Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 142 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම  
විදුසර (Vidusara), 2012-09-26, පි. 11
Vidusara: http://www.vidusara.com/2012/09/26/feature3.html


විමසුම - දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ උත්සාහය -තත්ත්වය සතුටුදායක ද?
ප්‍රමුඛ පුවත - හීලියම් වායුවත් ක්‌ෂය වීමේ තර්ජනයක්‌
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ සාගර අයිස්‌ ආවරණයේ අඩු ම මට්‌ටම/ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ප්‍රජාවට යහපතක්‌ සැලසේ/ නව හිම ක්‍රීඩාවක්‌ නිසා පිනිමුවන් අනතුරේ


දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ උත්සාහය -තත්ත්වය සතුටුදායක ද?

ජගත් පරිසර විමසුමේ සතියේ ප්‍රධාන මාතෘකාව ලෙස වැඩි වශයෙන් තෝරාගෙන ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැනි කරුණු ය. ඊට මූලික හේතුව වන්නේ දේශගුණ වෙනස්‌ වීම අද ලෝකයේ බරපතළ ම ගැටලුව වීම පමණක්‌ නො වේ. ඒ සම්බන්ධව ගෙන ඇති පියවර එතරම් ප්‍රමාණවත් නො වීම ද මේ සඳහා බලපාන හේතුවයි. විශේෂයෙන් වරින් වර පර්යේෂණ මගින් හෙළි වන ආකාරයට දේශගුණ වෙනස්‌ වීමේ විවිධ බලපෑම් දිනෙන් දින වඩාත් බරපතළ වෙමින් පවතී. මෙවැනි තත්ත්වයක දී ඒ තත්ත්වය වැළැක්‌වීමට ගන්නා උත්සාහයේ ප්‍රගතිය විමසීමට අද දවසේ පරිසර විමසුම වෙන් කරමු.

කියෝටෝ සන්ධානයේ අනාගතය?


කියෝටෝ සන්ධානය, ලෝකය එකඟ වී ඇති හරිතාගාර වායු විමෝචන අඩු කිරීම අරමුණු කරගත් එක ම ක්‍රමවේදයයි. එහෙත් එහි සාර්ථකත්වය පිළිබඳව බරපතළ ගැටලු ඇත. ඒ හරහා හරිතාගාර වායු විමෝචන සැබැවින් ම අඩු වන්නේ ද යන්න ද ගැටලුවක්‌ වූ අතර වඩා වැදගත් කරුණ වූයේ ලෝකය හරිතාගාර වායු විමෝචනයෙන් ගලවාගැනීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිඵලයක්‌ සන්ධානයෙන් ඇති නො වීම ය. මේ අතර කියෝටෝ සන්ධානය මේ වර්ෂාවසානයේ දී අවසන් වීමට නියමිත ය.

කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියර පිළිබඳව පවත්නා ජාත්‍යන්තර සාකච්ඡා මේ වන විට තරමක්‌ දියාරු වී ඇති බව ද පෙනේ. දියුණු වන රටවල් පවසන්නේ එය පෙර මෙන්ම දියුණු කාර්මික රටවලට සීමා විය යුතු බවකි. එහෙත් දියුණු රටවල් පවසන්නේ අනෙක්‌ රටවලට (විශේෂයෙන් වේගයෙන් දියුණු වන රටවලට) පමණක්‌ එය අදාළ විය යුතු බවකි. පසුගිය දා අවසන්වූ බැංකොක්‌ සාකච්ඡාවල දී පෙනී ගිය පරිදි සැලකිය යුතු දියුණු රටවල් ගණනාවක්‌ කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරකට සම්බන්ධ නො වන බව පෙනේ.

දෝහා සමුළුව හා රට රටවල ප්‍රතිපත්ති

මේ වසර අවසානයේ දෝහාවල දී පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුව සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ වාර්තා ද අපට අසන්නට ලැබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් BASIC රටවල් ලෙස හැඳින්වෙන බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා චීනය යන රටවල් ඉදිරියේ පැවැත්වෙන දෝහා සමුළුවේ දී පොදු ස්‌ථාවරයක්‌ ගැනීමට සූදානම් වන බව දැකගත හැකි ය. මේ පිළිබඳ සාකච්ඡා ද වාර්තා විය. මේ රටවල පොදු මතය සේ සැලකිය හැක්‌කේ කියෝටෝ සන්ධානය 2020 වර්ෂය තෙක්‌ දිගු කිරීම, හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී වැඩි වගකීමක්‌ දියුණු රටවලට පැවරීම වැනි කරුණු ය. එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් දියුණු රටවල් ඊට විරුද්ධ ය.

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇමෙරිකාව අනුගමනය කරන පිළිවෙත් ලෝකය පුරා බොහෝ රටවල මෙන්ම පරිසර අංශවල ද විවේචනයට ලක්‌ ව ඇත. මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන බව පෙන්වූ වර්තමාන ජනාධිපති ඔබාමා තම ධූරයට පත් වූ පසු පළමුව ඒ ගැන උත්සාහ ගත්ත ද පසුව ඒ උනන්දුව අඩු ව ඇති බව පෙනේ. එසේ ම ළඟ එන ජනාධිපතිවරණයට විපක්‌ෂයෙන් ඉදිරිපත් ව ඇති අපේක්‌ෂකයා මේ පිළිබඳව එතරම් උනන්දුවක්‌ දක්‌වන අයකු බව නො පෙනේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව ආර්ථික කරුණු බව පැහැදිලි ය.

අනුහුරු වීමේ වැදගත්කම

දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම ඉදිරි දේශගුණ සාකච්ඡාවල දී වැඩි අවධානයක්‌ යොමු කළ යුතු අංගයක්‌ සේ සැලකිය යුතු බව එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ රාමුගත සම්මුතියේ ප්‍රධානී ක්‍රිස්‌ටිනා µqගේරා විසින් සිදු කරනු ලැබ ඇති අදහස්‌ දැක්‌වීමකින් පෙනේ. අප්‍රිකානු රටවල් මේ පිළිබඳ සාකච්ඡාවල දී මුල්තැන ගත යුතු බව පෙන්වා දී ඇත. වර්තමාන දේශගුණ වෙනස්‌ වීමට අඩු ම දායකත්වයක්‌ දක්‌වන්නේ අප්‍රිකානු රටවල් ය. (සමස්‌ත අප්‍රිකානු මහාද්වීපයේ ම හරිතාගාර වායු විමෝචන ලෝකයේ සමස්‌ත වායු විමෝචන අතරින් සියයට 4ක්‌ පමණ තරම් ය.) එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ම බලපෑමට මුහුණ දී ඇත්තේ අප්‍රිකානු රටවල් ය. එපමණක්‌ නො ව, අනුහුරු වීමේ දී අවම ආර්ථික හා තාක්‌ෂණික පහසුකම් ඇති රටවල් ද මේ රටවල් වේ.

වර්තමාන තත්ත්වය හමුවේ අනුහුරු වීම සඳහා වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව සත්‍යයක්‌ වන නමුත්, ඒ හා සමග ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කෙරෙහි ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වේ. නොඑසේ නම් සිදු විය හැකි බලපෑම වඩා බරපතළ විය හැකි ය.

කාබන් වෙළෙඳපොළ

කාබන් වෙළෙඳපොළ ස්‌ථාවරව පවත්වාගෙන යැම තවත් වැදගත් කරුණකි. මේ වන විට කාබන් මිල ගණන් අඩු වී ඇති බැවින් එය ඉතා වැදගත් ය. 2018 වන විට ඔස්‌ටේ්‍රලියානු කාබන් අලෙවි යාන්ත්‍රණය හා යුරෝපා වෙළෙඳපොළ සම්බන්ධ කිරීමට එකඟතාව පළ වී තිබේ.

මේ අතර වායු විමෝචන අලෙවි යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීම වැනි ව්‍යාපෘති හරහා තම හරිතාගාර වායු අවම කිරීමට චීනය පසුගිය දා යුරෝපා සංගමය සමඟ එකඟතාවකට පැමිණ ඇති බවක්‌ විදෙස්‌ පුවත් සේවා වාර්තා කළේ ය. ලෝකයේ අංක එකේ හරිතාගාර වායු විමෝචකයකු වන චීනය මෙවැනි පියවරකට එළැඹීම ද වැදගත් ය.


හීලියම් වායුවත් ක්‌ෂය වීමේ තර්ජනයක්‌

හීලියම් වායුව අප බොහෝ දෙනා දන්නේ සාමාන්‍ය වාතයට වඩා බරින් අඩු සැහැල්ලු වායුවක්‌ ලෙසිනි. එහෙත් හීලියම් වායුව මිනිසාට වැදගත් ප්‍රයෝජන රැසක්‌ ලබා දෙන වායුවකි. නිදසුනක්‌ ලෙස සෞඛ්‍ය අවශ්‍යතා සඳහා භාවිත කරනු ලබන එම්ආර්අයි ස්‌කෑනර් යන්ත්‍ර සඳහා හීලියම් වායුව විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එසේ ම අභ්‍යවකාශ යානාවල ඇතැම් කාර්යයන් සඳහා ද හීලියම් යොදාගනු ලැබේ. මේ අතර හීලියම් පිරවූ බැලුන විවිධ උත්සව අවශ්‍යතා සඳහා ද යොදාගනු ලැබේ. විවිධ අවශ්‍යතා සඳහා හීලියම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.

එහෙත් ලෝකයේ ඇති හීලියම් සංචිත සීමාසහිත වේ. ලෝකයේ භාවිතයට ගන්නා හීලියම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක්‌ ලබා ගන්නේ භූගත නිධිවලිනි. සාමාන්‍යයෙන් ස්‌වාභාවික වායු ලබාගැනීමේ දී අතුරු නිෂ්පාදනයක්‌ ලෙස හීලියම් ලැබේ. ඉන් වැඩි ප්‍රමාණයක්‌ ලැබෙන්නේ ඇමෙරිකාවේ ඇති නිධිවලිනි. රුසියාව වැනි වෙනත් රටවල ද හීලියම් නිධි හමු වී ඇතත් අදින් වසර 30ත් 50ත් අතර කාලයක්‌ ඇතුළත අනාගතයේ දී හීලියම් වායුව ක්‌ෂය වීමෙන් යම් ගැටලුවක්‌ ඇති වීමේ ඉඩක්‌ ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් වෙනත් කරුණු නිසා මෑත වසර දෙකක කාලයේ ද හීලියම් වායුවේ මිල ගණන් ඉහළ ගොස්‌ ඇති බව පෙනේ.

මේ අනුව හීලියම් වායුව භාවිතය පිළිබඳව යම් යම් සීමා පැනවීමට අනාගතයේ දී සදු විය හැකි බව පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙවැනි සම්පත් භාවිතයේ දී අදාළ භාවිතවල ඇති තිරසරභාවය හා සබුද්ධිකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. වාසනාවකට මෙන් බොහෝ විට බැලුන පිරවීම සඳහා යොදාගන්නේ වෛද්‍ය වැනි අංශවලින් බැහැර කරනු ලබන හීලියම් ය. ඒවා ඇතැම් විට වෙනත් වායු සමග ද මිශ්‍ර වී තිබේ.


පුවත් සැකෙවින්
ආක්‌ටික්‌ සාගර අයිස්‌ ආවරණයේ අඩු ම මට්‌ටම

ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ ආවරණයේ මෙතෙක්‌ වාර්තාගත අඩු ම මට්‌ටම පසුගිය අගෝස්‌තු 26 දා වාර්තා වූ බව අපි සති කිහිපයකට පෙර මේ තීරුවේ සඳහන් කළෙමු. එහෙත් අයිස්‌ ආවරණයේ ප්‍රමාණය තවදුරටත් අඩු වූ අතර, එහි අඩු ම මට්‌ටම සැප්තැම්බර් 16 වැනි දින වාර්තා වී තිබේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම් වර්ග කිලෝමීටර් මිලියන 3.41ක්‌ තරම් අඩු මට්‌ටමකට අයිස්‌ ආවරණය පැමිණ ඇත. චන්ද්‍රිකා මිනුම් ලබා ගැනීම ආරම්භ වූ පසු මේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 4ට වඩා අඩු වූයේ පළමු වතාවට වන අතර එය 1979-2000 අතර කාලයේ අයිස්‌ ආවරණය පැවැති සාමාන්‍ය අගය මෙන් අඩක්‌ පමණ තරම් ය.

ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ අඩු වෙමින් ඇති බව පැහැදිලි ය. මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ, මේ අතරතුරේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ තිබිය හැකි සම්පත් උකහාගැනීම සඳහා විවිධ සමාගම් උත්සාහ කිරීමයි. එය වෙන ම සාකච්ඡා කළ යුතු කරුණකි.

පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ප්‍රජාවට යහපතක්‌ සැලසේ

පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ලැබෙන පරිසර පද්ධති සේවා මගින් මානව සමාජයට සැලකිය යුතු යහපතක්‌ සැලසෙන බව පෙන්වා දෙන යුරෝපා සංගමයේ ආයතනයකින් සකස්‌ කළ වාර්තාවක්‌ එහි ඇති වැදගත්කම අවධාරණය කරයි. යුරෝපයේ පරිසර පද්ධති පිළිබඳව සිදු කරන ලද මේ අධ්‍යයනයේ දී විවිධ පරිසර පද්ධති මගින් මානව සමාජයට සැලසෙන සේවා පිළිබඳව සලකා බලා තිබේ. මෙහි දී අවධානයට ලක්‌ වූ සේවා අතර, ජල දූෂණය හා ජලයේ ගුණාත්මක බව ආරක්‌ෂා කරගැනීමට සැලසෙන සේවය, ස්‌වභාව සෞන්දර්යය ලබා දීමෙන් ලැබෙන ප්‍රයෝජන, ශාක පරාගණය මගින් කෘෂිකර්මයට සැලසෙන සහාය වැදගත් අංශ හතරකි.

මේ කරුණු සැලකිල්ලට ගෙන උක්‌ත වාර්තාවෙන් ලබා දෙන මූලික පණිවිඩය වන්නේ පරිසර පද්ධති සේවා ප්‍රවේශයක්‌ ස්‌වාභාවික සම්පත් හා පරිසර පද්ධති සඳහා බලපාන යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිවලට එක්‌ කළ යුතු බව ය. (මූලාශ්‍රය: A spatial assessment of ecosystem services in Europe: Methods, casestudies and policy analysis – Phase 2,www.peer.eu/publications)

නව හිම ක්‍රීඩාවක්‌ නිසා පිනිමුවන් අනතුරේ

හිම සරුංගල් පැදීම නම් ක්‍රීඩාව (Snow-kiting) හෙවත් සරුංගලයක්‌ යොදාගනිමින් සිදු කරන හිම මත ලිස්‌සා යැමේ ක්‍රීඩාව නිසා වනගත ව වෙසෙන පිනිමුවන් (Rangifer tarandus tarandus) අවදානමකට ලක්‌ ව ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවක්‌ පෙන්වා දෙයි. මෙහි දී අදාළ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයාට වඩා ඈත සිට දැකිය හැකි සරුංගලයට පිනි මුවන් තැතිගැන්වීම සිදු වේ. මෙහි දී සරුංගලයේ ප්‍රමාණය හා එය ගුවනේ දැකිය හැකි ස්‌වභාවය මත, සිදු වන තැතිගැන්වීම තීරණය වේ.

හිම මත ලිස්‌සා යැමේ (skiing) හා හිම සරුංගල් පැදීම යන ක්‍රීඩා දෙකේ යෙදෙන ක්‍රිඩකයින් හමුවේ මුවන් දක්‌වන ප්‍රතිචාර පිළිබඳව මෙහි දී අධ්‍යයනය කර තිබේ. පිනිමුවන් ගේ හැසිරීම - බිය වීම, පළා යැම, හා කෙතරම් කාලයක්‌ ඒ ප්‍රතිචාරය දක්‌වන්නේ ද යන්න ඔවුන් ගේ අවධානයට ලක්‌ විය. ඒ මත සකස්‌ කරන ලද ආකෘතික අධ්‍යයනයක්‌ වන මින් අනාවරණය වන පරිදි, හිම සරුංගල් පැදීමේ ක්‍රීඩාව නිසා පිනිමුවන්ට සිදු වන බලපෑම, හිම මත ලිස්‌සා යැමේ (skiing) ක්‍රීඩාවට වඩා බරපතළ වේ. ඒ අනුව නෝර්වේ වැනි රටවල ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවත්නා මේ නව ක්‍රීඩාවේ යම් පාලනයක්‌ ඇති කිරීම පිනිමුවන් ගේ පැවැත්ම සඳහා වැදගත් බව පෙනේ. (මූලාශ්‍රයAppliedAnimalBehaviourScience,DOI:10.1016/j.applanim.2012.08.009)

http://www.vidusara.com/2012/09/26/feature3.html

No comments:

Post a Comment