Sunday, September 10, 2017

කුණාටු හා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යළි කතාබහක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.09.2017, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2017/09/06/feature4.html



පසුගිය මාසයේ ඇති වූ නිවර්තන කුණාටුවක්‌ වූ හාවි කුණාටුව (Hurricane Harvey) මගින් මධ්‍යම හා උතුරු ඇමරිකාවට දැඩි බලපෑම් සිදු විය. අගෝස්‌තු 17 මුලින් ම ආරම්භ වූ මේ කුණාටුව 4 වැනි කාණ්‌ඩයේ කුණාටුවක්‌ සේ සැලකේ. එය මේ වර්ෂයේ කුණාටු සමයේ මුලින් ම ඇති වූ කුණාටුව වේ. පළමුව මධ්‍යම ඇමෙරිකානු රටවල් ගණනාවකට බලපෑම් ඇති කළ එය ඇමෙරිකාවට ළගා වූයේ සතියකට පමණ පසු ව ය. මේ ලිපිය ලියන මොහොත වන විට ද මේ කුණාටුව සක්‍රිය තත්ත්වයක පැවතිණි.

මේ වන විට වාර්තා වන පරිදි හාවි කුණාටුව මෑත කාලයේ දී ඇමෙරිකාවට පැමිණි වඩාත් ප්‍රබල ම කුණාටව වේ. තවත් රටවල් ගණනාවකට එමගින් හානි සිදු වී ඇතත් වඩාත් බරපතළ ම හා අවධානයට යොමු වී ඇති හානිය සිදු වී ඇත්තේ ඇමෙරිකාවට ය. එය 2005 වර්ෂයේ දී ඇමෙරිකාවට බලපෑම් සිදු කළ විල්මා හා කැත්‍රිනා කුණාටුවලින් පසුව දැඩි වර්ෂාපතනයක්‌ හා දැඩි හානියක්‌ ඇති කළ කුණාටුව සේ සැලකෙන්නේ මේ කුණාටව ය. දින හතරක්‌ වැනි කාලයක්‌ ඇතුළත ඇති වූ මිලිමීටර් 1000කට (අගල් 49.2ක්‌ පමණ) අධික වූ වාර්තාගත වර්ෂාපතනය හමුවේ ඇමෙරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ නැෙගනහිර ප්‍රදේශය නො සිතූ ආකාරයේ ජලගැලීමකට ලක්‌ විය. ඇමෙරිකාවේ සිව්වැනි විශාලතම නගරය වන හූස්‌ටන් නගරය ආශ්‍රිත ප්‍රදේශයට ද මේ කුණාටුවෙන් විශාල හානියක්‌ සිදු ව ඇත.

මේ කුණාටුව නිසා ඇති වූ හානිය ගැන තවමත් අවසන් නිගමනයකට පැමිණීමට කල් මදි බව පෙනේ. කෙසේ වෙතත් සැප්තැම්බර් මස 1 වැනි දින වන විට ඇමෙරිකාවේ පමණක්‌ ජීවිත 40ක්‌ අහිමි වී තිබුණු අතර, සිදු වී ඇති දේපොළ හානිය ද ඉතා විශාල ය. (එහෙත් 2005 දී ලුසියානා ප්‍රාන්තයට බලපෑ කැත්‍රිනා කුණාටුව නිසා අහිමි වූ ජීවිත ගණන 1800කට අධික ය.) වාර්තා වන පරිදි ටෙක්‌සාස්‌ ප්‍රාන්තය තුළ පමණක්‌ හැත්තෑ දහසක පමණ පිරිසක්‌ මේ නිසා අවතැන් වී ඇත. ඉන් විශාල පිරිසකට අනිවාර්යයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඇතැම් පිරිස්‌ සහන සේවකයන් හා ස්‌වෙච්ඡා සේවකයන් විසින් බේරාගන්නා ලදි. මෙයින් ඇති වූ සම්පූර්ණ අලාභය කෙතරම් ද යන්න ගැන තවමත් අවසන් නිගමනයක්‌ ඇති බවක්‌ නො පෙනේ. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 70ත් 125ත් අතර විය හැකි බව වාර්තා අනුව පෙනේ. මේ දෙවැනි අගය ගත හොත් මෙය එරටට වැඩි ම ආර්ථික හානියක්‌ සිදු කළ කුණාටු අතරින් එකක්‌ වීමේ ඉඩක්‌ පවතී.

ටෙක්‌සාස්‌ ප්‍රාන්තය ඇමෙරිකාවේ ආර්ථිකය සම්බන්ධව වැදගත් වන ප්‍රාන්තයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් එරට තෙල් කර්මාන්තයේ දී ද ටෙක්‌සාස්‌ ප්‍රාන්තය වැදගත් තැනක්‌ ගනියි. මේ වන විට ගංවතුර බැස යන තුරු බොහෝ කටයුතු නැවතී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ. එසේ ම එම ප්‍රාන්තයේ ප්‍රවාහන පද්ධතියට සැලකිය යුතු බලපෑමක්‌ ද සිදු වී ඇත. හානි වූ නිවාස හා වෙනත් යටිතල පහසුකම් ප්‍රතිස්‌ථාපනය කිරීම සඳහා යම් කාලයක්‌ ගත විය හැකි බව අසන්නට ලැබේ.

කෙසේ වෙතත් මේ ගංවතුර ආපදාවෙන් සිදු වූ හානිය සම්බන්ධව ජනතාව ගේ ක්‍රියාකාරිත්වයේ යම් බලපෑමක්‌ ඇති බව පැහැදිලි ය. හූස්‌ටන් නගරයේ ජනගහනය සම්බන්ධව සැලකුව හොත්, එහි ජනගහනය 1980 වර්ෂයෙන් පසුව 40%කින් පමණ ඉහළ ගොස්‌ ඇත. මේ අතරින් සැලකිය යුතු පිරිසක්‌ මෙවැනි කුණාටු බලපෑ හැකි අවදානම් කලාපයේ පදිංචි ව සිටි පිරිස්‌ ය. ඒ අතරින් සැලකිය යුතු පිරිසක්‌ රක්‌ෂණාවරණයක්‌ නොමැති අය හෝ හදිසි ඉවත් වීමක්‌ සිදු කිරීමට තරම් ආර්ථික අතින් ශක්‌තියක්‌ නොමැති ව සිටි ජනතාවක්‌ බව සඳහන් වේ. එසේ ම ජනාවාස සඳහා නුසුදුසු ස්‌ථානවල ජලාශවල ජල සීමාව රදා පවත්නා ප්‍රදේශවල නිවාස තනා තිබූ අවස්‌ථා ද පැවැති බව වාර්තා වේ. එය මේ ව්‍යසනයේ හානිය බරපතළ කිරීමට හේතු වී ඇති බව සඳහන් වේ. මෙය සංවර්ධිත රටක්‌ සේ සැලකෙන ඇමෙරිකාව සම්බන්ධව තරමක්‌ විස්‌මයජනක තත්ත්වයකි.

මෙවැනි නිවර්තන කුණාටු ස්‌වාභාවිකව ඇති වන සංසිද්ධියකි. කෙසේ වෙතත් මෙවැනි කුණාටුවල තීව්‍රතාව අධික වීමට හා අධික වර්ෂාපතනය සඳහා දේශගුණ වෙනස්‌ වීමේ යම් බලපෑමක්‌ ඇති බවට සාකච්ඡාවක්‌ හාවි කුණාටුවට පසුව ඇති වී තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය හෙට දවසේ ලෝකයේ දේශගුණය තීරණය කරනු ඇති බැවිනි.

මෙවැනි කුණාටු දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ ද?


මේ සම්බන්ධව විද්‍යාඥයන් පෙන්වා දෙන සාධකය වන්නේ උෂ්ණත්වයෙන් ඉහළ වායුගෝලයක වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක්‌ පැවතීමයි. ක්‌ලෝසියස්‌-ක්‌ලැපේරොන් නියමය හෝ සමීකරණය (Clausius-Clapeyron equation) ලෙස හඳුන්වන නීතිය අනුව යම් උෂ්ණත්වයක දී ඇති ජලවාෂ්ප පීඩනය දන්නේ නම් වෙනත් උෂ්ණත්වයක දී ඇති වන ජලවාෂ්ප පීඩනය ගණනය කළ හැකි ය. මේ වන විට පෙන්වා දී ඇති ආකාරයට, උෂ්ණත්වයේ ඉහළ යන යැම සෙල්සියස්‌ අංශකයක්‌ සඳහා ම වායුගෝලයේ රඳවාගත හැකි ජල ප්‍රමාණය 6%කින් පමණ ඉහළ යයි. මේ නිසා කුණාටු හෝ වර්ෂාපතන තත්ත්ව ඇති වන අවස්‌ථාවල දී වර්ෂාව ලෙස පතිත වන ජල ප්‍රමාණය අධික වේ. එනම් වර්ෂාව වඩාත් තීව්‍ර (intensity) විය හැකි ය.

මේ වන විට හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හේතුවෙන් ඉහළ ගොස්‌ ඇති උෂ්ණත්වය නිසා වැඩි ජල ප්‍රමාණයක්‌ වායුගෝලයේ පවතී. එබැවින් අධික වර්ෂාපතනයක්‌ පතිත වන සිදුවීම් හෙවත් ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම අනාගතයේ දී ඉහළ යා හැකි ය.

අනෙක්‌ අතට සාගර ජලයේ උෂ්ණත්වය ද මේ තත්ත්වයට බලපෑමක්‌ ඇති කරයි. ඇමෙරිකාවට නුදුරු ව පිහිටා ඇති මෙක්‌සිකෝ බොක්‌ක ප්‍රදේශයේ ද මෙවැනි තත්ත්වයක්‌ පවතී. එහි ඇති ජලයේ උෂ්ණත්වය 1980-2010 අතර කාලයේ දී පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අංශක 1.5කින් පමණ ඉහළ ය. ඒ අනුව සාගර ජලය ද පහසුවෙන් වාෂ්ප වීමට ලක්‌ වන බව පැහැදිලි ය. මේ අනුව ශක්‌තිමක්‌ කුණාටුවක්‌ ඇති වීමට හැකියාව ඇති බව ඇතැම් විද්‍යාඥයන් ගේ මතය වේ. මෙසේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා මිහිතලය උණුසුම් වීම බලපාන බව පැහැදිලි කරුණකි.

2014 වර්ෂයේ දී පළ වූ ජාතික දේශගුණ ඇගයීම (National Climate Assessment) නම් ෆෙඩරල් ආණ්‌ඩුවේ ප්‍රකාශන පෙළේ නවතම ප්‍රකාශනයේ දැක්‌වෙන ආකාරයට ඇමෙරිකා එක්‌සත් ජනපදය හරහා හමා යන ආන්තික කුණාටුවල ඉහළ යැම හා මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යැම සිදු ව ඇත්තේ සමාන ව ය. මේ ආකාරයෙන් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම දිගට ම සිදු වුව හොත් ආන්තික වර්ෂාපතන තත්ත්වය ඇති වීමේ අවස්‌ථා ගණන ඉහළ යා හැකි බව දක්‌වා ඇත. එසේ ම සමස්‌ත වර්ෂාපතනය අඩු වනු ඇතැයි අපේක්‌ෂිත ප්‍රදේශවල පවා ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති විය හැකි බව පෙන්වා දී තිබේ. ඇතැම් ප්‍රදේශවල ආන්තික තත්ත්ව ඉහළ ගොස්‌ ඇති බව ද දක්‌වා ඇත. එසේ ම හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා යම් පියවරක්‌ නො ගන්නේ නම්, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල අද ඇති වන අධික වැසි ප්‍රමාණය මෙන් පස්‌ ගුණයක පමණ අධික වැසි ප්‍රමාණයක්‌ මේ සියවස අවසානය වන විට පමණ ඇති විය හැකි ය. මෙයින් පෙනෙන්නේ මේ වර්ෂයේ පිහිටුවූ වාර්තාව වැඩි කාලයක්‌ නො පැවතිය හැකි බව යෑයි ඇතැම් පුවත්පත් සඳහන් කරයි.

මේ තත්ත්වය නිවර්තන කුණාටුවලට මුහුණ දෙන ලෝකයේ සෙසු රටවලට ද බොහෝ සේ එක සමාන ය. මෙවැනි සිදු වීම් පුරෝකථනය කිරීම අසීරු වන අතර ම, ඉන් බැට කන දියුණු වන රටවල ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙන පිරිසක්‌ වීම තවත් අවාසනාවකි.

මිනිස්‌ ක්‍රියාකාරිත්ව දායකත්වය ප්‍රමාණනය කිරීම


මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය නිසා ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීම මෙවැනි ආපදා තත්ත්වවලට හේතු වන බව පෙන්වා දෙමින් යම් යම් අවස්‌ථාවල දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. එහෙත් ඒ ගැන මෙතෙක්‌ ගෙන තිබෙන නෛතික ක්‍රියාමාර්ග මේ වන විට වැඩි වශයෙන් අසාර්ථක වී ඇත.

එහෙත් මේ පිළිබඳව Nature Geoscience සගරාවට මෑතක දී අදහස්‌ පළ කර ඇති විද්‍යාඥයන් පිරිසකට අනුව හරිතාගාර වායු විමෝචන නිමා කිරීමට කටයුතු නො කරන රටවලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. ඔවුන් මෙහි දී සඳහන් කරන්නේ දැනුම පිළිබඳ නව අංශයක්‌ සේ සැලකෙන ආරෝපණ විද්‍යාව (Attribution science) නම් විෂයයේ වර්ධනය සමග මෙවැනි අවස්‌ථාවක්‌ ලැබී ඇති බවයි. එමගින් ආන්තික කාලගුණ තත්ත්ව සඳහා මානවමූලික දේශගුණ වෙනස්‌ වීමේ ඇති දායකත්වය තීරණය කිරීමට ඇති හැකියාව ඉහළ ගොස්‌ ඇත. මේ අනුව ඒ පිළිබඳව වැඩි විශ්වසනීයත්වයකින් යුතු ව තීරණ ගැනීමට අධිකරණයකට හැකියාවක්‌ ඇති බව ඔවුන් ගේ අදහස වේ. (DOI: 10.1038/ngeo3019)

ඒ අනුව අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ලෝකයේ සෙසු රටවල් සාමූහිකව කටයුතු කරන අතර ඇතැම් රාජ්‍ය හා විවිධ ආයතන තම විමෝචන අඩු නො කළ හොත් ඒ බව අධිකරණය හමුවේ සාර්ථක ලෙස අභියෝගයට ලක්‌ කිරීමට වැඩි අවස්‌ථාවක්‌ ද ඇති බව මේ පිළිබඳ විචාරකයන් ගේ අදහස වේ.

http://www.vidusara.com/2017/09/06/feature4.html

No comments:

Post a Comment