳහා ද හානිකර ලෙස බලපාන බවක්‌ පෙනේ.

නව බීජ පනතක්‌ අවශ්‍ය ද?


ආහාර යනු ලෝකයේ අත්‍යවශ්‍ය දෙයක්‌ වන අතර, සමාගම්වලට බීජ සඳහා වෙළෙඳපොළක්‌ බිහි වන්නේ මේ සමඟ ය. මේ තත්ත්වය හමුවේ වැඩිදියුණු කළ බීජ, ජාන විකරණය කළ බීජ හා වඳ තාක්‌ෂණය යනාදී වශයෙන් විවිධ බීජ වර්ග වෙළෙඳපොළට හඳුන්වා දෙමින් මේ සමාගම් යෙදී සිටින්නේ දැඩි තරගයක ය. මේ තත්ත්වය ඇතුළත යෝජිත පනත මගින් ගොවීන් සතු බීජ අයිතිය තවදුරටත් සීමා වන බවක්‌ පෙනේ. එසේ ම රටේ කෘෂි ජෛව විවිධත්වයට තර්ජනයක්‌ ඇති විය හැකි ය. මේ සමාගම්වලට අද ඇති ගැටලුවක්‌ වන්නේ ගොවීන් අතර ඇති බීජ සඳහා ඇති අයිතියයි. මෙය කෘෂි ව්‍යාපාරවල සීමාව ඉක්‌වා ගිය තත්ත්වයක්‌ සේ දැක්‌විය හැකි ය.

අවාසනාවකට මෙන් මෙරට බහුතර ගොවීන් අද යොමු ව සිටින්නේ හුදෙක්‌ වැඩි අස්‌වැන්නක්‌ ලබා දෙන බීජ වර්ග භාවිත කිරීමට හා හැකි උපරිම අස්‌වැන්නක්‌ ලබාගැනීමට ය. විවිධ සමාගම් මගින් ආනයනය කරනු ලබන බීජ වර්ග සඳහා හොඳ ඉල්ලුමක්‌ ඇත්තේ ද, අධික හා අසීමිත ලෙස කෘෂිරසායන ද්‍රව්‍ය භාවිත කිරීමට ගොවීන් පෙලඹී සිටින්නේ ද ආදායම් ඉපදවීම මුල් කරගත් ගොවිතැනක්‌ අද අපේ රටේ ඇති නිසා ය.

එහෙත් අනාදිමත් කාලයක සිට භෝග බීජ භාවිතය තුළින් රැකගත්තේ ගොවීන් විසිනි. ඔවුන් ගේ ඒ අයිතිය අහෝසි කර බීජ පාලනය කිරීම බහුජාතික සමාගම්වලට පැවරීමට ගන්නා තවත් උත්සාහයක්‌ ලෙස නව පනත සැලකිය හැකි බවක්‌ පෙනේ. එය කෙතරම් සදාචාරවත් ද යන්න ගැටලුවක්‌ වන අතර ඒ සඳහා වර්තමාන රජයේ සහාය ලැබීම කණගාටුදායක කරුණකි. මේ නිසා මේ පනත සම්මත කිරීම වැළැක්‌වීම සඳහා කටයුතු කිරීම රටට දැයට හිතැති සැම ගේ යුතුකමකි. බීජ පිළිබඳ අයිතිය ගොවීන් හා ජනතාව සතු විය යුතු ය.

http://www.vidusara.com/2014/01/15/feature4.html

No comments:

Post a Comment