Sunday, June 23, 2024

පාසලෙන් ඈත් වීම

මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.


මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.

1.     උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.

2.      උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)

මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක් විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම් ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින් නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද (එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.

ධනේෂ් විසුම්පෙරුම

2024-06-23

2 comments:

  1. පාසැලෙන් ලැබෙනවාට වඩා විභාග ඉලක්කගත අධ්‍යාපනයක් අමතර පන්තිවලින් ලැබෙන්නේය යන විශ්වාසය ද මේ තත්වයට මග පාදයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. විභාග තරගය අප අත්විඳි බොහෝ දේ අද ළමුන්ට අහිමි කර තිබෙනවා.

      Delete