Monday, October 24, 2016

මිශ්‍ර ප්‍රතිඵල අත් කර දුන් CITES සමුළුව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 19.10.2016

(Vidusara, 19.10.2016, CITES Summit resulted mixed results)
http://www.vidusara.com/2016/10/19/feature1.html




CITES හෙවත් තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂයන්ට අදාළ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (Convention on the International Trade in Endangered Species of Wild Fauna and Flora) අරමුණ වන්නේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම ය. වර්තමාන ලෝකයේ මුල් පෙළේ නීති විරෝධී ව්‍යාපාරයක්‌ ලෙස හැඳින්වෙන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම, ඒ ජීවී විශේෂවල වඳ වී යැම වළක්‌වා සංරක්‌ෂණය කිරීම සඳහා වැදගත් බව මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

මේ සම්මුතියේ වසර තුනකට වරක්‌ පැවැත්වෙන එහි පාර්ශ්වකරුවන් ගේ සමුළුව පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයේ දී අවසන් විය. එම සමුළුවේ දී ඇති කරගත් එකගතා පිළිබඳව සැලකූ විට පෙනෙන්නේ ඇතැම් ජීවී විශේෂයන්හි ආරක්‌ෂාව පිළිබඳව සතුටුදායි ප්‍රතිඵල අත්පත් කර දුන්න ද, තවත් ජීවී විශේෂ සම්බන්ධව එතරම් සතුටුදායක ප්‍රතිඵල අත්පත් කරගෙන නොමැති බවයි. මේ ලිපිය CITES සමුළුව පිළිබඳව සිදු කරන විමසා බැලීමකි.

වැඩි ආරක්‌ෂාවක්‌ ලැබුණු ජීවීන්


මේ සමුළුවේ දී සම්මත වූ යෝජනාවලට අනුව මේ වන විට නීති විරෝධී වෙළෙඳාම නිසා තර්ජනයට ලක්‌ ව සිටින විශේෂ ගණනාවකට

රැකවරණයක්‌ ලැබී තිබේ. මීට ඈයන්, රෝස්‌වුඩ් ශාක හා මෝරුන් හා මඩු විශේෂ වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් වේ.

අද ලෝකයේ වැඩි වශයෙන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරනු ලබන සත්ත්ව විශේෂ අතර ඈයන් මුල් තැනක්‌ ගනියි. ඒ, ඈයන් ගේ මස්‌, ශල්ක හා ඔසුවක්‌ ලෙස භාවිත කිරීම සඳහා වෙනත් දේහ කොටස්‌ යොදාගැනීම නිසා ය. මේ සඳහා වැඩි ම ඉල්ලුම ඇත්තේ චීනයේ හා වියට්‌නාමයේ ය. පසුගිය දශකයක කාලය ඇතුළත ඈයන් මරා දැමීම ඉහළ ගොස්‌ ඇත. මේ වන විට ආසියාවේ ජීවත් වන ඈයන් විශේෂ හතර ම දැඩි තර්ජනයකට ලක්‌ ව ඇති අතර, ජාවාරම්කරුවන් ගේ අවධානය දැන් අප්‍රිකාව වෙත යොමු වී තිබේ. වාසනාවකට මෙන් උක්‌ත සමුළුවේ දී ඈයන් වෙළෙඳාම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ඈයන් සම්මුතියේ I වැනි උපලේඛනයට මේ විශේෂ ඇතුළත් කිරීමෙනි.

රෝස්‌වුඩ් ලෙස පොදුවේ හඳුන්වනු ලබන රතු පැහැති දැව ලබාගන්නා ශාක විශේෂ ද මෑත කාලයේ දී අධික ලෙස හෙළන ලද ශාක අතර වේ. ගෘහභාණ්‌ඩ සෑදීම සඳහා යොදාගැනීමට ඇති ඉල්ලුම නිසා ලෝකයේ රටවල් ගණනාවක දැකිය හැකි මේ ශාක දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව තිබේ. අග්නිදිග ආසියානු රටවල වනාන්තරවල මේ ශාක අධික තර්ජනයට ලක්‌ ව ඇති අතර, වෙනත් රටවල් 80ක පමණ දැකිය හැකි මේ ශාක පිළිබඳව නීති විරෝධී ජාවාරම්කරුවන් ගේ අවධානය මේ වන විට යොමු වී ඇත. මේ ගෘහභාණ්‌ඩ සඳහා අධික ඉල්ලුමක්‌ ඇත්තේ චීනයේ වන අතර මේ දැව නිෂ්පාදන ඉහළ මිල ගණන්වලට අලෙවි වේ. මෙවර සමුළුවේ දී සම්මත වූ යෝජනාවකට අනුව රෝස්‌වුඩ් ලෙස හඳුන්වන ශාක විශේෂ 300ක්‌ පමණ වෙළෙඳාම පාලනය සඳහා පියවර ගෙන ඇත. මේ අනුව නීති විරෝධී ලෙස හෙළන ලද දැව නීතිමය ආකාරයෙන් ප්‍රවාහනය කිරීම තහනම් වේ.

මේ අතර මෝර විශේෂ දෙකක්‌ හා මඩු විශේෂයක්‌ ද මෙවර සමුළුවේ දී වැඩි ආරක්‌ෂාවක්‌ ලබා ඇත. ආහාරය සඳහා වරල් ලබාගැනීම පිණිස මෝරුන් දඩයම් කරනු ලැබේ. ඒ සඳහා ඉහළ ඉල්ලුමක්‌ ඇත්තේ ද ආසියානු කලාපයේ ය. මේ නව යෝජනාවට අනුව මෝර වරල් ලබාගැනීමට දඩයම් කරනු ලබන මෝරුන් අතරින් 20%ක්‌ පමණ දැන් පාලනයට ලක්‌ වී තිබේ. මේ අනුව මෝර මසුන් ගේ අස්‌වනු පාලනයකට යටත් වන ඇති අතර, නිරීක්‌ෂණය කරනු ලැබේ. ඒවා තිරසර ආකාරයෙන් ලබාගත හැකි ද යන්න මෙහි දී අවධානයට ලක්‌ ව ඇත.

සුරතල් සතුන් ඇති කිරීම සඳහා අල්ලාගැනීම නිසා ස්‌වාභාවික පරිසරයේ දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති අප්‍රිකානු අළු ගිරවා සඳහා ද මෙවර සමුළුවේ දී දැඩි ආරක්‌ෂාවක්‌ ලැබී ඇත.

අසාර්ථක වූ ප්‍රයත්න


කෙසේ වෙතත් ඇතැම් යෝජනා සාර්ථක නො වූ බව ද සඳහන් කළ යුතු වේ.

අලි ඇතුන් සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනා මේ සමුළුවේ වැදගත් ම මාතෘකාවක්‌ විය. සිය රටවල අලි ගහනය යථා තත්ත්වයට පත් ව ඇති බැවින් ඇත් දළ වෙළෙඳාම සිදු කිරීමට අවස්‌ථාව ලබා දෙන මෙන් අප්‍රිකානු රටවල් හතරක්‌ යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබිණි. මේ රටවල අලි ඇතුත් ඇතුළත් වන්නේ සම්මුතියේ II වැනි උපලේඛනයට ය. එනම් අඩු ආරක්‌ෂාවක්‌ ඇති ලේඛනයට ය. මේ යෝජනාවේ ප්‍රකාශිත අරමුණ වූයේ ඉන් ලැබෙන මුදල් සංරක්‌ෂණ අවශ්‍යතා සඳහා යොදාගැනීම ය. ඒ අතර අප්‍රිකානු රටවල් 29ක්‌ ඉදිරිපත් කළ තවත් යෝජනාවකින් ඉල්ලා තිබුණේ සමස්‌ත අප්‍රිකාවේ ම වෙසෙන අලි ඇතුන්ට වැඩි ආරක්‌ෂාවක්‌ ලබා දීම සඳහා සම්මුතියේ I වැනි උපලේඛනයට ඇතුළත් කිරීම ය. අප්‍රිකා මහාද්වීපයේ ම රටවල් කිහිපයක අඩු ආරක්‌ෂාවක්‌ තිබීම සංරක්‌ෂණයට උදෙසා වැදගත් බව ඔවුන් ගේ අදහස විය. විශේෂයෙන් මෑත වසර කිහිපයක කාලයේ දී ඇත් දළ ලබාගැනීම සඳහා විශාල ලෙස මරාදැමීම නිසා අප්‍රිකානු අලි ගහනය විශාල ලෙසින් අඩු වී ඇති බව දක්‌වා තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දී මේ යෝජනා දෙක ම සමුළුවේ දී පරාජයට පත් විය. දෙවැනි යෝජනාව සම්බන්ධයෙන් ගෙන ආ තර්කයක්‌ වූයේ යහපත් ගහනයක්‌ ඇති රටවල අලින් වැඩි ආරක්‌ෂාවක්‌ ඇති කාණ්‌ඩයට ඇතුළත් කිරීම සම්මුතියේ ප්‍රතිපත්තිවලට ගැටලුවක්‌ ඇති කරන්නක්‌ වීම ය.

එසේ ම සියලු ම අප්‍රිකානු සිංහයන් සඳහා වැඩි ආරක්‌ෂාවක්‌ ලබා දීමට ගෙන ආ යෝජනාවක්‌ මේ සමුළුවේ දී පරාජයට පත් විය. මේ වන විට පවත්නා නීති අනුව ස්‌වාභාවික පරිසරයේ වෙසෙන සිංහයන් ගේ ශරීර කොටස්‌ වෙළෙඳාම් කිරීම නීතියෙන් තහනම් වුව ද ඇති කරනු ලබන සිංහයන් සඳහා එය අදාළ නො වේ.

කෙසේ වෙතත් අලි ඇතුන් සම්බන්ධව වැදගත් යෝජනාවක්‌ මෙවර සමුළුවේ දී සම්මත විය. ඒ දේශීය ඇත් දළ වෙළෙඳපොළ වසා දැමීය යුතු ය යන යෝජනාවයි. දේශීය වෙළෙඳපොළ පාලනය කරන ලද්දක්‌ වුව ද, එමගින් නීති විරෝධී ඇත්දළ වෙළෙඳාමට අවස්‌ථාවක්‌ සැපයීම නිසා මෙය වැදගත් තීරණයකි. ලෝකයේ ඇත් දළ සඳහා ඇති ඉහළ ම වෙළෙඳපොළක්‌ වන චීනය ද සිය දේශීය වෙළෙඳපොළ වසා දැමීම පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි අපේක්‌ෂිත ය. ඒ අනුව ඇත් දළ වෙළෙඳාම පාලනය කිරීමට මේ යෝජනාව වැදගත් වනු ඇති බව සිතිය හැකි ය.

සාර්ථක සංරක්‌ෂණ ප්‍රයත්න


මෙවර සමුළුවේ දී සාර්ථක සංරක්‌ෂණ පියවර කිහිපයක්‌ ද අවධානයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ බයිසන් උප විශේෂයක්‌ වන වුඩ් බයිසන් ගහනය මේ වන විට යථා තත්ත්වයට පත් ව ඇති බැවින් ආරක්‌ෂිත ලේඛනයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාවක්‌ මෙවර සම්මත වී තිබේ.

එසේ ම දකුණු අප්‍රිකාව විසින් කේප් කඳුකර සීබ්‍රා සතුන් සඳහා මෙතෙක්‌ පැවැති දැඩි ආරක්‌ෂාව ඉවත් කරන මෙන් ඉල්ලා තිබූ අතර, ඒ යෝජනාව ද සම්මත වී තිබේ. මේ වන විට උක්‌ත සතුන් ගේ ගහනයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. විනෝදය සඳහා දඩයම් කිරීමට (trophy hunting) මේ සතුන් යොදාගැනීම තහනම ඉවත් කිරීම සඳහා කළ ඉල්ලීමට හේතුවකි. එය විශේෂයෙන් පෞද්ගලික ආරක්‌ෂිත ප්‍රදේශවල සිදු කරන සංරක්‌ෂණ කටයුතු සඳහා උපකාරී වන බව මේ රටවල අදහසයි.

CITES සම්මුතිය හා එහි උපලේඛන


1973 වර්ෂයේ දී ඇති කරගත් CITES සම්මුතියේ අරමුණ වන්නේ ස්‌වාභාවික පරිසරයේ වෙසෙන සතුන් හා ශාක ජාත්‍යන්තර වෙළෙඳාම එම ජීවීන් ගේ පැවැත්මට බලපෑමක්‌ නො වන බව තහවුරු කිරීමයි. මේ වන විට ලෝකයේ රටවල් 183ක්‌ මේ සම්මුතියට එක්‌ වී තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම නිසා දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති විවිධ සත්ත්ව විශේෂ 5,600ක්‌ පමණ හා ශාක විශේෂ 35,000ක්‌ පමණ ප්‍රමාණයකට සම්මුතියෙන් විවිධ මට්‌ටමේ ආරක්‌ෂාවක්‌ ලබා දී තිබේ. ඒ උපලේඛන තුනක්‌ ඔස්‌සේ ය. ඉන් වඩාත් වැදගත් වන්නේ I හා II වැනි උපලේඛන ය. මේ උපලේඛනවලට ජීවීන් ඇතුළත් කිරීම හා ඒවා අතර හුවමාරු කිරීම සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ සමුළුවල දී සම්මත වන යෝජනා අනුව සිදු කරනු ලැබේ.

I වැනි උපලේඛනය - මේ උපලේඛනයට අයත් වන්නේ මිහිතලයෙන් වඳ වී යැමේ ඉහළ ම තර්ජනයට ලක්‌ ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ය. වාණිජමය අවශ්‍යතා සඳහා මේ විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම තහනම් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක අවශ්‍යතා වැනි සුවිශේෂ අවශ්‍යතා සඳහා මේ විශේෂ වෙළෙඳාම කළ හැකි ය. ඒ සඳහා අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද ආනයන බලපත්‍රයක්‌ හා අපනයන බලපත්‍රයක්‌ යන දෙක ම අවශ්‍ය ය.

II වැනි උපලේඛනය - වෙළෙඳාම පාලනය නො කරන ලද්දේ නම් වඳ වීමේ තර්ජනයට ලක්‌ විය හැකි, එහෙත් ඒ වන විට වඳ වීමේ තර්ජනයක්‌ නොමැති සතුන් හා ශාක මීට අයත් ය. මේ ජීවී විශේෂ වෙළෙඳාම් කිරීම අපනයන බලපත්‍රයක්‌ හෝ ප්‍රති-අපනයන බලපත්‍රයක්‌ මගින් සිදු කළ හැකි ය. එවැනි බලපත්‍රයක්‌ නිකුත් කළ යුත්තේ එම වෙළෙඳාම මේ ජීවීන් ගේ ස්‌වාභාවික පරිසරයේ පැවැත්මට හානියක්‌ නො වන්නේ නම් පමණි.

III වැනි උපලේඛනය - මේ උපලේඛනයට යම් විශේෂයක්‌ එක්‌ කරන්නේ එහි වෙළෙඳාම පාලනය කරනු ලබන යම් රටක්‌ එම විශේෂයේ පැවැත්ම උදෙසා වෙනත් රටවල සහාය ලබාගැනීම අවශ්‍ය බව පෙන්වා දුන් විට ය.

http://www.vidusara.com/2016/10/19/feature1.html 

No comments:

Post a Comment