ඒක මහා විනාසයක් බව පෙනුණා. ඒ එක්කම කොළඹ පාරත්, වෝඩ් පෙදෙසත් අතර මුල්ලේ තිබූ කඩ කීපයකුත් ගිනි ගෙන විනාසවෙලා තිබ්බා. ඒ කඩවලට උඩින් ඊට යාබදව තිබූ තට්ටු ගොඩනැගිල්ලේ බිත්තියේ තිබූ BCC දැන්වීම මට තාමත් මතකයි.
ඒ දවස වෙලා තිබෙන්නෙ මොකද්ද කියලා නොදැන උනත් අපි පාසලට, දෙමටගොඩ වේළුවන විද්‍යාලයට, ගියා. එතැනදි බලනවිට තරමක කලබලගතියක් තිබ්බා. ළමයි ඇවිත් තිබ්බෙත් සෑහෙන අඩුවෙන්. අම්මා පාසලේ නැවතුනෙත් ඒ නිසා. ඊට පස්සේ විවේක කාලෙදි විතර ඇවිත් හිටි ළමයින්ට ආපහු යන්න කීවා. එන්න විදියක් නැති නිසා පාසලේ කැන්ටිම කරන අයගේ වාහනේ නැගලා ළමයි හා වැඩිහිටි කීපදෙනෙක් ආවා. අපි රාජගිරියට ආවෙ, වනාතමුල්ල ඕවල් (පී. සරවනමුත්තු) ක්‍රීඩංගනය තියන පාරෙන් ඇවිත්, කොටාපාරේ ගෝතමී පාර කිට්ටුවට වැටෙන පාරෙන් ඇවිත්. (අද මේක ප්‍රසිද්ධ ෂෙෘ්ට්කට් එකක්)
මේ වන විට රටේ මොකක් හරි කලබලයක් කියලා දැනගෙන හිටියා. ඒ දවස්වල තාත්ත වැඩ කළෙත් බන්ධනාගාර මූලස්ථානෙ. මේ කියන්නෙ ජංගම දුරකථන හා නිවෙස්වල ස්ථාවර දුරකථන නැති කාලෙ. එයා ආවෙ අපටත් පස්සෙ.
ටික ටික සිදුවීම ආරංචි උනා. පෙරදා රාත්‍රියේ ඒ ආරම්භ වෙලා තිබේබෙ "ජූලි කලබලය". මා කියූ ඒ දිනය තමයි 1983 ජුලි 25... අදට වසර තිස් හතකට පෙර අද වැනිම වූ දවසක්.
අපේ ගෙවල් පැත්තෙත් ටිකක් කලබල තිබ්බා. අපි පදිංචි නාවලට නුදුරු විජයබා මාවත පැත්තෙ එතරම් කලබලයක් නොවූවත්, ආසන්න ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි නිවාස කීපයකින් ඔවුන් එලවා දමා ගිනිතබා තිබුණා. පසුව වැලිපාක් කියපු, දැන් තෙත්බිම් උද්‍යානය කියලා නම් කර ඇති ස්ථානය ඉදිරිපිට කන්දවත්ත පාරට යාබදව තිබූ තරමක් විශාල නිවස ඉන් එකක්. එය අයත් වුනේ මානික්කම් කියා මතතෙකුට බවයි දැනගන්න ලැබුණෙ. ගිනි තැබීමෙන් පසු ඒ නිවෙසේ බිත්ති වසර ගණනාවක් තිස්සේ ඉතිරිව තිබුණේ හරියට භයානක සිහිවටනයක් වගේ.
මේ කලබල දින කීපයක් තිබ්බා. විවිධ සිදුවීම් ගැන අපට කටකතා ලෙස ආරංචි උනා. කඩවල් කොල්ල කාපු හැටි. ගිනිතියපු හැටි වැනි බොහෝ දේ ආරංචි වුණා. අපේ පැත්තෙත් ජාති-ආල කාරයො කීප දෙනෙක් එවැනි දේ නියැලුණා. ඒ අතර, එජාප මෙන්ම ශ්‍රිලනිප පාක්ෂිකයොත් හිටියා. සමහරු පසුව වසර ගණනකට සිරගතවුණා.
ඒ කලබල නිසාම අගෝස්තු මාසෙ මමත් පෙනී සිටින්න තිබුණු ශිෂ්‍යත්ව විභාගයක් සති කීපයකින් කල්ගියා. ඒකෙත් හොඳක් උනාද දන්නෙ නැති උනත්, විභාගය හොඳින්ම ගොඩ ගියා. ඒකට නම් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ගුරුවරයාට - ඒ ගැන වෙනම ලියන්න ඕන.
(ජුලි කලබලවලට හේතු වූ යාපනයේ සිදු වූ සිදුවීම ඇතුළු බොහෝ දේ ගැන සවිස්තරව කියවන්නට මට ලැබුණෙ ඊට සෑහෙන කාලයකට පසුවයි. මේ අපි කියන්නෙ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී චැනල් පමණක් තිබුණු, පත්තර කීපයක් පමණත් තිබුණු, පුද්ගල පරිගණක, ජංගම දුරකථන හා අන්තර්ජාලය නොතිබූ යුගයක් ගැනයි.)
No comments:
Post a Comment