Saturday, October 1, 2016

මිනිසුන් අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක තිබේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.09.2016

(Vidusara, 28.09.2016, Is there genetic evidence to an early Out of Africa event?)

http://www.vidusara.com/2016/09/28/feature3.html




නූතන මානවයා හෙවත් Homo sapiens මානවයා අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර පරිණාමය වී මිහිතලයේ ජනිත වූ අතර, ඔවුන් අප්‍රිකාවෙන් නික්‌මුණේ අදින් වසර 60,000කට (වඩා පුළුල්ව ගත හොත්, වසර 50,000-75,000 අතර කාලයකට) පමණ පෙර බව විද්‍යාඥයන් අතර දැනට ඇති පුළුල් ම පිළිගැනීමයි.

එහෙත්, එක්‌ වරක්‌ නො ව කීප වතාවක්‌ නූතන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ලෝකයේ විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට මතයක්‌ මෑත කාලයේ දී සිදු කරන ලද පර්යේෂණවල සාධක අනුව ඉදිරිපත් ව ඇත. ඉහත සඳහන් වැඩි පිළිගැනීමක්‌ ඇති කාලයට වඩා පෙර එවැනි නික්‌මීමක්‌ සිදු ව ඇති බව ඒ අනුව යෝජනා කර තිබේ. මෙතෙක්‌ ලැබී ඇති මානව ෆොසිල සාධක මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයෙන් ලැබුණු ශිලා මෙවලම් අනුව නූතන මිනිසුන් වසර 100,000ත් 125,000ත් අතර කාලයක දී අප්‍රිකාවෙන් නික්‌මී ඇති බව අදහස්‌ කර තිබේ. එසේ ම මෑත කාලයේ දී චීනයේ ඩාඕක්‌සියාන් පළාතෙන් ලැබුණු වසර 80,000ක්‌ පමණ පැරැණි මානව දත් නූතන මානවයා ගේ දත් බව පෙන්වා දී ඇත. එසේ ම වෙනස්‌ මානව විශේෂයක්‌ වන නියෑන්ඩර්තාල් මානවයන් හා නූතන මිනිසුන් මිශ්‍ර වූ බවට ද ප්‍රවේණික සාධක ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. ඒ ප්‍රවේණික මිශ්‍ර වීම අදින් වසර 100,000කට පමණ පෙර කාලයක දී සිදු වන්නට ඇති බව ඒ පර්යේෂකයන් ගේ අදහසයි.

කෙසේ වෙතත්, මෙසේ පැමිණි මුලින් නික්‌මුණවුන් පසුව වඳ වී ගොස්‌ ඇති බව පසුකාලීන නික්‌මීමක්‌ පිළිබඳ අදහස්‌ දක්‌වන විද්‍යාඥයන් ගේ නිගමනයයි. එවැන්නකට වැඩි ඉඩක්‌ ඇත්තේ මානව ප්‍රවේණි ද්‍රව්‍ය සම්බන්ධව මෙතෙක්‌ සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇති සාධක අනුව අප්‍රිකාවෙන් නූතන මිනිසුන් නික්‌මී ඇත්තේ අදින් වසර 60,000ක්‌ පමණ කාලයකට පෙර බවට වන මතය තහවුරු වන නිසා ය. මේ නිසා මේ පසු කාලයකට අයත් නික්‌මීම ප්‍රධාන නික්‌මීම සේ ද සැලකේ.

මේ පිළිබඳව මෑතක දී සිදු කරන ලද ප්‍රවේණික අධ්‍යයන කීපයකින් ලැබෙන සාධක මෑතක දී ප්‍රකාශයට පත් විය. ඒ අධ්‍යයනවලින් උක්‌ත මතවාද තවදුරටත් සංකීර්ණ වන්නේ ඉන් එක්‌ පර්යේෂණයකින් අප්‍රිකාවෙන් කලින් නික්‌මීමක්‌ ගැන සාධක සැපයීම හා අනෙක්‌ අධ්‍යයන දෙකක්‌ ම පසුව සිදු වූ එක්‌ නික්‌මීමක්‌ පිළිබඳව සාධක ලැබෙන නිසා ය.

කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක


Nature සගරාවේ පළ වූ එක්‌ පර්යේෂණ වාර්තාවකින් දැක්‌වෙන්නේ ලෝකයේ විවිධ මානව ගගහන 148කින් ලබාගත් මානව ගෙනෝම 483ක්‌ පිළිබඳ අධ්‍යයනයක ප්‍රතිඵල ය. මෙහි දී මානව ගහන වෙන් වී යැම් හඳුනාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ යොදාගෙන තිබේ. එහි දී පෙනී ගොස්‌ තිබුණේ බොහෝ යුරේසියානුවන් ගේ (Eurasian) DNA පිළිබඳ අධ්‍යයනයවලට අනුව ඔවුන් අප්‍රිකානුවන් ගෙන් ප්‍රවේණිකව වෙන් වී ගොස්‌ තිබුණේ අදින් වසර 75,000ක්‌ තරම් ඉහත කාලයක දී බවයි. එහෙත් පැපුවා නව ගිනියාවේ වෙසෙන පිරිසක ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණයේ දී මේ වෙන් වී යැම ඊට වඩා පෙර කාලයක දී සිදු ව ඇති බවක්‌ පෙනී ගොස්‌ ඇත.

මේ වන විට ද දන්නා පරිදි මේ පැපුවා නව ගිනියාවේ හා ඕෂනියාවේ ඇතැම් දූපත්වල ද වෙසෙන ජනතාව ගේ DNAවලින් සුළු ප්‍රතිශතයක්‌ නියෑන්ඩර්තාල් මානවයාට සමකාලීන මානවයකු වන ඩෙනිසෝවානුවන් ගේ DNA බවයි. එහෙත් මේ ගෙනෝම කොටස ඉවත් කළ පසුව ද පර්යේෂකයන්ට තුන්වැනි ගෙනෝම කොටසක්‌ හමු වී ඇත. මේ ගෙනෝම කොටසේ බහුතරය අදින් වසර 60,000කට පමණ පෙර සිදු වූ අප්‍රිකාවෙන් නික්‌මීම හා යම් ගැලපීමක්‌ දැකිය හැකි විය. මේ පර්යේෂකයන්ට අනුව, එම කොටස අතරමැදි ලක්‌ෂණ පෙන්වන අතර, එය වසර 120,000ක්‌ පමණ කාලයකට පෙර අප්‍රිකාවෙන් නික්‌මුණු මිනිසුන් පිරිසක්‌ හා සම්බන්ධ බවට සාධකයක්‌ ලෙස මේ පර්යේෂකයන් නිගමනය කර තිබේ.

එහෙත් මේ ගෙනෝම ප්‍රමාණය වර්තමාන පැපුවා නව ගිනියානුවන් ගේ සමස්‌ත ගෙනෝමයෙන් 2%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. ඒ නිසා එය කලින් අප්‍රිකාවෙන් සිදු වූ නික්‌මීමක්‌ පිළිබඳව දුර්වල සංඥාවක්‌ සේ මේ පර්යේෂකයන් සලකා ඇත. ඒ පැපුවා නව ගිනියානුවන් ගේ ගෙනෝමයෙන් අතිශය බහුතර ප්‍රතිශතයක්‌ අයත් වන්නේ අප්‍රිකාවෙන් පසුව නික්‌මුණු ප්‍රධාන නික්‌මීමට අදාළ නූතන මානවයාට වීම නිසා ය. මේ අනුව අදාළ සුළු ගෙනෝම කොටස අයත් එසේ අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු මානව කොටසක්‌ වී නම්, ඔවුන් අද වන විට වඳ වී ගොසිනි. එහෙත් එම සුළු ප්‍රවේණික ද්‍රව්‍ය කොටස ද අද වෙසෙන පැපුවා නව ගිනියානුවන් අතර දැකිය හැකි බැවින් අප්‍රිකාවෙන් මුලින් නික්‌මුණවුන් ගෙන් පැවත ආ පිරිසක්‌ එම ප්‍රදේශයට නූතන මානවයා ගේ පසුකාලීන පැමිණීම දක්‌වා ඉතිරි ව සිටි බව පිළිගත හැකි ය. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature19792)

තනි නික්‌මීමකට සාධක සපයන පර්යේෂණ දෙකක්‌


කෙසේ වෙතත් Nature සගරාවේ ම පළ වූ තවත් ප්‍රවේණික අධ්‍යයන දෙකකින් පැවසෙන්නේ නූතන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ඇත්තේ එක්‌ වරක්‌ පමණක්‌ බවයි.

මින් පළමු අධ්‍යයනය සඳහා අදාළ පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ ලෝකය පුරා වෙසෙන විවිධ කුඩා ජන කණ්‌ඩායම් 142ක්‌ පමණ පිරිසක ගේ ගෙනෝම 300ක්‌ පමණ ප්‍රමාණයකි. මේ ජන කණ්‌ඩායම් මෙතෙක්‌ ප්‍රවේණික වශයෙන් අඩුවෙන් අධ්‍යයනය කර තිබූ මානව ගහන වේ. මේ අධ්‍යයනයේ එක්‌ නිගමනයක්‌ වන්නේ අද වෙසෙන අප්‍රිකානු නො වන සියලු මිනිස්‌ ගහන පැවත එන්නේ අප්‍රිකාවෙන් නික්‌මුණු තනි ගහනයකින් බවයි. ඔවුන් එසේ පවසන්නේ, අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු පිරිසක්‌ සම්බන්ධව ප්‍රවේණික සාධක නොමැති නිසා ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වඩා කලින් අප්‍රිකාවෙන් මුල් නික්‌මීමක්‌ සිදු වුව ද ඒ මිනිසුන් ගෙන් වර්තමාන මානව ගහනයට සැලකිය යුතු ප්‍රවේණික බලපෑමක්‌ සිදු වී නොමැත. එසේ ම ඔස්‌ටේ්‍රලියානු, නව ගිනියානු හා අන්දමන් ආදිවාසි ජනතාව ගේ ප්‍රවේණික ද්‍රව්‍ය අනුව ඔවුන් එවැනි මුල්කාලීන නික්‌මීමකින් පිට වුණු මිනිසුන් ගෙන් පැවත එන බවට සැලකිය යුතු තරම් සාධක මේ අධ්‍යයනයෙන් ලැබී නොමැත. එසේ ම ඔවුන් ගේ නූතන මානවයාට ඇති සම්බන්ධය සෙසු අප්‍රිකානු නො වන මිනිසුන් මෙන්ම එක ම ප්‍රභවයකින් පැවත එන බවට සාධකයකි (මූලාශ්‍රය: Nature, 2016; DOI:10.1038/nature18964).

මේ විෂය පිළිබඳව සිදු කර ඇති තවත් අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත්තේ ද තනි ව්‍යාප්තියක්‌ පිළිබඳව ඇති සාධකවලට වැඩි තැනක්‌ හිමි වන බවයි. එහි දී අවධානය යොමු කර තිබුණේ ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන ආදිවාසීන් 83ක ගේ හා පැපුවා නව ගිනියාවේ වෙසෙන ආදීවාසින් 25 දෙනකු ගේ ගෙනෝම පිළිබඳ ව ය. මේ අනුව අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ කණ්‌ඩායම ද අප්‍රිකාවෙන් නික්‌මුණු එක ම පිරිසක ගෙන් පැවත එන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් නික්‌මුණු සෙසු යුරේසියානුවන් ගෙන් වෙන් වී ගොස්‌ ඇත්තේ අදින් වසර 51,000ත් 72,000ත් අතර කාලයක දී ය. එනම් නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිටතට පැමිණ කෙටි කාලයක්‌ ඇතුළත ය. එම වෙන් වීමට හේතු වන්නට ඇත්තේ පාරිසරික සාධක බව පෙන්වා දී තිබේ. එසේ වෙන් ව ගිය පිරිස ඉන් පසුව ඒ වන විට සිටි වෙනත් පැරැණි මානව ගහන හා මිශ්‍ර වී ඇති බවට ද සාධක දක්‌වා ඇත. එසේ ම ඔස්‌ටේ්‍රලියානු හා නව ගිනියානු මානවයන් එකිනෙකා ගෙන් වෙන් වී ඇත්තේ අදින් වසර 10,000ත් 32,000ත් අතර කාලයේ දී ය. (ඔස්‌ටේ්‍රලියාව හා පැපුවා නව ගිනියාව භූගෝලීය වශයෙන් වෙන් වන්නේ අදින් වසර 10,000කට පමණ ඉහත දී ය). එසේ ම මේ වෙන් වීමෙන් පසුව ඔස්‌ටේ්‍රලියානු ආදිවාසීන් අතර ඉහළ ප්‍රවේණික විවිධත්වයක්‌ ඇති වී තිබේ. (මූලාශ්‍රය:Nature, 2016; DOI: 10.1038/nature18299)

සමාලෝචනය


මේ පර්යේෂණ වාර්තා තුන සමාලෝචනය කළ විට අපට පෙනෙන්නේ වර්තමානයේ අප්‍රිකාවෙන් පිටත වෙසෙන නූතන මිනිසුන් එක්‌ වරක්‌ අප්‍රිකාවෙන් නික්‌මුණු මිනිසුන් පිරිසක ගෙන් පැවත එන්නවුන් බව ය. මේ ලිපියේ සඳහන් වන මුල් ම පර්යේෂණයේ දැක්‌වෙන පරිදි, නූතන මිනිසුන් අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක ඇතත් ඒවා අදාළ ජන කොටසේ සමස්‌ත ගෙනෝමයෙන් 2%ක්‌ තරම් සුළු ප්‍රමාණයකි. එම පැරැණි නික්‌මීමට අදාළ මිනිසුන්ට සම්බන්ධ ප්‍රවේණික සාධක අද වෙසෙන මිනිසුන් අතර අඩු වශයෙන් හමු වීමෙන් පෙනෙන්නේ පසු කලක එම කණ්‌ඩායම මුළුමනින් ම වඳ වී ගිය බවයි. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයෝ ද මේ අදහස පිළිගනිති. අනෙක්‌ අතට ඉහත දැක්‌වූ අනෙක්‌ ප්‍රවේණික පර්යේෂණ දෙකෙන් ම පෙන්වා දෙන්නේ ද නූතන මිනිසුන් අප්‍රිකාවෙන් එක්‌ වරක්‌ පමණක්‌ නික්‌මුණු පිරිසක ගෙන් පැවත එන බවයි.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඉහත දැක්‌වූ පර්යේෂණ වාර්තා තුනෙන් ම පැහැදිලි වන්නේ අද අප්‍රිකාවෙන් පිටත වෙසෙන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ඇත්තේ එක්‌ වරක දී බවට ඇති මතවාදය තවදුරටත් වලංගු වන බවයි. ඒ අනුව අද වෙසෙන නූතන මිනිසුන් අදින් වසර 60,000කට පමණ පෙර (වඩා පුළුල් ව ගත් විට වසර 50,000-75,000 අතර කාලයේ දී) අප්‍රිකාවෙන් නික්‌මී ඇත.

http://www.vidusara.com/2016/09/28/feature3.html

No comments:

Post a Comment