Sunday, December 11, 2022

අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු සමඟ...




මම මේ ඡායාරූපයේ පෙනී ඉන්නේ 'අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන්' දෙදෙනෙකු එක්කයි. දකුණු කෙලවරේ ඉන්නේ පියසිරි මාතරගේ මහතායි. මැද ඉන්නේ පියසෝම බෙන්තොට මහතායි (ඡායාරූපයේ වම් කෙලවරේ ඉන්නේ මමයි). ඉතින් ඒ දෙන්නාම මට කලින් පරම්පරාවේ අය, ජ්‍යේෂ්ඨයන් බවත් කියන්න ඕන.

මේ දෙන්නටම පොදු වූ කරුණු කීපයක් තියනවා. ඉන් එකක් තමයි දෙන්නගේම නම්වලට "පිය" කෑල්ලක් තිබීම - පියසිරි හා පියසෝම. ඒ වගේම, ඔවුන් දහස් ගණනක් සිසුන්ට ගුරුහරුකම් දුන්න ගුරුවරුන් වීමත් ‌සමානකමක්. මේ දෙන්නම අම්පාර, පොලොන්නරුව වගේ රටේ දුෂ්කර පළාත්වල සේවය කරලා පසුව කොළඹ දිස්ත්‍රික්කයේ සේවයට ආවට පස්සේ එක්දාස් නවසිය අනූව දශකයේ දී නියමිත වයසට කලින් විශ්‍රාම ගියා. ඒ වගේම මේ දෙන්නම වගේ වාමාංශික දේශපාලනයට හා වෘත්තීය සමිති කටයුතුවලට සමීප සම්බන්ධයක් තිබ්බ අය (බෙන්තොට මහතා වැඩියෙන්). ඉන් පස්සේ ඒ දෙන්නාම සමාන වැඩවල වගේම වෙනස් වැඩවලිත් යෙදුනා.

මං මුලින්ම අඳුනගත්තේ පියසෝම බෙන්තොට මහතාව. ඔහු විශ්‍රාම ගත්තට පස්සේ පූර්ණ කාලීනව යොමු උනේ සමිති සමාජ කටයුතු සඳහා. හොරණ පැත්තේ පටන් ගත්ත 'පොදුජන හිමිකම් කමිටුව' (CPR) පිහිටුවන්න ඔහු මුල් උනා. ඒ හරහා ඇති වූ, 'ගමගෙදර' නමින් ක්‍රියාත්මක වූ පන් වගාව පිළිබඳ වැඩසටහන ඒ පිළිබඳ උනන්දු හැමෝම වගේ දන්න එකක්. අපෙන් ඈත්වෙමින් තිබ්බ පන් කර්මාන්තයට නව ජීවයක් දෙන්න ඒ සමිතිය හා ඒ ව්‍යාපෘතිය සමත් උනා. බාහිර අරමුදල් සමග කරගෙන ගිය මේ වැඩේ ඒ අරමුදල් නැති වූ පසුව අදත් දුෂ්කරතා මධ්‍යයේ වුවත් කරගෙන යනවා. ඒ බෙන්තොට මහතාගේ කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද වැයකරමින්. ඉතින් ඒකෙ කටයුතුවලදී අපි හමුවෙලා දැන් වසර පහළොවක් විතර වෙනවා. අදටත් මම ඒ කටයුතු එක්ක හැකි පමණින් සම්බන්ධ වෙනවා.

පියසිරි මාතරගේ මහතා මම හඳුනාගන්නේ බෙන්තොට මහතාගේ කටයුත්තක දීයි. ඔහු විශ්‍රාම ගියාට පසු වැඩි වශයෙන් යොමු වුනේ පුවත්පත් කලාවට හා ලේඛන කටයුතුවලට. ඔහු ලියූ ඇතැම් කෘති රාජ්‍ය සම්මානයෙන් පුද ලද ඒවා. ඒ වගේම ඔහුත් 'පොදුජන හිමිකම් කමිටුව' නමින් සංගමයක් හෝමාගම ප්‍රදේශයේ හදනවා. ඒත් ඒක වැඩි කාලයක් පවතින්නේ නෑ. පස්සේ 'සංවේදී රසික සංසදය' නමින් තවත් කලාව හා සම්බන්ධ සමිතියක් බිහිකර කලක් කරගෙන යනවා. ඔහු මුල් වී 2018 දී පිහිට වූ 'කැලණිවැලි ලේඛක සංසදය' එක්ක මමත් ඉන් වසරකට පමණ පස්සේ සම්බන්ධ උනා. එහි සභාපති ලෙස ඔහු සිය කාලය, ශ්‍රමය මෙන්ම මුදලුත් වැය කරන ආකාරය ඒ සංසදයේ කටයුතුවලට සම්බන්ධ වන නිසා එදා සිට මමත් දන්නවා.

අපේ රටේ සමිති සංගම් ආදිය එක්ක කටයුතු කිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. සාමුහික  කටයුත්තක් කියලා පිටතට පෙනුනාට, ලංකාවේ සමිති බොහොමයක වැඩි බරක් දරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විසින්. ඒ සංගම්වලට බාහිර මුදල් ආධාර නොලැබෙන විට එහෙම ඇදගෙන යන එකත් ලේසි දෙයක් නොවෙයි. මොකද එතකොට හැමදේම කරන්න වෙන්නේ ස්වේච්ඡාවෙන් නිසා - ඒ කියන්නේ තමන්ගේ කාලය, ශ්‍රමය වගේම සමහර විට තමන්ගේ මුදලුත් වැය කරන්න වෙනවා. 

මම මේ ගැන හොදටම දන්නේ මමත් වසර තිහකට කිට්ටුව සංවිධාන කීපයක් එක්ක වැඩ කරල සහ දැනටත් වැඩ කරන නිසා. ඒ උනත් මේ කීව දෙදෙනා කළ කැපකිරීම්වල කිට්ටුවටවත් මට එන්න බෑ. ඔවුන් සම්බන්ධ සමිති සමාගම් සඳහා සිය කාලය හා ශ්‍රමය වගේම මුදලුත් ඔවුන් වැය කරන ආකාරය මම දැක තිබෙනවා. ඒ වගේම සමිති කටයුතු සඳහා දායකත්වය ලබා දිය යුතු අනෙක් අයගේ දායකත්වය නොලැබෙන අවස්ථාවල ඒ බරත් ඔවුන්ම කරට ගෙන සමිතිවල කටයුතු ඇදගෙන යන හැටි මම දකිනවා. ඔවුන්ට මේ සමාජමය කටයුතු ජීවිතය හා බද්ධ දෙයක් - කොටින්ම ඒ ඔවුන්ගේ ජීවිතයමයි.

ඉතින් සමිතිවල කටයුතු කරන විට මට ඇතැම් විට ඇති වන කලකිරීම් එක්ක මේ වැඩවලින් ඈත්වන්න සිතුණු අවස්ථා තිබුනත් ඒ වැඩවල තවදුරටත් ඉන්න හිතෙන්නේ බෙන්තොට හා මාතරගේ වගේ මහත්වරු කරන වැඩ දෙස බලලයි. ඇත්තෙන්ම මේ කටයුතුවලින් ලැබෙන ආත්ම තෘප්තිය විශාලයි.

පෞද්ගලිකත්වය මුල් කරගත් මේ සමාජය තුළ පොදු කාර්යයන් කීරීමේ දී ඔබ දෙදෙනා රටට දෙන ආදර්ශයට ස්තුතියි. ඒ වගේම, තවත් බොහෝ කාලයක් මේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.


ධනේෂ් විසුම්පෙරුම

2022.12.11

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක් සූරියප්පෙරුම

No comments:

Post a Comment